නිධානයකින් ගොඩගත් දඹරන් පිළිමයක් විකුණන්න ගිය ගල්නෑව කපු නෝනා කොටුවෙයි

1394

කුඹුරක තිබූ නිධානයකින් ලබා ගත් දඹරන් පිළිමයක් බව කියන, බුදු පිළිමයක් රුපියල් ලක්ෂ 50ක මුදලකට විකිණීමට ගිය දේවාලයක් පවත්වාගෙන යන වයෝවෘද්ධ කාන්තාවක්, මැණික් ගල්වලට සමාන ගල් හතරක් සමග 4දා අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

නිධානයකින් ගොඩගත් දඹරන් පිළිමයක් විකුණන්න ගිය ගල්නෑව කපු නෝනා කොටුවෙයි

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ගල්නෑව කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකි.

බුදු පිළිමයක් විකිණීමට යන බවට අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලින හේවාපතිරණ මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශනය සිදුකර සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් උපාය දූතයෙකු යොදවා දඹරන් පිළිමය මිලදී ගන්නා බවට පවසා, ගැනුම්කරුවෙකු ලෙස ගොස් සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

දේවාලයට පැමිණි පුද්ගලයෙකු හට දේවාරූඩයෙන් ශාස්තර කියන අවස්ථාවේදී අසල කුඹුරක ගල්තලාවක මෙම පිළිමය තිබෙන බවට පැවසීමෙන් අනතුරුව ගල්තලාවේ, අදාළ ස්ථානයේ ගල්පතුරක් කැඩීමේදී, මෙම මැණික් ගල් හතර සහ පිළිමය හමුවූ බව සැකකාරිය සිදුකළ ප්‍රකාශ වල සටහන් ඇතැයි පොලිසිය කියයි.

සැකකාරියගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ පුද පූජා පවත්වන බුදු පිළිමය අසල වතුර පිරවූ වීදුරු බෝතලයක දමා තිබී, මැණික් ගල්වලට සමාන එම ලා නිල් පැහැති ගල් හතරද හමුවූ බව පොලිසිය කියයි.

අඩංගුවට ගත් සැකකාරිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගල්නෑව පොලිසියට බාර දුන් බවද කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කළේය.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත, අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරී මහතාගේ අධීක්ෂණය යටතේ, විමර්ශන අංක දෙක භාර ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ, සැරයන් බණ්ඩාර (57357), පො.සැ. අමිල (48059), පො.සැ. රියදුරු සුසිල් (14074) යන නිලධාරීහු මෙම වැටලීම සිදුකර සැකකාරිය අත්අඩංගුවට ගත්හ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment