සංසාරේ හැටි ඔහොම තමයි

769

අවුරුදු 2500 ටත් වැඩි කලක් තිස්සේ සෑම වසරකම එළඹුනාක් මෙන් මේ අවුරුද්දේද වෙසක් පොහොය එළඹී තිබේ. වෙසක් යනු සෑම සිංහල බෞද්ධයකුටම අපූරු මතකයකි. මේ මතකය එන්නේ ඔහුගේ හෝ ඇයගේ ළමා වියේ සිටය. මෙයට අවුරුදු 50 කට පෙර මේ රටේ වෙසක් උළෙල යනු කිසිදු ආගමික භේදයකින් තොරව ජනතාවගේ පිරිසිදු සතුට සඳහා කැපවූ උළෙලකි. ඒ කාලයේදී වෙසක් උළෙලේ ප්‍රමුඛතාව ලැබුණේ වෙසක් කූඩු, දන්සැල් සහ තොරණවලටය. මීට අවුරුදු 75 ට පෙර ලංකාවේ වෙසක් උළෙල යනු වඩාත් ගැමි රාජ්‍යයක පැවති වඩාත් සරළ වඩාත් ප්‍රබෝධමත් උත්සවයකි. එකල විදුලියෙන් ආලෝකමත් වූ තොරණ තිබුණේ නැත. ඒ වෙනුවට ජාතක කතාවක් චිත්‍රණය කරන ලද පුවරු එක මත එක සිටින සේ පිළිවෙළකට තබා විශාල පන්දම් පත්තුකර ආලෝකමත් කෙරිණ. එකල තොරණක ස්වරූපය එයය. තොරණ අවට සිටි විරිඳුකාරයෝ තොරණේ කතාව මනරම් ලෙස ගායනා කළ අතර සල්ලි එකතු කරන අය සල්ලි එකතු කිරීමත් විසිතුරු බඩු විකුණන අය එහි නියළීමත්, කඩල විකිණූ උදවිය කඩල විකිණීමත් ඒ ආකාරයෙන්ම සිදුවිය. තොරණට කිලෝ මීටර් කාලක් පමණ ඈතින් වනවඳුලක රැස්වූ තරුණයෝත් මැදිවියේ අයත් ඉතා හොරෙන් කසිප්පු ගැසීම එකලද සිදුවිය. එකල බයිට් වශයෙන් ෆ්‍රයිඩ් චිකන් තිබුණේ නැත. ඒ වෙනුවට බැදපු කරෝල හෝ පුච්චපු කරෝල කටගස්නා ලදී. රා ගුඩ්ඩකුගේ බයිට් එක වුණේ රතු ලූනු ගෙඩියක් සහ ලුණු කැටයකි. අප මෙයින් කීමට උත්සහ කරන්නේ අද වඩාත් posh ලෙස සිදුවන හැම දෙයක්ම එකල, ඒ කාලයේ ස්වරූපයට සරිලන පරිදි ඒ ආකාරයෙන්ම සිදුවූ බවය. අද වෙසක් උළෙල නිමිත්තෙන් තරු පහේ හෝටල්වල රාත්‍රී ආහාර උළෙල පැවැත්වෙයි. ඇතැම් තරු හෝටලයක සම්පූර්ණ වෙජිටේරියන් බුෆේ එකක් තිබේ. මීට අවුරුදු 75 කට පෙර බුෆේ නැති නමුත් වෙසක් දාට ඕනෑ තරම් දන්සැල් තිබිණ. අද දන්සැල් තිබුණද ඕනෑ තරම් දන්සැල් නැත. පුවක් කොට යෙදූ තොරණ වෙනුවට යකඩ GI බට යොදා සවිමත් කෙරුණු සකලාංග සම්පූර්ණ දර්ශනීය තොරණ අද නගරයේ තැන තැන තිබේ. මේවා විදුලි ආලෝකයෙන් රැස් විහිදුවන අතර ඉලෙක්ට්‍රොනික් ගැජට්වලින් ක්‍රියාකරනු ලැබේ. මීට අවුරුදු 20 කට පෙර ලංකාවේ තොරණ්වල විදුලි ආලෝකය මෙහෙයවන ලද්දේ ෆ්ලෑෂර් කොට නමැති දැවයෙන් තනන ලද පීප්පයක් බඳු උපකරණයක් මගිනි. මෙය වයර් දහස් ගණනකින් අලංකාරවත් වූ අතර භ්‍රමණය වෙමින් පැවතිණ. තොරණේ විදුලි බුබුළු විවිධ රටා මවමින් විසිතුරු ලෙස දඟ කළේ ෆ්ලෑෂර් කොටේ භ්‍රමණයට අනුවය. එදා මේ ෆ්ලෑෂර් කොට තැනීම සඳහා පළපුරුදු ලයිට් බාස්ලා සිටියහ. තාක්ෂණයේ දියුණුවත් සමගම තවදුරටත් ඒ මිනිසුන්ගෙන් වැඩක් නැති විය. ඒ නිසා ඒ පරම්පරාව වඳවී ගොස් තිබේ. යෝධ ෆ්ලෑෂර් කොට වෙනුවට සාක්කුවේ දමාගෙන යා හැකි තරම් කුඩා සර්කිට් අද පාවිච්චි කරනු ලැබේ. කාලය සහ පරිසරය කොපමණ වෙනස් වුවද බුදු දහමේ මූලික හරය කිසිසේත්ම වෙනස් වී නැත. එය එසේම පවතී.

වෙසක් උළෙල නිල වශයෙන් සැමරීමට පටන්ගත් මුල්ම රට ශ්‍රී ලංකාව විය යුතුය. සිංහල රජ කාලයේ පටන් වෙසක් දවස විශේෂ දවසකි. බුදුන් උපන් භූමිය වූ නේපාලය පවා වෙසක් දවස රජයේ නිවාඩුවක් කරන්නේ 1950 දීය. බුදුන් උපන් නේපාලය අද වනවිට හින්දු රාජ්‍යයකි. එම රාජ්‍යය ආගම හින්දු ආගම ලෙස ප්‍රකාශයට පත්කෙරුණු ලොව පළමුවන රට වේ. එසේ තිබියදීත් ඒ රටේ නායකයන් වෙසක් දවස වෙනුවෙන් ආණ්ඩුවේ නිවාඩු දවසක් ලෙස වෙන්කිරීම කෙරෙහි අප තුළ ඇත්තේ ගෞරවයකි. මේ වනවිට තායිලන්තය, සිංගප්පූරුව, ලාඕස්, මියන්මාර්, කාම්බෝජය, ඉන්දුනීසියාව, නේපාලය, බංගලාදේශය, ඉන්දියාව, චීනය, කොරියාව, පිලිපීනය, ජපානය, මැලේසියාව, වියට්නාමය යන රටවල් වෙසක් උළෙල සමරති. ඉන්දුනීසියාව යනු ලෝකයේ විශාලතම මුස්ලිම් රාජ්‍යයි. මේ රටේ පාලකයන්ද වෙසක් සැමරුමට දී ඇති ඉඩකඩ අගය කළ යුතුය. ලෝකයේ බුදුදහම මහායාන සහ හීනයාන යනුවෙන් බෙදී තිබේ. තිබ්බතය වැනි රටක තන්ත්‍රයාන, වජ්‍රයාන යනාදී වශයෙන්ද බුදු දහම බෙදී ඇත. ඒ බෙදීම් සියලු දේ පසෙකලා පෙරකී රටවල් වෙසක් උළෙල සමරනු ලැබේ. සාමාන්‍යයෙන් මැලේසියාව හැරුණු විට වෙසක් උළෙල සමරන සෙසු සියලු රටවල් එම සැමරුම යොදාගන්නේ එකම දිනයකටය. මැලේසියාව පමණක් අන් රටවලට වඩා සතියක් කලින් වෙසක් උළෙල සමරනු ලැබේ. මේ සියලු රටවල් අතර නිර්මල බුදුදහම පවතින එකම රට ලංකාව සේ සලකනු ලැබේ. හැබැයි මීට අවුරුදු දෙතුන් සීයකට පෙර නිර්මල බුද්ධාගම ශ්‍රී ලංකාවෙන් අතුරුදන්ව ගිය අතර උපසම්පදා වූ භික්ෂුවක් පවා සොයා ගැනීමට බැරි තත්ත්වයක් උදාවිය. ඒ වෙලාවේදී නිර්මල බුද්ධාගම මෙරටට ගෙනෙන ලද්දේ වෙනත් ආසියානු රටවලිනි. මෙහිදී නිර්මල බුද්ධාගම ගෙනෙනවා යනුවෙන් අප හඳුන්වන්නේ වෙනත් රටකින් උපසම්පදාව ගෙන ඒමය.

වෙසක් සතිය යනු ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බෞද්ධ ආගමික සතියකි. මේ සතියෙන් දින තුනක් මස් කඩ සහ මත් පැන්හල් වසා තබනු ලැබේ. එහෙත් මසුන් ගස්වල හැදෙන බැවින්දෝ සියලු මාළු කඩ විවෘත කරනු ලැබේ. මෙය දශක ගණනාවක සිට අඛණ්ඩව පැවතෙන ඇතැම් ගොන් ප්‍රතිපත්ති ගැන කියාපායි. දවස් තුනක් මත්පැන් කඩ වහන විට මේ දවස් තුනට ඇතිවන තරමින් බේබද්දෝ අරක්කු ගොඩගසා ගනිති. හරක් මස්ද කුකුළු මස්ද තොග පිටින් ෆ්‍රිජ්වල දමා ගනිති. මේ කාරණයේදී සැනසීමක් ලබා ගැනීමට එක්තරා ආත්ම වංචාවක් කළ හැකිය. ඒ වූකලී සංසාරේ හැටි ඔහොම තමයි යනුවෙන් සිතා ගැනීමය.

advertistmentadvertistment
advertistmentadvertistment