සෞඛ්‍යය ලෙඩ නොවීම පිණිසය

537

අපේ රටේ විධිමත් ලෙස සෞඛ්‍ය පද්ධතිය ආරම්භ කරනු ලැබුවේ 1858 වසරේදී සිවිල් වෛද්‍ය දෙපාර්තමේන්තුව ලෙසය. ඒ වන විට රටේ ජනගහනය මිලියන 2.4ක් තරම් විය. පසුව අපේ සෞඛ්‍ය පද්ධතිය ක්‍රමයෙන් ව්‍යාප්ත වී මේ මොහොත වන විට මිලියන 21ක ජනතාවට සේවාව සපයයි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෛද්‍යවරු විසි තුන්දහසක්, හෙද හෙදියන් හතළිස් තුන් දහසක්, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවේ දසදහසක්, අනෙකුත් අංශවල ලක්ෂයක් සහ සියල්ල ගත් කල එක් ලක්ෂ හතළිස් හය දහසක පමණ පිරිසක් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙහි රැකියාවන්හි නිරතව සිටී. අපේ රටේ සෑම කිලෝමීටර් පහක් තුළම සෞඛ්‍ය මධ්‍යස්ථානයක් හෝ රජයේ රෝහලක් ද ස්ථාපිතව පවතී. විවිධ දුෂ්කරතා මධ්‍යයෙහි වුවත් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලෝක මට්ටමේ පවතී. එහිදී ළදරු මරණ, මාතෘ මරණ, බෝවන රෝග වළක්වා ගැනීම ඇතුළු කරුණු ගණනාවක් මගින් අප පසුවන්නේ ඉදිරියෙනි.

අප මේ තොරතුරු කියා සිටියේ අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැතිරයෑම පැහැදිලි කිරීමටය. ඒ අතරතුර රටේ දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ රජයේ රෝහල්වලට ප්‍රතිකාර සඳහා පැමිණෙන අයගේ සීග්‍ර ඉහළයෑමක් දක්නට ඇති බව ද වාර්තා පළවිණ. එදා උණ හෙම්බිරිස්සාවකටත් චැනලින් ප්‍රතිකාර සඳහා ගිය බොහෝ දෙනකු අද රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගනී. ඒ අනුව බලන විට වසරකට විවිධ ප්‍රතිකාර සඳහා මිලියනයක් රෝහල්ගත වේ. කෙසේවෙතත් ඒ අතරින් ජීවිත දොළොස්දහසක් පමණ අහිමිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත මගින් ප්‍රකාශ වේ. ඇත්තටම රෝහලට පැමිණෙන සියල්ල සනීප වී ගෙදර යන්නේ නැත. එසේ නොයන්නට හේතු ගණනාවක්ම ඇති බව අපි දන්නෙමු. ලෙඩාගේ රෝගී තත්ත්වය එන්න එන්නම බරපතළ නම් අයිසීයූ හෝ යොදා ලෙඩා බේරා ගැනීමට නොයෙක් ප්‍රතිකාර කර බලයි. විශේෂඥ වෛද්‍යවරු ලෙඩා පරීක්ෂා කර බලා බෙහෙත් දෙති. එහෙත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය කී පරිදි මල් ශාලාවට යන්නම සිදු වෙන රෝගීන්ද සිටී.

ඒ අතරේ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ සිදුවන අතපසුවීම් වලින් වසරකට පැමිණිලි 600ක් ලැබෙන බව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ කියා තිබේ. පසුගිය වසරේදීත් එවැනිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇති බැවින් මෙය බරපතළ තත්ත්වයක් වේ. රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය නිසි සැලකිල්ල ලැබෙන්නේ ද යන්න ගැටලුවක් බව ඔහුගේ අදහස වී තිබේ.

වෛද්‍යවරයාට හෝ රෝහල් කාර්ය මණ්ඩලයට අතපසුවීමක් වූ විට ලෙඩා අඩි හයක් යට මිහිදන් කිරීම හෝ දර සෑයක හෝ දවන්නට සිදුවේ. එබැවින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙම අතපසුවීම් අනිවාර්යයෙන් අවම කර ගැනීම කළ යුතුම දෙයකි. සමහර රෝහල්වලට යනකොට මිනී පෙට්ටියක් අරගෙනම යන්න ඇතැමුන් කියන්නේත් මේ නිසාම විය යුතුය. රෝහල රජයේ වුවත් බෙහෙත් ප්‍රමිතියෙන් යුතු හොඳ ඒවා වුවත් ලෙඩාට ලබා දෙන හෙද සත්කාර හොඳ නැත්නම් ලෙඩා ගැන නිසි සැලකිල්ලක් නැත්නම් වැඩේ වරදී. එසේ නොසැකිල්ල නිසා කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් තිබුණේ ඔක්සිජන් දිය යුතුව තිබෙද්දී ලෙඩාට කාබන් ඩයොක්සයිඩ් දීමෙනි. ඔක්සිජන් අවශ්‍ය ලෙඩාට කාබන් ඩයොක්සයිඩ් දුන් විට වෙනත් කිසිම බෙහෙතක් දීම අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ලෙඩා මෝචරියට තල්ලු තර දැමීම පමණි. ඒ කියන කතාව ඇත්තක්නම් මේ වූ කලී සමාව දිය නොහැකි බරපතළ ගණයේ අතපසුවීමකි. එයත් කොළඹ ජාතික රෝහලේදීම සිදු වීම තවත් අවාසනාවකි.

මේ ආකාරයට සිදුවන අතපසුවීම් පිළිබඳ සොයා බැලීම සඳහා රෝහල් මට්ටමින් කමිටු ඇති කළ යුතු බවට අපට ඇතැම් විට සිතේ. රජයේ රෝහල්වලට පැමිණෙන ලෙඩ්ඩුන්ට සිදුවන අසාධාරණ, සිත් රිදවීම් ගැන ද සොයා බැලීමද එම කමිටුවලටම පැවරිය යුතු බව අපගේ අදහසය. තවත් අතකින් මෙවැනි අතපසුවීම් වෙනත් පාර්ශ්වයකගේ සුබ සිද්ධිය සඳහාම කරනු ලබන සට කපට කුමන්ත්‍රණයක්දැයි සොයා බැලිය යුතු වේ. රජයේ රෝහල්වලින් සිදු වන අතපසුවීම් නිසා කිසියම් පාර්ශ්වයකගේ හොද්ද බොර කර ගැනීමට අවස්ථා සැලසිය යුතු නොවේ. මෙකී සහ නොකී සියලු කරුණු කාරණා සලකා බලා තම තමන්ගේ රෝහල්වලින් සිදුවන මෙවැනි අතපසුවීම් අවම කර ගැනීමට එම රෝහල්වල අධ්‍යක්ෂවරුන්ගේ මග හැරිය නොහැකි වගකීමකි. එලෙස එක් එක් රෝහල ලෙස තම තමන්ගේ වගකීම් හරිහැටි ඉටු කළහොත් මේ කියන අතපසුවීම් දැඩි ලෙස අවම කර ගැනීමට හැකිවනු නොඅනුමානය.

advertistmentadvertistment
advertistmentadvertistment