කොරෝනා උප ප්‍රභේදයක් රටවල් 40ක පැතිරෙයි

322

සීතල ගතිය, තද උණ, උගුර රිදීම, නාසයේ බර ගතිය, කැස්ස,

කේරළයේ මරණ 13ක්

මෙම දිනවල ‘ජේඑන් .1’ නමැති කොරෝනා වෛරස් උප ප්‍රභේදය ලොව පුරා රටවල් ගණනාවක ශීඝ්‍රයෙන් පැතිර යන බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සිය සාමාජික රටවලින් ඊයේ (21 දා) විශේෂ ඉල්ලීමක් කර තිබේ.

‘ඔමික්‍රෝන්’ කොරෝනා වෛරස් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වන මෙම ‘ජේඑන් .1’ නමැති උප වෛරස් ප්‍රභේදය සිංගප්පූරුව, ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 40ක පමණ මේ වන විට පැතිර ගොස් ඇති බව වාර්තා වී ඇත. මෙම ප්‍රභේදය ආසාදනය වූ දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ ආසාදිතයන් 13 දෙනකු ඉකුත් දින 47 තුළදී මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මෙම තත්ත්වය හේතුවෙන් ‘ජේඑන් .1’ වෛරස් ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා සිංගප්පූරුව සිය වැසියන්ට පොදු ස්ථානවලට යෑමේදී මුහුණු ආවරණයක් (මාස්ක්) පැළඳීම අනිවාර්යය කර ඇති අතර දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය සියලු රෝහල්වලට පිවිසීමේදී මුහුණු ආවරණයක් පැළඳීම අනිවාර්ය කර තිබේ. ගත වූ සති තුනක කාලයේ දී සිංගප්පූරුවෙන් කොරෝනා ආසාදිතයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඉන් 56,043 දෙනකු දෙසැම්බර් 03 වැනිදා සිට 09 වැනිදා දක්වා ගත වූ සතියේ දී වාර්තා වී තිබේ. වැඩි ආසාදිතයන් පිරිසක් වාර්තා වීම හේතුවෙන් සිංගප්පූරුවේ රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී ඉතිරී යන තත්ත්වයකට පත්ව ඇති බව මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වීමෙන් පසු මෙම සතිය ආරම්භ වූ පසු දිල්ලිය, කර්නාටක, තමිල්නාඩුව ඇතුළු ඉන්දීය ප්‍රාන්ත ගණනාවකින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන ඇති අතර මෙම තත්ත්වය මත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවධානයක් යොමු කළ යුතු බවට නිවේදනය කර තිබෙන ‘ජේඑන් .1’ කොරෝනා උප වෛරස් ප්‍රභේදය පිළිබඳව දැඩි අවධානයකින් පසු වන ලෙස ඉන්දීය සෞඛ්‍ය ඇමැති වෛද්‍ය මන්සුක් මන්ඩවියා විසින් ඉන්දියාවේ සියලු ප්‍රාන්ත බලධාරීන් වෙත දැනුම් දී තිබේ. ඉන්දියාවෙන් පෙරේදා (20දා) උදෑසනින් අවසන් වූ පැය 24ක කාලය තුළදී කොරෝනා ආසාදිතයන් 641 දෙනකු වාර්තා වී තිබූ අතර එය ඉකුත් මැයි මස 21 වැනිදායින් පසු දිනකදී ඉන්දියාවෙන් වාර්තා වී වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව බව පැවසෙයි.

මේ අතර චීනයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඉදිරි කාලයේදී ලොව පුරා රටවලින් මෙයට වඩා කොරෝනා වෛරසයේ ව්‍යාප්තියක් දක්නට ලැබිය හැකි බවයි. මේ අතර ශීත ඍතුවට මුහුණ පා සිටින බොහෝ බටහිර රටවලින් වෙනත් උණ රෝග, ශ්වසන ආසාදන වෛරස් රෝග හා ළමුන් අතර පැතිරෙන නිවුමෝනියාව වැනි රෝග පැතිරීමේ වැඩි වීමක් වාර්තා වී තිබීම නිසා පැතිර යනුයේ කොරෝනා ආසාදනය ද වෙනත් උණ රෝගයක් ද යන්න තහවුරු කරගැනීම අවශ්‍ය බව වෛද්‍යවරු පවසති. මෙම ‘ජේඑන් .1’ කොරෝනා වෛරස් උප ප්‍රභේදයේ රෝග ලක්ෂණ වශයෙන් සීතල ගතියක් දැනීම, තද උණ, උගුර රිදීම, නාසයේ බර ගතිය /නාසයෙන් සොටු දියර ගැලීම, කැස්ස, තෙහෙට්ටුව, හිසරදය, මාංශ පේශීන්ගේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව, වමනය, පාචනය, ගඳ/සුවඳ නොදැනීම හඳුනාගෙන ඇත. මෙම කොරෝනා වෛරස් උප ප්‍රභේදයට ගොදුරු වීමෙන් වැළකීම සඳහා පොදු හා මහජනතාව ගැවසෙන ස්ථානවලට යෑමේදී නාසය හා මුඛය හොඳින් ආවරණය වන සේ මුහුණු ආවරණයක් පැළඳීම, කහින විට හා කිවිසුම් යවන විට ලේන්සුවක් හෝ වැලමිට මගින් ආවරණය කර ගැනීම, පිටතට ගොස් පැමිණි පසු දෑත් හොඳින් පිරිසිදු කරගැනීම යන ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස සෞඛ්‍ය බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලීම් කරති. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දැනට භාවිතයේ පවතින සියලු කොරෝනා එන්නත්වලින් මෙම නව ‘:ජේඑන් .1 ’ උප ප්‍රභේදය ආසාදනය වීමෙන් වැළකීම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment