සචින් ජනප්‍රිය නළුවා නොවීම ගැන දුකයි
සිංහබාහු මගේ කුලුඳුල් සිනමා අත්දැකීම

ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ නවතම සිනමා නිර්මාණය වුණු සිංහබාහු සිනමා සිත්තම හරහා සිනමාවට එන නවතම රංගන ශිල්පිනිය තමයි දුෂේනි මියුරංගි. මේ වසරේ පැවැති සුමති සහ රයිගම් ටෙලි සම්මාන උළෙලවලදී ද ඇය ජනප්‍රිය නිළියගේ සම්මානයට හිමිකම් කියනවා. ඔය අතරේ සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ පිංකිගේ චරිතය හරහාද දැඩි කතාබහට ලක්වෙනවා. ඔය කතා සියල්ලම අතරේ ඇගේ ආදර කතාවක් ගැනද කියැවෙනවා. ඉතින් මීවිත පාඨකයන් වෙනුවෙන් දුෂේනිගේ නැවුම් තතු මෙලෙස දිග හරින්නට හිතුවා.

දුෂේනිගේ කුලුඳුල් සිනමා අත්දැකීම සිංහබාහු. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම මගේ කුලුඳුල් සිනමා අත්දැකීම තමයි සිංහබාහු කියන්නේ. මට ඒ ගැන හරි සන්තෝෂයි. මට මේ නිර්මාණයට මුලින්ම කතා කළේ රේණුකා බාලසූරිය මහත්මිය. ඊට පස්සේ තමයි සෝමේ අයියා මාව දැක්කේ. මාව දැක්කට පස්සේ තමයි සෝමේ අයියා තීරණය කළේ සිංහසීවලීගේ චරිතයට මාව තෝරාගන්නවා කියලා. යශෝධා විමලධර්ම අක්කත් කතා කරලා මම ගැන හොඳ සහතිකයක් දීලා තිබුණා. ඉතින් ඒ දේවල් එක්ක තමයි මම සිංහබාහු චිත්‍රපටයට සම්බන්ධ වුණේ.

වෙලාව එනකොට බඹරය වැල්ලේ කැරකෙනවා - දුෂේනි මියුරංගි

සිංහ සීවලීගේ චරිතය ලොකු අභියෝගයක් කියලා හිතුණේ නැත්ද?

මුලින්ම මම චිත්‍රපටයේ නමවත් මොකක්ද කියලා ඇහැව්වෙ නැහැ. මොකද සෝමරත්න දිසානායක අධ්‍යක්ෂවරයා සහ රේණුකා බාලසූරිය නිෂ්පාදිකාව කියන්නේ අපි පුංචි කාලේ නරඹපු චිත්‍රපට රැසක බොක්ස් ඔෆිස් වාර්තා තැබූ දෙපළක්. ඉතින් ඒ ගොල්ලො කරනවා නම් මම මොකටද චිත්‍රපටයේ නමවත් හොයන්නේ කියලා. මම පස්සේ තමයි දැනගත්තේ සිංහබාහු චිත්‍රපටයයි නිර්මාණය කරන්නේ කියලා. ඒක කියන කම් මම හිටියා. ඉතින් ඒ වගේ දැවැන්තයන් දෙදෙනෙකුගේ නිර්මාණයක් හරහා සිනමාවට එන්න ලැබෙනවා කියන්නේ මම ලැබූ ලොකු ජයග්‍රහණයක්.

රූගත කිරීම්වලදී මුහුණදුන් අභියෝග ගැන කතා කළොත්?

ඇත්තටම රූගත කිරීම් තිබුණේ කැලෑබද ප්‍රදේශ වන අනුරාධපුර” දඹුල්ල” තඹුත්තේගම කියන ප්‍රදේශවල. අනෙක් රංගන ශිල්පීන් ශිල්පිනියන්ට ඒ දර්ශන තල හුරුවුණාට මට ඒ දර්ශන තල හුරු නැහැ. මොකද මම ටෙලිනාට්‍යවලනේ වැඩිපුර රඟපෑවේ. ඉතින් ඒ ප්‍රදේශවල රූගත කිරීම් කරන එකම අභියෝගයක් වුණා. ඒ වගේම සිංහබාහු චිත්‍රපටයේ භාෂා ශෛලිය පිළිබඳවද යම්කිසි අභියෝගයක් තිබුණා.

වෙලාව එනකොට බඹරය වැල්ලේ කැරකෙනවා - දුෂේනි මියුරංගි

සිංහසීවලී කියන්නේ සමාජයේ දැවැන්ත කතිකාවක් ගොඩනැඟෙන චරිතයක්. ඔබ ඒ විචාර” විවේචන භාරගන්න සූදානම්ද?

මේකට කවුරු මොන විවේචන සිද්ධ කළත් ‘සිංහබාහු. කියන්නේ ඉතිහාසගත වන චිත්‍රපටයක්. එදිරිවීර සරච්චන්ද්‍රයන්ට වඩා හාත්පසින්ම වෙනස් අර්ථකතනයක් යටතේ නිර්මාණය වන සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු සිනමා නිර්මාණයේ සිංහසීවලී ලෙස මට මිනිස්සු අතරට යන්න ලැබීම මා ලද ලොකු භාග්‍යයක්. මම විශ්වාස කරනවා සිංහසීවලී කියන චරිතය මිනිසුන්ගේ මනසේ රැඳේවි කියලා.

රූගත කිරීම් අවසන් වූ පසු අධ්‍යක්ෂවරයා මොනවද කිව්වේ?

සෝමේ අයියා මාත් එක්ක දෙබස් ගැන සාකච්ඡා කරන කොට හොඳ ධනාත්මක හැඟීමක් තිබුණා කියලා මම විශ්වාස කරනවා. හරිම සහයෝගයෙන් රූගත කිරීම් සිදුකළා.

2024 දුෂේනිට හරි සුභ පාටයි?

මම හිතනවා හැම අවුරුද්දක්ම සුභ වෙනවා අපේ චින්තනය ධනාත්මකයි නම්. හැබැයි සමහර වෙලාවට අපි විශ්වාස කරන සමහර දේවල් තියෙනවා. ඒ වගේ දේවල් එක්ක වාසනාව කියන එක සමහර තැන්වලදී වැඩියෙන් බලපානවා කියලා මට හිතෙනවා.

සුමති සහ රයිගම් සම්මාන උළෙලවලදී ජනප්‍රිය නිළිය වීම ගැන මොකද හිතෙන්නේ?

මට ඇත්තටම හරි සන්තෝෂයක් වගේම පොඩි ආඩම්බරයක් තියෙනවා. මොකද මිනිස්සුන්ගේ හිතේ මේ විදිහට ආදරණීය ලෙස රැඳිලා ඉන්න ලැබෙන එක ගැන. මොකද මට රයිගම් සම්මාන උළෙල ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි මට ඒකත් ලැබුණා. සම්මාන හතරක් දැන් මට පිට පිට ලැබුණා. ප්‍රේක්ෂකයෝ මාත් එක්ක ඉන්නවා කියලා මට ආපහු ආපහු ඔප්පු වෙනවා.

වෙලාව එනකොට බඹරය වැල්ලේ කැරකෙනවා - දුෂේනි මියුරංගි

මෙදා පාර රයිගම් ජනප්‍රියම නිළියගේ සම්මානය ශලනිට යයි කියලද හිතුවේ?

එහෙම මම දන්නේ නැහැ. හැබැයි මගෙත් එක්ක අවසානයේ හිටියේ ශලනි අක්කා. ඇයත් අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒක කාට ගියත් මට සන්තෝෂයි. මොකද මට එක සම්මානයක් ලැබුණ නිසා.

සම්මානය ඔබ ලබාගත් පසුව ශලනි මොනවද කිව්වේ?

ඇත්තටම ඇය මට සුභ පැතුවා. අවසන් දහදෙනාටම තේරුණු අය බොහොම සහයෝගයෙන් වැඩ කරන රංගන ශිල්පිනියන්.

පිංකිත් එක්ක ගෙවන ජීවිතය?

මේ පුවත්පතට කතා කරන මොහොතෙත් පිංකිත් එක්ක තමයි කාලය ගත කරන්නේ. මේ කාලයේ පිංකිත් එක්ක ටිකක් බිසී වෙලා ඉන්නේ. මොකද ඒක මෙගා ටෙලිනාට්‍යයක්. පාරදිගේ

ටෙලි නාට්‍යයෙන් පස්සේ සල්ලි පොකුරු ටෙලි නාට්‍ය හරහා තමයි මිනිස්සුන්ගේ ජනාදරය තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකට මම ශිවගුරුනාදන් මහත්මයාට” සද්ධා මහත්මයාට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. ඒ ගොල්ලො චරිතයක් මිනිස්සුන්ගේ හිත්වලට කාවද්දන විදිහට නිර්මාණය කරනවා. අද වෙනකොට මේ ජනප්‍රිය සම්මාන වුණත් මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණවල ඉන්න ගොඩක් ටෙලි තරුවලට ලැබෙන්නේ.

එදා හැමෝම පිංකිට බැන්නා. අද හැමෝම ආදරය කරන්න පටන් අරගෙන?

මම ඒ වෙලාවේ භාරගත්තේ අභියෝගයක්. ඒ තත්ත්වය එන බව මම දැනගෙන හිටියා. මගේ ගොඩක් සමීපතමයෝ කිව්වෙත් මේක පොඩ්ඩක් අවුල් වැඩක්නේ කියලා. නමුත් මම ඒක කරනවා කියන තැනයි හිටියේ. අද වෙනකොට පිංකිට ගොඩක් දෙනෙක් ආදරය කරන්න පටන් අරගෙන. පිංකිට මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ නාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායමෙන් ලැබුණු උපරිම සහයෝගය හින්දයි.

ප්‍රේක්ෂකයෝ අන්තිමේ දුෂේනිව දෙවතාවක් ජනප්‍රිය නිළිය කළා?

ඒක වෙලාව එනකොට වැල්ලේ බඹරය කැරකෙනවා වගේ කතන්දරයක්. මටත් හිතාගන්න බැහැ කොහොමද සමහර දේවල් සිද්ධවෙන්නේ කියලා. මිනිස්සු බැන්නට මිනිස්සු මට ආදරෙයි කියලා මම දන්නවා. බනින්නෙත් සමහර වෙලාවට මගේ වැරැද්දක් හදාගන්න.

රංගන ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?

සතුටක් තිබෙනවා. ජීවිතයේ සමහර කාලවල සමහර තැන්වලදී කාලය නාස්ති වුණු අවස්ථාත් තිබිලා තියෙනවා. ඒ වුණාට මම ජීවිතයේ හැම කාලපරිච්ඡේදයකදීම යම්කිසි දෙයක් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්තු දේවල් එක්ක තමයි අනාගතයේ මේ විදිහට ඉදිරියට යන්න පුළුවන් වෙලා තියෙන්නේ.

අලුත් ටෙලි නාට්‍ය භාරගත්තාද?

මම මේ වෙලාවේ අලුත් ටෙලි නාට්‍ය භාරගත්තේ නැහැ. මොකද සල්ලි පොකුරු ටෙලි නාට්‍ය ටිකක් දිගට යනවනේ. ඉතින් සල්ලි පොකුරු එක්ක මේ දවස්වල ටිකක් බිසී වෙන හින්දා අලුතින් නාට්‍යයක් භාරගත්තේ නැහැ.

මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?

මේක හරිම හිමීට ආපු ගමනක්. මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ටික කාලයක් ගත වෙනවා. මට සන්තෝෂවෙන්න පුළුවන් දේවල් ටිකක් මම ලබාගෙන තිබෙනවා කියලා මම හිතෙනවා. තව ඉදිරියට යන්නත් තිබෙනවා.

සිංහබාහු දර්ශන තලයේදී සජිත එක්ක රඟපාන්න ලැබුණු අත්දැකීම් ගැන කතා කළොත්?

ඇත්තටම හොඳයි. සජිත අයියා මේ ක්ෂේත්‍රයේ ටිකක් පරිණත චරිතයක්. තව සෝමේ අයියා එක්ක වැඩ කරපු චරිතයක්. එයාට අත්දැකීම් තිබුණා. මට ඒ පැත්තෙන් අත්දැකීම් තිබුණේ නැහැ. චිත්‍රපටයේ මගේ සහාය නළුවා විදිහට ඔහුගෙන් හොඳ සහයෝගයක් ලැබුණා.

රඟපාන්න ආවේ නැතිනම් මොනවා කරයිද?

මම අන්තිමට කර කර හිටියේ ගණකාධිකරණය. සමහරවිට ඒ පැත්තෙන් මොකක් හෝ රැකියාවක් කරන්න ඉඩ තිබුණා. එහෙමත් නැතිනම් ගුරුවරියක් වෙන්නත් ඉඩ තිබුණා.

ළඟකදී ඉන්දියාවේ ගියේ නැතිද?

ඉන්දියාවට ගොස් මම යම්කිසි හැදෑරීම් ටිකක් කළා. කොරෝනා වසංගතයත් එක්කයි මම ලංකාවට ආවේ. ආපහු එහෙට යන්න වුවමනාවක් තිබෙනවා. නමුත් මේ වෙලාවේ මට මගේ ප්‍රේක්ෂකයන්ව දාලා යන්න අපහසුයි. මොකද මිනිස්සු මට ගොඩක් ආදරය කරනවා. ටික කාලයක් ඉඳලා ඒ පැත්තත් අත්හදා බලන්න උත්සාහයක් දෙනවා.

ඇත්තද දුෂේනි පෙම්වතියක් කියන්නේ?

ඒ ගැන දන්න අය දන්නවා.

සචින්ට ජනප්‍රිය නළුවා අහිමිවීම ගැන දුකක් තිබෙනවාද?

ඇත්තටම ඔව්. මොකද ඔහු තරුණ දක්ෂ රංගන ශිල්පියෙක්.

මම හිතනවා තරුණ දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට ඔහුට ඔහුගේ වෙලාව ආවට පස්සේ ඔහුට හිමි තැන ලැබෙයි කියලා. ඇත්තටම මම ඔහුට සුභ පතනවා. අපේ ක්ෂේත්‍රයේ රංගන ශිල්පීන්ගේ අඩුවකුත් තියෙනවා.

දුෂේනි ජනප්‍රිය නිළිය වුණහම සචින් මොනවද කිව්වේ?

ඇත්තටම ඔහු සන්තෝෂ වුණා. මට සුභ පැතුවා.

සචින් ලියනගේට තරුණියෝ හරි ආදරෙයි. මොකද හිතෙන්නේ?

ඉතින් සන්තෝෂයි. ඔහුට වැඩිපුර ඉන්නේ ප්‍රේක්ෂිකාවන්. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. මම හිතනවා ඒක හොඳ දෙයක්.

සචින්ගේ ‘විසල් ආදරේ චිත්‍රපටය නැරඹුවාද?

නැහැ. තවම මම ඒක ලොකුවට බැලුවේ නැහැ. මම සුභ පතනවා ඒ චිත්‍රපටයටත්. මම හිතනවා ඒක හොඳ නිර්මාණයක් වේවි කියලා.

සචින්ගේ රංගන හැකියාව දකින්නේ කොහොමද?

ඇත්තටම ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. ලංකාවේ ඔහුට යන්න පුළුවන් තැනක් තිබෙනවා. ඒකට අවශ්‍ය පසුබිම ලංකාව ඇතුළේ හැදේවි කියලා මම විශ්වාස කරනවා.

බන්ටි දුෂේනිගේ ජීවිතයේ ලොකු වෙනසක් කළා කියලා හිතනවාද?

අනිවාර්යයෙන්ම. බන්ටි කියන්නේ මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. බන්ටිට තියෙන ආදරය තමයි මේ අදටත් එන්නේ කියලා මම විශ්වාස කරන්නේ. මම හිතන්නේ මේ කතාවට ගොඩක් දෙනෙක් මගෙත් එක්ක එකඟ වෙයි. බන්ටිට තියෙන ආදරය ඉදිරියටත් තිබේවි.

දිනේෂ් විතාන
ඡායාරූප : අන්තර්ජාලය ඇසුරිණි

advertistmentadvertistment
advertistmentadvertistment