තරුෂිගේ රත්තරන් එළිය

912

තරුෂි කරුණාරත්න් ගැන මේ වන විට මුළු රටම උද්දාමයෙන් කතා කරයි. චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් අටසීය දිනා ඇය අප රටට ගෙන දුන් කීර්තිය අති මහත්ය. කවර අංශයකින් හෝ දිනුම් නැතිව වැලේ වැල් නැතිව වේලි වේලි සිටින රටකට මේ දිනුම පිපාසයකට මී බිංදුවක් තරම් ප්‍රණීතය. මීට වසර විස්සකට විසිපහකට පෙර සාෆ් හෝ සාග් වේවා ආසියානු උළෙලක් වේවා ඔය කොයි එකෙනුත් අපිට පදක්කම් වැස්සක් ගෙන එන තරමේ දක්ෂයෝ සිටියහ. සුසන්තිකා, දර්ශලා, කුලවංශලා, තිලකරත්නලා තරගයකට දිව්වොත් පුෂ්පමාලිලා තුවක්කුව අතට ගත්තොත් අපිට පදක්කමක් අනිවාර්යයෙන්ම ෂුවර්ය. එහෙත් මෑතක සිට අපේ ක්‍රීඩාව අන්ත දුක්ඛිත තත්ත්වයකට වැටිණ. අපේ ක්‍රිකට් කොල්ලෝ ගහන ගහන තරග අන්ත පරාජයන්ට ලක්විය. යන්තම් එකක් හෝ දෙකක් දිනුවොත් නැත්නම් කුමක් හෝ ක්‍රීඩාවකින් පදක්කමක් දිනුවේ නම් ඒ ජයග්‍රහණයන් පිටුපස තිබුණේ ඔවුනගේ දෙමාපියන් කරන ලද උපරිම කැපකිරීම්වල තරමය. ඒ ජයග්‍රහණ යට තිබුණේම කඳුළු කතාය. අව්වට, වැස්සට, බඩගින්නට, ගැරහීම්වලට ලක් නොවූ ජයග්‍රහණයක් අපට තිබුණේම නැත. නුවර ඈත ගමකින් ආ ආසියානු මහද්වීපයම දිනූ තරුෂිට ද ඒ සියල්ල නිතැතින් උරුම වූවාය. දෙමාපියන්ගේ සරණින් තම හිතට ගැම්ම ගත් ඇය මුළු ගත වෙහෙසා පුහුණුවීම් කළාය. දුවන්න හරි හමන් පිට්ටනියක් නැති කල, ටවුමේ පිට්ටනියේ දුවන්න රුපියල් තිහක් නැතිව කුණු හරුපවලින් බැණුම් ඇසූ ඇය තව තවත් දැඩි වූවාය.

නුවර වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයට 1990 දී සේවයට ආ අති ධෛර්යමත් පුද්ගලයෙක් වූ සුසන්ත ප්‍රනාන්දු සර් විදුහලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ශිල්පය නොඅඩුව පොවා ශක්තිමත් කළේය. නිසි ඉලක්කයක් දුන්නේය. ඒ දුන් ගැම්මේ හයියේ තරම කොතරම් ද කිවහොත් වලල ඒ රත්නායක විදුහල 2000 වසරේ සිට මේ දක්වා නොකඩවා සමස්ත ලංකා බාලක සහ බාලිකා ශූරතා දෙකම විසි වතාවකට වඩා දිනා ඇත්තේය. එපමණක් නොව අනෙකුත් ශූරතා සියයකට ආසන්න ප්‍රමාණයක් බාලක බාලිකා ද්විත්වයෙන්ම දිනා ඇත්තේ නිසි ප්‍රමිතියකින් තොර පිටියක පුහුණු වෙමිනි.

තරුෂි කරුණාරත්න නම් ඒ පොඩි කෙල්ල ජයග්‍රාහී කඩඉම පසුකරනවා අපි දුටුවෙමු. එය එසේ මෙසේ දිවිල්ලක් නොව ඒ මීටර් අටසියයෙන් ඇය පළමු මීටර් විස්ස තිහ පසු කළේ අපේ රටේ සියලු දෙනා තුළ පවතින මන්දෝත්සාහයයි. තවත් ඉදිරියට යද්දී ඇයට හමුවූයේ නැති බැරිකම, අපහාසය, උපහාසය සහ නොසලකා හැරීම් ඇතුළු රැවුම් ගෙරවුම්ය. එහිදී ආසියාවේ අනෙකුත් ක්‍රීඩිකාවන් ඇයට ඉදිරියෙන් සිටියෝය. ඉන් පසුව ඇය පසු කර ගියේ තමන් සමගම වෙළෙමින් බැඳෙමින් ඇඟෙහි දැවටුනු තවත් දුක් කම්කටොළු සහ කඳුළු ගංගාවන්ය. එකී බාධාවන් ජය ගන්නට ඇයට සිය දෙකකුල්වලට වැඩි හයියක් එක්කරන්නට සිදු විය. ඊට යෙදූ හයිය ඉදිරි මීටර් කිහිපයේදී තරගයේ ඉදිරියට ඇය ගෙනාවාය. මේ ආකාරයෙන් ඇය පසු කළේ ඇගේම පමණක් නොව මෙරට සමස්ත ජාතියේම දුක්ඛ දෝමනස්සයන්ය. අවසානයේදී ඒ දෙකකුල්වල රන් ගෑවී තිබිණ. සිරුරෙන් මෙන්ම ඇස්වලින් රත්තරන් බිඳු වෑහෙමින් තිබිණ. දෑත් අහසට එසවිණි. විනාඩි දෙකක් තුළ ඇය මුළු ජාතියක් රනින් බබළා අවසන් කළාය. ඇය දිනුවාය. දිනිය හැකි බව පෙන්නුම් කළාය. දැන් ඇය වෙනුවෙන් රත්තරන් වැසි වසින්නේය. එහෙත් තවත් රත්තරන් වැසි වැස්සවිය හැකි දූ දරුවන් කොතරම් සිටින්නේද? ක්‍රීඩාවෙන් පමණක් නොව විවිධ අංශයන්ගෙන් රට දිනවිය හැකි වුවද ඒ සඳහා නිසි සැලසුමක් හෝ නොමැති රටක අප ජීවත් වෙමු. එසේ කියා ඵලක් නැත. මේ නොහැකියාවෙන් මේ පරාජයන්ගෙන් ගැලවී අප ජාතියක් වශයෙන් නැගී සිටිය යුතුමය. තරුෂි ට දැන් කෝටි ගණනින් මුදල් ලැබෙන බව කියැවෙයි. ඒ සියල්ලට අපි ද බොහෝම ස්තුතියි කියා හිස නමා කියන්නට පැකිලෙන්නේ නැත. එහෙත් දුෂ්කර ගම්මානවල පූදින දස දහස් ගණනක් දූ දරුවන්ට සවිදෙන්නට නිශ්චිත ස්ථිරසාර වැඩ පිළිවෙළක් අවශ්‍යමය. එසේ නොමැතිව මේ රන් දිනූ කෙල්ල ගැන පමණක් උදම් අනමින් සිටීම නොවටී. තරුෂිට පිටුපසින් සිටින අන් දරුවන්ට සරණක් වෙන ගමන්ම රන් එළියක් දුන් ළාබල වලල ඒ රත්නායක ආදර දියණිය ඔලිම්පික් පදක්කමක් දක්වා ඔසවාගෙන අප දිව යුතුය. ඒ සඳහා මැති ඇමැතිවරුන්, නිසි බලධාරීන් පෙරට වඩා වෙහෙස නොබලා නොනැවතී ධාවනයේ යෙදිය යුතුම ය.

advertistmentadvertistment
advertistmentadvertistment