උත්තරීතර මනුෂ්‍යයකු බිහිකළ ග්‍රහ බලය

229

උතුම් මිනිසුන් ලොවට බිහිවන්නේ කලාතුරකිනි. එයින් ද උත්තරීතර මනුෂ්‍යකු නැතහොත් ආශ්චර්යවත් වූ මනුෂ්‍යයකු ලොවට බිහිවන්නේ දුර්ලභ වශයෙනි. වෙසක් පුන් පොහෝ දින ලොව පුරා බෞද්ධයෝ එවන් උත්තරීතර වූ මනුෂ්‍යයකු වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත සමරති. උන්වහන්සේගේ උපත සිදුවූ ඒ දුර්ලභ මොහොතේ උදාවූ ග්‍රහ බලය ගැන විමසා බැලීම ද ජ්‍යොතිෂයට උනන්දුවක් දක්වන අයගේ අවධානයට ලක්වීම ද කාලෝචිතය.

සිද්ධාර්ථ ගෞතම නම් වූ මහ බෝසතාණන් වහන්සේගේ උපත, ජන්ම පත්‍රය මෙන්ම චරිත කතාව ද ත්‍රිපිටක සූත්‍රවල අන්තර්ගත කරුණු මෙන්ම වෙනත් මූලාශ්‍රයන් ද සොයා බලා ලොවට හෙළිකිරීමේ ගෞරවය අති පූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමියන්ට හිමිවේ. “ශාක්‍ය මුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය” නම් ග්‍රන්ථය මගින් මේ තොරතුරු එළිදක්වා තිබේ.

ඉන්දියාවේ නාඩි වාක්‍ය මගින් සම්බුද්ධ කේන්ද්‍රය සොයා බලා ඇති අතර “කලියුග වර්ෂ 2478 වෙසක් මස පුන් පොහෝ ලත් ඉරිදා උදයාදි එකොළොස් පැය විනාඩි හතරට විසා නැකතින් කටක ලග්නයෙන් සිංහ නවාංශකයෙන් බෝසතාණන් උපන් බව කෞමාර නාඩි වාක්‍යවල සඳහන් වේ.” උන්වහන්සේගේ ජීවිත කාලය අවුරුදු 80 මාස 10 දින 15 බව ද එහි සඳහන්ය.

පහත පළවන්නේ එම කේන්ද්‍ර සටහනයි. නාඩි ග්‍රන්ථවල රවි ලියා ඇත්තේ 11 කොටුවේ දළ වශයෙනි. එය අප රටේ 10 භාවයේ යැයි සලකනු ලැබේ.

උත්තරීතර මනුෂ්‍යයකු බිහිකළ ග්‍රහ බලය

● සම්බුද්ධ කේන්ද්‍රය

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන හැදෑරීමට කේන්ද්‍රය අවශ්‍ය නොවන බව සැබෑය. එහෙත් ජ්‍යොතිෂය යනු කොතරම් සත්‍ය වූ අද්විතීය ශාස්ත්‍රයක් ද යන්න වටහා ගැනීමට සම්බුද්ධ කේන්ද්‍රය මහත් පිටිවහලක් වෙයි. උගත් ජ්‍යොතිර්වේදීන්ට ද ජ්‍යොතිෂ ශිෂයයන්ට ද ජ්‍යොතිෂයට අභියෝග කරන අයට ද මෙම කේන්ද්‍රය හදාරා එම පිහිටීම ගැන පුරාණ ජ්‍යොතිෂ ග්‍රන්ථවල සඳහන් කරුණු සදා බැලීම සැබෑම පර්යේෂණයකි.

කේන්ද්‍රයක ගුරු 1 භාවයේ බලවත් වීම ගැන “භාව ප්‍රකාශය” නම් පැරැණි ග්‍රන්ථයේ මෙසේ ලියා තිබේ. “හේ ආත්මීය ගුණ සමූහය කරණ කොටගෙන සියලු ලෝ වැසියන්ගේ ගුරු බවට පැමිණේ. සුවපත් වූ යහපත් ශරීර කාන්තිය ඇත්තෙක් වෙයි” යනුවෙනි.

මෙම ශාස්ත්‍රියේ මෝක්‍ෂ යෝග කාණ්ඩයේ දැක්වෙන එක්තරා යෝගයක් බෝසත් කේන්ද්‍රයේ තිබේ. ඒ පිළිබඳව ලියැවී ඇත්තේ, “කටක ලග්නයෙහි බ්‍රහස්පති ද බලවත් ග්‍රහයන් තුන් දෙනෙක් හෝ සතර දෙනෙක් කේන්ද්‍රගත වීම ද හේතුකොටගෙන උපන් මිනිස් තෙම මෝක්‍ෂයට පැමිණෙන්නේය යනුවෙනි. මේවා පරම සත්‍ය වූ බව අපි දනිමු. සම්බුද්ධ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් පිළිබඳව පොතක් ලිවීමට කරුණු තිබේ. මේ ග්‍රහ පිහිටීම් අනුව නව අරහාදි බුදුගුණ ද පිහිටන බව මැනවින් ප්‍රත්‍යක්‍ෂ වේ.

මේ ආශ්චර්යවත් උත්තරීතර මනුෂ්‍යයකු වූ බුදුරජාණන් වහන්සේගේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්වලට සමාන කෙනෙකු මේ දක්වා ලොව ඉපදී නැති අතර එම ග්‍රහ පිහිටීම් නැවත උදාවූයේ ද නැත. යම් දිනෙක එසේ වන්නේ නම් බිහිවන්නේ බුදුවරයෙක්ම පමණි.

මෙම කේන්ද්‍රයේ කුජ උච්ච බලයෙන් යුක්තය. ලෙහෙසියෙන් අධෛර්යයට පත් නොවන බව දැඩි උත්සාහය බලවත් කුජ ගෙන් පෙන්වයි. උන්වහන්සේගේ සය අවුරුදු දුෂ්කර ක්‍රියා සමය ගත කළ ආකාරය ගැන සලකන විට සාමාන්‍ය මිනිසුන්ගේ ධෛර්යය ඉක්මනින් හීන වන ආකාරය පෙනේ. උන්වහන්සේ “සම්මා සම්බුද්ධ” වූයේ මෙම පුණ්‍ය මහිමයෙනි. උච්ච සිකුරු පුණ්‍ය ස්ථානයේ තැන්පත්ව තිබිණි. සිකුරු සැපට අධිපති නමුදු පුණ්‍ය ස්ථානයේ බැවින් සම්පත් කෙරෙහි නොඇළුන ද උන්වහන්සේට ඕනෑ තරම් ආරාම, ඇතුළු පහසු වාසස්ථාන තිබිණි. “භගවා” යනු එම පුණ්‍ය ශක්තියයි. දිග්බල හා උච්ච රවි ආත්ම ගෞරවය, මෙන්ම අන් අයගේ සියලු ගරු සත්කාර සම්මානවලට සුදුසු බව පෙන්වයි. සියලු පූජාවන්ට සුදුසු වූ යන “අරහං” ගුණයේ පුණ්‍ය බල ශක්තිය රවිගෙන් පෙන්වයි.

මේ අන්දමට නව අරහාදී බුදුගුණ පිහිටි ආකාරය සම්බුද්ධ කේන්ද්‍රයේ නවග්‍රහයන්ගේ රාශි බල භාව බල, දෘෂ්ටි බල, සංයෝග බල හා දශාබල අනුව මැනවින් වටහාගත හැකිවේ.

සඳුගේ මහ දශාව උදාවන විට සඳුමත ට ශනිගේ පැමිණීම වූ ඒරාෂ්ටක අපලය උන්වහන්සේට වයස අවුරුදු 29 හා 80 වයස්වල උදාවී තිබේ. සම්බුද්ධ පරිනිර්වාණය සිදුවෙන්නේ මේ ඒරාෂ්ටක අපල කාලයේය.

උන්වහන්සේ විසින්ම තමන් වහන්සේ ආශ්චර්යවත් මනුෂ්‍යයකු යැයි වදාළ සේක. මෙහිදී උන්වහන්සේ විසින් ලොවට දුන් ධර්ම පණිවුඩය විමසා බැලීම කාලෝචිතය.

එනම් “සියලු පව් අත්හරින්න (සබ්බ පාපස්ස අකරණං) කුසල් උපදවන්න (කුසලස්ස උපසම්පදා) සිත දමනය කරන්න (සචිත්ත පරියෝදපනං) යනුවෙනි. මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි. (ඒතං බුද්ධාන සාසනං)

මේ දිනවල පව් නොකරන අය දැකිය හැකිය. පෝ දිනවල සිල් සමාදන් වන උපාසක පිරිස් බොහෝ වෙති. පින් කරන අයද සිටී. එහෙත් සිත දමනය කරන බවක් පෙනේනට නැති බැවින් දිනපතා අපරාධ ඉහළ යමින් පවතින බව පෙනේ. සිත දමනය කිරීමෙන් බොහෝ දේ කළ හැකිය. එයට භාවනාව අවශ්‍යය. මේ භාවනාවට කාලයයි. ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයයක් වේවා.!

උත්තරීතර මනුෂ්‍යයකු බිහිකළ ග්‍රහ බලය

කෑගල්ලේ – සුනිල් කුමාර ගම්ලත්
දුරකතන අංකය 077-1234313

advertistmentadvertistment
advertistmentadvertistment