කොටිම නොවන… ඒත් කොටි බලන්නට ගිය යාල සංචාරය

604

මෙවර අපගේ “සංචාරේ” සිදුවන්නේ දේශ දේශාන්තරයේ ප්‍රකට, දකුණු ලක පිහිටි අපේ රටේ ඉතාම ජනප්‍රිය ජාතික උද්‍යානය වන රුහුණු ජාතික උද්‍යානය නොහොත් යාල ජාතික උද්‍යානයේ විසිතුරු දැක ගැනීම සඳහාය.

මේ දිනවල ශ්‍රී ලංකාවේ දිවියන් නොහොත් කොටියන් දැකගන්නට හැකි ඉතා ප්‍රකටම තැන ලෙස යාල ප්‍රචලිතව ඇත්තේ මව සමග කොටි පැටවු ඇතුළත් පවුල් තුනක් පමණද, යාලේ කා අතරත් නම් වශයෙන්ම ප්‍රකට පිරිමි කොටින් කිහිපදෙනෙකුද නිතර දකින්නට හැකි නිසාය. මේ නිසා විශේෂයෙන්ම කොටි ලෝලීන් මේ දිනවල යාලේ නිතර ගැවසෙන්නේ කොටින් දැකගන්නට වගේම උන්ගේ විවිධ ඉරියව් ඡායාරූපගත කරගැනීමේ අදහසිනි. මේ පණිවිඩය අන්තර්ජාලය ඔස්සේ දකින විදෙස් සංචාරකයන්ද ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර මේ දිනවල Sri Lankan Big Cats දකින්නට වැඩි වැඩියෙන් යාලට පැමිණෙනු පෙනේ. සැබැවින්ම යාලට මේ දිනවල ඇත්තේ කොටි වසන්තයකි. සාමාන්‍යයෙන් යාල කලාප අංක එක තුළ එක් වර්ග කිලෝමීටරයක් තුළ එක කොටියකු දිවි ගෙවන තරමට ඉතා හොඳ කොටි ගහණයක් යාල සිටින බව කියනු ලැබේ. මෙසේ කොටි දකින අරමුණෙන්ම නැතත් වාර්ෂිකව සිදුකරන ඡායාරූප වැඩමුළුවක් අරමුණු කරගනිමින් මෙවර අපගේ යාල සංචාරය සැලසුම් කර තිබීම එක් අතකින් කාලයේ තාලයට සිදුවූවකි.

මෙම සංචාරය සඳහා “සංචාරේ” අපටද සහභාගිවන්නට මග පෑදුණේ ප්‍රවීණ හා ප්‍රකට වනජීවී හා ක්‍රීඩා ඡායාරූප ශිල්පියෙකු මෙන්ම ඡායාරූපකරණය පිළිබඳ ප්‍රවීණ දේශකයකු හා ගුරුවරයකු වන නිකොන් ඡායාරූප පුහුණු පාසලේ (Nikon School) උපදේශක රොහාන් ෆොන්සේකා මහතා අපට කරන ලද ආරාධනයක් අනුවය.

කොටිම නොවන… ඒත් කොටි බලන්නට ගිය යාල සංචාරය
කොටිම නොවන… ඒත් කොටි බලන්නට ගිය යාල සංචාරය

එනම්, Tamron හා Photo Technica එක්ව නිකොන් ඡායාරූප පුහුණු පාසල මගින් සංවිධානය කරන ලද යාල ජාතික වනෝද්‍යානයේ සිදු කරන්නට යෙදුණු 7 වැනි ඡායාරූපකරණ වැඩමුළුව ලෙස මෙවර Yala The Big jungle – Capture Big Cats තේමාවෙන් සමන්විත වැඩමුළුවට මාධ්‍ය පාර්ශ්වකරුවකු සේ සහභාගිවන ලෙස කරන ලද දැනුම්දීමට අනුව “සංචාරේ” අපි එක හෙළාම එම ආරාධනාව පිළිගත්තේ ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් ඇතුළු වනජීවී ඡායාරූප ශිල්පීන්ගේ තෙදින වැඩමුළුවක් මේ වන බැවින් ඒ මගින් ලබාගන්නට හැකි අත්දැකීම්, දැනුම, වින්දනය ඉතා වටිනා නිසාය.

ඒ අනුව සංවිධානය වූ පරිදි සිකුරාදා අලුයම අපගේ චාරිකාව කොළඹින් ආරම්භ වූ අතර, සහභාගිවන්නන් 30 කට ආසන්න පිරිසක් රැගත් බස්රථය කතරගම, කටගමුව ප්‍රදේශයට ළඟාවන විට පෙරවරු 9.30 පමණ වී තිබිණි. එහිදී පළමුව අප ගියේ මෙම චාරිකා කාලයේදී අප නවාතැන් ගනු ලබන කටගමුවේ පිහිටි “වන අරණ” සංචාරක හෝටලයටයි. එම හෝටලයේ හිමිකාරිත්වය දරන්නේද වනජීවී ඡායාරූප ශිල්පියකු මෙන්ම, වන ජීවීන් වෙනුවෙන් සුබ සාධන කටයුතු සඳහා තම නොමසුරු දායකත්වය ලබාදෙන්නෙකු ලෙස ප්‍රකට අනිල් සමන්මල් මහතාය. ඔහු කැලණිය ඡායාරූප හා කලා සංගමයේ සාමාජිකයෙකි.

කොටිම නොවන… ඒත් කොටි බලන්නට ගිය යාල සංචාරය

අපේ කණ්ඩායමේ නඩේගුරා වූ රොහාන් ෆොන්සේකා මහතාගේ සැලසුමට අනුව “වන අරණ” හෝටලයේදී ඔහු විසින් සිදුකරන ලද චාරිකා සැලසුම හා උපදේශක දේශණයෙන් පසු, පළමු සැලසුම වූයේ දහවලට මත්තෙන් කටගමුව උද්‍යාන පිවිසුමෙන් යාල ජාතික උද්‍යානයට ඇතුළුවීමයි. ඒ අනුව, හනි හනික ලක ලැහැස්ති වූ අපේ කණ්ඩායම අතින් පයින් කැමරා එල්ලාගෙන හෝටලයටම පැමිණ තිබූ සෆාරි ජීප් රථ 4 කට නැග ගත්තේ ඉතාමත් සැලසුම් සහගත ලෙස Nikon School සන්නාමය යටතේ නම් හා අංකනය කරන ලද ජීප් රථ අනුපිළිවෙලට අනුවය. මෙම ජීප් රථ හතර රොහාන් ෆොන්සේකා, වජිර ගුණසේකර, විමල් කණහැරආරච්චි, රවී ශංකර් යන ප්‍රවීණයන්ගේ නායකත්වයෙන් යුතු අනු කණ්ඩායම් හතරකට මේ අනුව බෙදිණි. මෙම අනු කණ්ඩායම් හතරේ සාමාජිකයන් ලෙස බෙදුණු එහෙත් පැමිණි සමස්ත පිරිසේ සාමාජිකයන් අතර වෘත්තීය ඡායාරූප ශිල්පීන්, වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තිකයන් හා වන සත්ත්ව ලෝලීන් ඇතුළත් වූ අතර මාධ්‍යවේදීන් ලෙස එක්වූයේ “සංචාරේ” අප කණ්ඩායමය.

පෙරවරු 11.30 පමණ වන විට කණ්ඩායම උද්‍යානයට පිවිසි අතර, පළමුව දහවල් ආහාරය ගැනීම සිදුවිය. කමේෂ් කගීව ප්‍රමුඛ සෆාරි ජීප් රථ සේවකයන් එය මනාව සැලසුම් කර තිබිණි. නෙළුම් පත්වලට බෙදූ ගමේ කෑම කමේෂ්ගේ පිරිවර විසින් කදිමට සකසා කණ්ඩායමට පිළිගන්වනු ලැබිණි.

කොටිම නොවන… ඒත් කොටි බලන්නට ගිය යාල සංචාරය
කොටිම නොවන… ඒත් කොටි බලන්නට ගිය යාල සංචාරය
කොටිම නොවන… ඒත් කොටි බලන්නට ගිය යාල සංචාරය

අනතුරුව ජීප් රථ 4 බෙදී සෆාරි සංචාරයට එක්වූයේ වන සතුන් දැකීමට මෙන්ම එම සතුන්ගේ ඉතා සියුම් කැමරා ග්‍රහණයන් හා කලාත්මක ලෙස ඒවා ඡායාරූපයට නගාගැනීම සඳහාය. මන්ද මෙය හුදෙක් සෆාරියක් පමණක් නොව, ඡායාරූපකරණ වැඩමුළුවක්ද වූ නිසාය. එසේ හෙයින් උද්‍යානය තුළදී දකින කුඩා කටුස්සෙකුගේ, සිකනළුවකුගේ පටන් අලි, කොටි, වළසුන් දක්වා එකම විශේෂත්වයකින් ඡායාරූපවලට ග්‍රහණය කරගැනීමේ අවශ්‍යතාව සඳහා උපදෙස් ලැබී තිබිණි. එනමුත්, සැබෑව නම්, මෙම වැඩමුළුව සඳහා ප්‍රචාරය කරන ලද තේමා පෝස්ටරය අනුව සේම බොහෝ දෙනකුගේ අවධානය යොමුවූ බව පෙනෙන්නට තිබුණේ ශ්‍රී ලංකානු දිවියා නොහොත් කොටි වැඩිපුර දැක ගැනීම සඳහාය. මන්ද, පෙර කී පරිදි මේ, යාල කොටින්ගේ වසන්ත සමය ලෙස බොහෝ දෙනෙක් කතා කරන, වාර්තාකරණ නිසාය. සැබැවින්ම මේ දිනවල වනජීවී ඡායාරූප ශිල්පීන්ගේ මුහුණු පොත් බොහෝමයක් යාල කොටින්ගෙන්, කොටි අම්මලාගෙන් හා කොටි දරුවන්ගෙන් හැඩවනු දකින්නට ලැබේ. ඒ නිසාම වන්නට අපේ කණ්ඩායමද අනෙකුත් සතුන්ට වඩා කොටින් ගැන අවධානය යොමුකරනු දකින්නට ලැබිණි.

කොටිම නොවන… ඒත් කොටි බලන්නට ගිය යාල සංචාරය
නිකොන් ඡායාරූප පුහුණු පාසලේ (Nikon School) උපදේශක රොහාන් ෆොන්සේකා

සිකුරාදා සවස් යාමය අප ඇඳිරි වැටෙන තෙක්ම ගත කළේ වන සතුන් අපේක්ෂාවෙන්ය. අපගේ සිහින සැබෑ කරමින් ජීප් රථ සියල්ලටම පාහේ කොටින් දකින්නට (Leopard Sightings) ලැබී තිබිණි. එනිසා පළමු දවසේම Yala Big Jungle සංචාරයේ ආරම්භය සැබැවින්ම ආශ්වාදජනක එකක් විය. උද්‍යානයේ තැන තැන ඇවිද වන සතුන් සොය සොයා ඡායාරූප ගත කළ කණ්ඩායම එදින ඇඳිරි වැටුණු සැන්දෑවේ යළිත් කටගමුවේ “වන අරණ”ට සේන්දු වූයේ චාරිකාවේ එක් පරිච්ඡේදයක් නිමාකර පළමු දින රාත්‍රී සැසිවාරයට සූදානම් වීම සඳහාය.

එදින රාත්‍රී සිදුකළ දහවල ඡායාරූපකරණ සංචාරයේ සමාලෝචනයෙන් පසු පසුදා දවසම යාල වන සතුන් සොයා ගිය The Big Jungle සෆාරිය ගැන ලබන සතියේ කියවමු.

සැරිසර – ජගත් කණහැරආරච්චි
ඡායාරූප – Nikon School Photography

කොටිම නොවන… ඒත් කොටි බලන්නට ගිය යාල සංචාරය

advertistmentadvertistment
advertistmentadvertistment