කඳුකරයේ ගෙවත්තට රහංගල ‘පීච්’

4322

බද්ධ පැළ 1000ක් අලෙවියට සූදානම්
මව් රිකිලි මෙරටට ගෙනැවිත් දශක තුනකට වැඩියි
අලෙවි ජාලය දුර්වල නිසා ගොවීන් වගාව අතහැරියා

සිත්සේ අනුභව කළ හැකි නිවර්තන පලතුරු ප්‍රභේද ගණනාවකින් ශ්‍රී ලංකාව පොහොසත් වුවත්, ඇපල්, මිදි වැනි විදේශික පලතුරු වර්ග සඳහා සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් අප වාර්ෂිකව වියදම් කරන්නෙමු. 2018 වසරේදී පමණක් ඇපල් මෙටි්‍රක් ටොන් 27253 ක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 4302 ක් වැයකර තිබීමෙන් තත්ත්වය හොඳටම පැහැදිලි වේ. විදේශවිනිම හිඟයත් සමග මෙවැනි ආනයනික පලතුරු සඳහා පසුගියදා සීමා පැනවුණු අතර ඒ හරහා නිර්මාණය වූ රික්තකය පිරවීමට නම් මෙරට වගාකළ හැකි ඊට සමාන දේශීය ආදේශක පලතුරක් සමාජ ගතවිය යුතුවේ.

කඳුකරයේ ගෙවත්තට රහංගල 'පීච්'

රොසේසේ කුලයට අයත් පෘනස් පර්සිකා නමින් හඳුන්වන ‘පීච්’ නමැති පලතුරු බෝගය මේ සඳහා සුදුසුකම් දරන්නෙකි. ඇපල් වගාකළ හැක්කේ දිවයිනේ ඉතා සීමිත ප්‍රමාණයක වුවත් පීච් සඳහා එම සීමාමායිම් එතරම් තදින් බලපාන්නේ නැතිවීමද අමතර වාසියක් වන්නේය. මුහුදු මට්ටමෙන් මීටර් 1000 ක් පමණ ඉක්මවූ වැලිමඩ වැනි කඳුකර ප්‍රදේශයන් ඇතුළුව උඩරට අතරමැදි කලාපයේ බොහෝ ඉඩම්වල අදටත් පීච් ගස් දක්නට තිබෙන අතර ඒවා හැඳින්වෙන්නේ දේශීය ප්‍රභේද ලෙසයි. එසේ කියූවද ඒවා වුවත් අතීතයේදී විදේශිකයන් විසින් ගෙඩි වශයෙන් ගෙනැවිත් අනුභවකර ඉවතදැමූ බීජ හරහා පැළවී, පසුව ව්‍යාප්ත වූ ඒවා බව සිතිය හැකිය. ආර්ථික වටිනාකමක් නැත්තේ ඒවාහි ගෙඩි කුඩාවීම සහ ඇඹුල් රසයෙන් යුක්තවීමයි. නැවුම් පලතුරක් ලෙස සුළු ප්‍රමාණයක් ආනයනය කරනවාට අමතරව, කල්තබාගත හැකිවනසේ ටින් තුළ අසුරා මෙරටට ගෙන්වන පලතුරක් ලෙස ‘පීච්’ සඳහා සීමිත වෙළඳපොළක් අදටත් තිබේ. දෙකට කපා බීජය ඉවත්කර සීනි ද්‍රාවණයක ගිල්වා සීල්කර අසුරා ඇති ‘පීච්’ බඳුන් සුපිරි වෙළඳසල් තුළ අලෙවි වන්නේ ඉතා ඉහළ මිලකටය. පොත්ත ඉවත්කළ පීච් ගෙඩියේ පිටතට නිරාවරණය වන්නේ අනුභවකරන කොටසයි. ඊට යටින් ඇත්තේ බීජයටම ඇලුණු ඝන කොටසකි. ප්‍රභේදය අනුව අනුභව කරන කොටසේ වර්ණය සුදු, කහ හෝ රතුපැහැ විය හැකිය. 90 දශකයේදී විදෙස් ව්‍යාපෘතියක් යටතේ පීච් ප්‍රභේද කීපයක දඬු කැබලි කීපයක් මෙරටට ගෙන්වාගෙන ඇති අතර මෙහි තිබෙන දේශීය ගස්වලට ඒවා බද්ධකර ප්‍රතිපල පරීක්ෂා කිරීමේ වගකීම පවරා ඇත්තේ එවකට රහංගල කෘෂිකර්ම පර්යේෂණායතනයේ ප්‍රධානියාව සිටි පර්යේෂණ නිලධාරී බන්දුල හේමචන්ද්‍ර මහතා වෙතයි.

කඳුකරයේ ගෙවත්තට රහංගල 'පීච්'
බුද්ධිකා පවිත්‍රනී
කඳුකරයේ ගෙවත්තට රහංගල 'පීච්'
බන්දුල හේමචන්ද්‍ර

“අපි මේවා බද්ධ කෙරුවේ දේශීය ප්‍රභේදයේ ලොකු ගස්වලට. ඒ වෙලාවේ අපි සතුව බද්ධ කරන්න ඇට පැළ තිබුණේ නෑනේ. හොඳට ගෙඩි හැදුනා. ගොවීන්ගෙන් ලොකු පැළ ඉල්ලුමකුත් තිබුණ නිසා දේශීය ප්‍රභේදයේ ඇට පැළවලට බද්ධකරලා ඒ අවශ්‍යතාවත් සපුරා දුන්නා. ගොවි ක්ෂේත්‍රවලින් හොඳ අස්වැන්න ලැබුනත් ප්‍රශ්නයක් වුණේ අලෙවිය. ඒ කාලේ අද වගේ සුපිරි වෙළඳසල් එහෙම තිබුණේ නෑනේ. අලෙවි දුෂ්කරතාව නිසාම පීච් බෝගය සමාජයෙන් ඈත් වුණා.”

මේ වනවිට විශ්‍රාම ලබා සිටින හේමචන්ද්‍ර මහතා පීච් අතීතයේ තොරතුරු ගෙනහැර පෑවේ එලෙසිනි. එවැනි අලෙවි ගැටලුවක් අද නැත. සංචාරක ව්‍යාපාරයේ දියුණුව නිසා පීච් සඳහා වන ඉල්ලුම නම් එදාට වඩා වැඩියෙනුත් තිබේ. බොහෝවිට විදේශික ඇපල් මිදි මෙන්ම වෙළඳපොළෙහි තිබෙන පීච් ගෙඩි ආනයනික ඒවා වන අතර කිලෝවක මිල රුපියල් දහස ඉක්මවන අගයක් ගනී. ටින් තුළ අසුරන ලද ඒවානම් රුපියල් 3000 ක් වුවද ඉක්මවා යයි. පාරිභෝගික කැමැත්ත මත පදනම්ව දේශීය වගාවක් වශයෙන් පීච් ප්‍රවර්ධනය කිරීම උදෙසා වැඩසටහනක් නැවත ආරම්භ වූයේ 2017 වසරේදී රහංගල පර්යේෂණායතනයෙන්මය. මෙවර එය ක්‍රියාත්මක වූයේ එහි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) බුද්ධිකා පවිත්‍රනීගේ ප්‍රධානත්වයෙනි.

“දැනටමත් මෙහි තිබෙන පීච් ප්‍රභේද කීපයක් පරීක්ෂාකර, ඒවාහි තොරතුරු එකතු කරගෙන අපි ප්‍රභේද දෙකක් තෝරාගත්තා. ඒවාට නම් තැබුවේ රහංගල පීච් – 01 සහ 02 කියලා. පිටරට සිට ඒවා ඇවිත් තියෙන්නේ පිළිවෙළින් “ට්‍රොපික් බියුටී” සහ “ෆ්ලෝඩා ප්‍රින්ස්” කියන නම්වලින්. පළමු ප්‍රභේදයේ ගෙඩිය කහපාටයි. ඕවලාකාරයි. දෙවැනි වර්ගයේ ගෙඩිවල අග පෙදෙස කුඩා කාලයේ සිටම රතුපාටයි. ඇතුළට ටිකක් ගිලිලා තියෙනවා. ඒ හැරුනවිට ගසේ බාහිර ස්වරූපයෙන් නම් පැහැදිලිව වෙන්කර හඳුනාගන්න බෑ. දෙකේම ගෙඩි හොඳට මාංසලයි. තරමක පහසුවෙන් මාංසල කොටස බීජයෙන් ගැලවෙනවා. මේ ලක්ෂණය වැදගත් වෙනවා බීජ රහිතව මදය ගලවා ටින්වල ඇසිරීමේ කර්මාන්තයේදී.

පසුගියදා ගන්නොරුවේදී පැවති බෝග ප්‍රභේද නිදහස් කිරීමේ කමිටුව වෙත තොරතුරු ඉදිරිපත් කරමින් පවිත්‍රනී මහත්මිය එසේ පැවසූ අතර අදාළ අයැදුමට අනුව ප්‍රභේද දෙකටම කමිටුවේ අනුමැතිය ලැබුණි. මෙම ප්‍රභේද දෙකෙහිම ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 80-100 ක් පමණ වේ. බද්ධ පැළ නිපදවීමට අංකුර ලබාගැනීමට භාවිත කළ හැකි මවුශාක 10 බැගින් රහංගල පර්යේෂණ ස්ථානයේද, 15 ක් පමණ නුවරඑලිය හා බදුල්ල දිස්ත්‍රික්කයන්හි ගොවි ක්ෂේත්‍රයන්හිද පිහිටා තිබේ. අලෙවිය පිණිස සැකසූ බද්ධපැළ එක වර්ගයකින් 500 ක් බැගින් තිබීම අදාළ ප්‍රදේශයන්හි පලතුරු වගාකරුවන්ට පහසුවකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙරට වගාව සඳහා ‘පීච්’ ප්‍රභේද දෙකක් මෙලෙස නිකුත්කෙරුවේ ප්‍රථම වතාවටය.

සනත් එම්. බණ්ඩාර
[email protected]
සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment