නාවලපිටියේ සුන්දරත්වය සොයා රාත්‍රී තැපැල් දුම්රියේ ගිය ගමනක්

කඩියන්ලෙන ඇල්ල අඹගමුව සෙල්ලිපිය්‍ධිං

නාවලපිටියේ සිට දිවෙන ප්‍රවේශ මාර්ග ශ්‍රී පාදය, හැටන්, තලවාකැලේ, ගිනිගත්හේන, කිතුල්ගල, ගම්පොල, කොත්මලේ, දොළොස්බාගේ ඔස්සේ මාවනැල්ල හා බුලත්කොහුපිටිය හරහා කෑගල්ල, කරවනැල්ල ආදී ප්‍රදේශ දක්වා දිවෙන බවත්, ඒ ඔස්සේ අසුපිණි ඇල්ල, කඩියන්ලෙන ඇල්ල, ගලබොඩ ඇල්ල, ලක්ෂපාන, ඇබර්ඩීන් ඇල්ල, සෙන්ට් ක්ලෙයාර්ස්, ඩෙවොන් ඇල්ල යනාදී දිය ඇලි දක්වා ද ළඟාවීමේ ප්‍රවේශ මාර්ග මෙහි සිට විහිදෙන බවත් පසුගිය ලිපි දෙකකින් අපි ඔබට කීවෙමු. ඒ අනුව දැනටමත් අසුපිණි ඇල්ල, දොළොස්බාගේ ප්‍රදේශවල සංචාරය කර එහි අපූර්වත්වය විඳ එහි තොරතුරු ඔබට කියා ඇත. මේ අනුව තවත් බොහෝ ප්‍රදේශවල සංචාරය කරන්නට නාවලපිටිය අපට ඉතා හොඳ කේන්ද්‍රස්ථානයකි. මේ සඳහා කොළඹ සිට දුම්රියෙන් පැමිණෙන්නේ නම් නාවලපිටිය පමණක් නොව, ගම්පොල, හැටන්, තලවාකැලේ දුම්රිය ස්ථානවලින් වුවද බැස ඉහත කී ස්ථානවලට ළඟා විය හැකිය.

දිවයින – “සංචාරේ” කණ්ඩායම නිමල්සිරි අයියාගේ ආරාධනයෙන් නාවලපිටිය අවට සුන්දරත්වය විඳින්නට කොළඹ සිට ගියේද දුම්රියෙනි. පෙරකී පරිදි මේ සඳහා අපි නාවලපිටිය පමණක් නොව, හැටන්, තලවාකැලේ දුම්රිය ස්ථාන ද භාවිතයට ගත්තෙමු. අනතුරුව අපි නිමල්සිරි අයියාගේ නිවසේ නතරවී ඔහු සැලසුම් කළ පරිදි ඔහුගේ ඥාති පුත්‍ර ඩිල්ශාන් පුතාගේ Mitsubishi 4DR5 වර්ගයේ ජීප් රථයෙන් සුපුරුදු පරිදි “සංචාරේ” වැඩසටහන පටන් ගත්තේ කඳු-හෙල්වලින් සමන්විත නාවලපිටිය පරිසරයේ සුන්දරත්වය අත්විඳිමිනි. අපගේ කණ්ඩායමට ඩිල්ශාන් සහ නිමල් අයියාට අමතරව, මාධ්‍යවේදී ජයන්ත විජේසිංහ මා සමග කොළඹින් එකතු වූ අතර, ප්‍රදේශය ගැන ඉතා හොඳින් දන්නා ප්‍රදීප් මධුශංක ද සුපුරුදු පරිදි ගමනට එකතු වූ අතර, දොළොස්බාගේ සංචාරයෙන් පසු මෙවර අපගේ සැරිසර සඳහා තෝරාගත්තේ නාවලපිටිය-තලවාකැලේ පාරේ පිහිටි කඩියන්ලෙන ඇල්ල හා නාවලපිටිය-ගිනිගත්හේන මාර්ගයේ ස්ථානගතවී ඇති අඹගමුව සෙල්ලිපිය බැලීමට යෑම සඳහාය.

කඩියන්ලෙන ඇල්ල අඹගමුව සෙල්ලිපිය්‍ධිං

දොළොස්බාගේ ප්‍රදේශයෙන් නික්මුණු අපි දහවල් ආහාරයෙන් පසු මීළඟට ගියේ කඩියන්ලෙන ඇල්ල නැරඹීම සඳහාය. ඒ සඳහා නැවත නාවලපිටිය නගරයට පැමිණ තලවාකැලේ මාර්ගයේ යායුතු වේ. තරමක් අඳුරු කාලගුණයක් සහ මද වැස්සක් ද විටින් විට ඇදහැලෙමින් පවතින නමුත්, කඩියන්ලෙන ඇල්ල නැරඹීම සඳහා එය ඉතා හොඳ කාලගුණික තත්ත්වයක් බව අප තේරුම් ගත්තේ මේ දිනවල කඳුකරයට ඇදහැලෙන වර්ෂාවද නිසා කඩියන්ලෙන ඇල්ල හොඳින් සක්‍රියවී තිබෙනු ඇතැයි විශ්වාස කළ නිසාය.

කඩියන්ලෙන ඇල්ල අඹගමුව සෙල්ලිපිය්‍ධිං

ඒ අනුව තරමක් කඩතොළු වූ තලවාකැලේ මාර්ගයේ කිලෝමීටර් 7-8 ක් ගිය දිල්ශාන් මද වේලාවකින් කඩියන්ලෙන ඇල්ල පෙනෙන මානයට අපව රැගෙන ආවේය. සැබෑය…! හාත්පස අඳුරු ස්වභාවයක් ගත්තත් කඩියන්ලෙන ඇල්ල ඉතා හොඳින් සක්‍රියවී තිබුණේ ප්‍රදේශයම මිහිදුම් වළාවක පටලවමිනි. ඈත සිට බලන කල තට්ටු තුනකට පමණ කඩා හැලෙන ඇල්ල ප්‍රදේශයම සුන්දරත්වයක ගිල්වා තිබිණි. මා මෙන්ම මිත්‍ර ජයන්ත අයියා ද කඩියන්ලෙන ඇල්ලේ මේ සුන්දරත්වය අත්වින්දේ පළමුවරටය. එසේ හෙයින් ඈත සිට ළඟ සිට, තුරු වදුල අතර සිට… දුරස්ව මෙන්ම, ළඟින්ද, ඇල්ල ඡායාරූපයට නඟාගත් අපි, පොඩි පොඩි ‘වීඩියෝ ක්ලිප්’ ද අපගේ ස්මාර්ට් දුරකථන තුළ සඟවාගැනීමට අමතක නොකළෙමු. එසේ සඟවා ගන්නා වීඩියෝ ක්ලිප් හා ඡායාරූප ද විටෙක ජයන්ත අයියාට ද නොදැනී ඔහුගේ දුරකතනයෙන් ඔහුගේ මුහුණු පොතට එක්ව තිබෙනු දැනගත්තේ කොළඹ සිට අප අමතන මිතුරන්ගේ මාර්ගයෙනි.

කෙසේ හෝ එදින සවස් වනතුරුම කඩියන්ලෙන ඇල්ලේ ගත කළ අපි හිතේ හැටියට ඇල්ලේ සුන්දරත්වය විඳගත්තෙමු. නාවලපිටිය-තලවාකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය සිට කිලෝමීටර් 7-8 ක් ඔබ්බෙන් පිහිටි කඩියන්ලෙන ඇල්ල අසලින්ම බස් මාර්ගය වැටී ඇති හෙයින් ඇල්ල බලන්නට එන අයට බස් රථයෙන් වුවද මෙහි ළඟාවිය හැකිය. ඇල්ලට ආසන්නම නගරය වන්නේද “කඩියන්ලෙන” කඩමණ්ඩියයි.

මෙසේ ඇල්ලේ සුන්දරත්වය විඳගත් අපි තරමක් සවස් වී තිබුණු නිසා එදින වැඩ නිමකර රාත්‍රිය පහන් කිරීමට නිමල්සිරි අය්යාගේ නාවලපිටියේ නිවසට ළඟා වූයේ පසුදා උදයේ සුප්‍රකට අඹගමුව සෙල්ලිපිය බලන්නට යන්නට කතිකා කරගනිමිනි.

ඒ අනුව පසුදා අවදි වූ අපගේ පළමු කාර්යය වූයේ අඹගමුව සෙල්ලිපිය දැක බලාගෙන එහි තොරතුරු හැදෑරීමයි. උදයේ ආහාරයෙන් පසු අපි මෙම කටයුත්තට පිටත්ව ගියේ නිමල්සිරි අයියාගේ ජීප් රථයෙනි. නාවලපිටිය-ගිනිගත්හේන මාර්ගයේ නාවලපිටිය සිට කිලෝමීටර් 7-8 ක් පමණ ගිය විට සුප්‍රකට අඹගමුව සෙල්ලිපිය ඇති ස්ථානයට හැරෙන මංසන්ධිය පිහිටා ඇත. එම මංසන්ධියේ ඒ බවට දැක්වෙන පුවරුවක් ද සවිකර ඇත. දකුණු දෙසට විහිදුණු මෙම මාර්ගයේ කිලෝමීටරයක් – දෙකක් පමණ යනවිට සෙල්ලිපිය ඇති පුරාවිද්‍යා සංරක්ෂණ ස්ථානය මුණගැසේ.

ගස් මණ්ඩියකින් සහ තරමක් විශාල ගල් පර්වත කිහිපයක් එක ළඟ පිහිටා ඇති ස්ථානයක එම පර්වත මතුපිට පැරණි සිංහල අක්ෂර වලින් කොටා ඇති මෙම පුරාවිද්‍යා සංරක්ෂණ ස්ථානය වැටක් ගසා ආවරණය කර, තොරතුරු පුවරු යොදා හොඳින් ප්‍රදර්ශනය කර ඇත. නමුත් එළිමහනක ගල් මතුපිට ඇති මෙම සෙල්ලිපිය ආවරණය නොකර ඇති බැවින් අව්-වැසිවලින් තදබල ලෙස හායනයට පත්වෙමින් පවතින බව දකින්නට ලැබිණි.

කඩියන්ලෙන ඇල්ල අඹගමුව සෙල්ලිපිය්‍ධිං

මෙම සෙල් ලිපිය කරවා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1055-1110 අතර රජකම් කළ පළමුවෙනි විජයබාහු රජු විසින් ඔහුගේ 38 වෙනි රාජ්‍ය වර්ෂයේ බව මෙහි ඇති තොරතුරු පුවරුවේ සඳහන් වේ. විජයබාහු රජුගේ වීර වික්‍රමයන් සහ එකල රටේ පැවති දකුණු ඉන්දීය දමිළ බලය මැඩපවත්වා ලක්දිව එක්සේසත් කළ ආකාරය සහ ඉන්පසු ඔහු සමනළ කන්දේ පිහිටි ශ්‍රී පාදස්ථානය වැඳපුදා ලබා දුන් දාන මානාදිය පිළිබඳව ද මෙම සෙල්ලිපියෙන් දක්වා ඇති බවත් සඳහන් කරන පුරාවිද්‍යා තොරතුරු පුවරුව වැඩිදුරටත් පවසන්නේ මෙහි ඇති අක්ෂර මධ්‍යකාලීන සිංහල අක්ෂර වන බවයි.

අසා තිබුණාට මෙතෙක් දැක නොතිබුණු අඹගමුව සෙල්ලිපිය මෙසේ නාවලපිටිය සංචාරයේදී දැක බලාගන්නට ලැබීම අප ලද මහා භාග්‍යයකි. සැබැවින්ම සොබා සෞන්දර්යයෙන් අනූන තැන් පමණක් නොව, මෙවන් අගනා පුරාවිද්‍යා උරුමයන් ද නාවලපිටිය සංචාරයේදී අපට දැක බලාගන්නට හැකි අපූරු තැන්ය.

මෙසේ අඹගමුව සෙල්ලිපියේ වටිනාකම් සමාලෝචනය කරගත් අපි එදින මීළඟට පිටත්ව ගියේ “ඩෙවොන්” හා “සෙන්ට් ක්ලෙයාර්ස්” දිය ඇලි හමුවන තලවාකැලේ-නානුඔය ප්‍රදේශය බලාය. එහි තොරතුරු මෙන්ම, ගම්පොල රාජධානිය, අම්බුළුවාව, කොත්මලේ මහා සෑය හා කොත්මලේ ජලාශය යනාදී වටිනා තැන් ගැන කියන්නට අපි තවදුරටත් ‘දිවයින’ – සංචාරේ සමග හා ‘Travel Sri Lanka – සංචාරේ අපි’ මුහුණු පොත හා සම්බන්ධව සිටිමු.

සැරිසර –
ජගත් කණහැරආරච්චි
තෙවැනි ඇස –
ජයන්ත විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment