ඕඩර් එකට කුඩු බදූ ‘කුඩු රැජින’ අල්ලා ගත් මෙහෙයුම…

467

රට වසා තැබීමෙන් විවිධ ක්ෂේත‍්‍රවල ජනතාව පීඩාවට පත් විය. බොහෝ අයගේ දෛනික වැඩ කටයුතු පවත්වා ගැනීමට නොහැකි විය. එහෙත් නීති විරෝධී ක‍්‍රියාවල නිරත වන්නන්ට රට වසා තැබීම පනින රිලවුන්ට ඉනිමං බැන්දා සේ විය. ඇතැම් නීති විරෝධී ක‍්‍රියාවන් සිදු කළේ අත්‍යවශ්‍ය සේවා යන නාම පුවරුව ප‍්‍රදර්ශනය කරමින්ය. මෙසේ මත්කුඩු ජාවාරම්කරුවන් ද රිසි සේ ජාවාරම පවත්වා ගැනීමට කටයුතු කළ බව පසුගිය දින කීපය තුළදී සිදුකළ වැටලීම්වලින් පැහැදිලිය. ඊසි කෑෂ් ක‍්‍රමයට සහ ලබාගන්නා ඇණවුම් අනුව මත්කුඩු ජාවාරමේ නිරත වූ කාන්තාවක් අත්අඩංගුවට ගන්නේ මෙවන් පසුබිමකය.

ඒ ඉකුත් 6 වැනිදා ය. වයස අවුරුදු පනස් එකක් වූ දෙදරු මවක් වන මෙම කාන්තාව පෙනුමෙන් එලෙස සඳහන් කළ නොහැකිය. හොඳින් ඇඳ පැලඳ ගන්නා මෙම කාන්තාව යතුරු පැදියෙන් එහා මෙහා ගමන් ගන්නේ කාටත් සැක නොහිතන ලෙසිනි. කෙසේ වෙතත් කාලයක් තිස්සේ පවත්වාගෙන යන මෙම ජාවාරම සම්බන්ධව හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයට ඉව වැටෙන්නේ ඇය සම්බන්ධව දිගින් දිගටම ලැබෙන තොරතුරු වලිනි.

එම බුද්ධි අංශ නිලධාරීන් විවිධ වෙසින් සහ උපාය දූතයන් යොදා ඇයගේ ජාවාරම සම්බන්ධව පූර්ව නිගමනයකට එළඹිණි. ඒ අනුව ඇය ඉකුත් 6 වෙනි දින හෙරොයින් මත් කුඩු රැගෙන මාරවිල පොලිස් වසමට අයත් මට්ටකොටුව ප‍්‍රදේශයේ ඇණවුම් කළ පුද්ගලයකුට ලබා දීමට පිටත්වූයේ යතුරු පැදියෙනි. උදෑසන දහයට පමණ බුද්ධි අංශවල තොරතුරු අනුව ඇය පැමිණෙන ඉසව්වේ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් රැකවල් යොදා ගෙන සිටියේය. ඒ අනුව යතුරුපැදිය නතර කර පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 4 මිලි ග‍්‍රෑම් 250 ක් සමග කාන්තාව අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් විය.

හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට පත් කාන්තාව සහ මත්කුඩු මාරවිල පොලිසියට භාරදීමට කටයුතු කර ඇති අතර මාරවිල පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර දින හතක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණය විසින් අවසර ලබාගෙන තිබේ.

ඒ අනුව දිගින් දිගටම ප‍්‍රශ්න කිරීමේ දී ඇය වසර ගණනාවක් තිස්සේ මත්පැන් ජාවාරමේ නිරත වී ඇති බවත් අනතුරුව මෑත කාලයේදී හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරත වී ඇති බව අනාවරණය වී ඇත. ඊසිකෑෂ් ක‍්‍රමයට සහ ලබා ගන්නා ඇනවුම් අනුව යතුරු පැදියෙන් ගොස් හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමට කටයුතු කරන අතර එසේ අලෙවි කරන පුද්ගලයින් සම්බන්ධව සහ ඇය මත්කුඩු ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධව දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන විමර්ශන කටයුතු සිදු කරන බව පොලිසිය පවසයි.

හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ, සහකාර පොලිස් අධිකාරී රංජිත් විජේවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් මත මාරවිල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක අයිරංගනී, විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විමල් ජිනදාස, පොලිස් සැරයන්වරුන් වන 54636 ජයරත්න, 57615 නිමල්, 41402 ගුණරත්න පොලිස් කොස්තාපල්වරුන් වන 68266 සාගර, 87018 ප‍්‍රියදර්ශන, 96273 වීරසේකර ඇතුළු නිලධාරින් විමර්ශන කටයුතු සිදු කළහ.

අමරනන්ද විජේසේකර
මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment