පන්දු යවන්නෝ සහ සුපුන් යොවුන් ගෞරවය රකිති

401

පන්දු යවන්නන්ගේ විශිෂ්ට දක්ෂතාවය සහ සුපුන් වඩුගේ ගේ ධෛර්යවන්ත ඉනිම මත නැමීබියාවට එරෙහිව ලකුණු 77ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යෞවනයෝ ඊයේ (24 වැනිදා) දකුණු අප්‍රිකාවේදී සමත් වූහ.

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවති එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 133 කට සීමා වුවද පන්දු යවන්නන් විසින් නැමීබියා ඉනිම ලකුණු 56කට සීමා කිරීමෙන් එම ජයග්‍රහණය හිමිවිය.

ලකුණු 134 ක ඉලක්කයක් හඹා ගිය නැමීබියා ඉනිම පන්දු වාර 27 කදී නිමා විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රුවිෂාන් පෙරේරා ලකුණු තුනකට කඩුලු තුනක් සහ විශ්ව ලහිරු ලකුණු 19 කට කඩුලු තුනක් දවා ගත්හ.

දිනුර කළුපහන ලකුණු 8 කට කඩුලු 2 ක් දවා ගත් අතර ගරුක සංකේත් එක් කඩුල්ලක් හිමිකර ගත්තේය.

දකුණු අප්‍රිකාවේ කිම්බර්ලිහිදී පැවති එම තරගය මෙවර ලෝක කුසලාන තරගාවලියේ 12 වැනි තරගය ලෙස ක්‍රියාත්මක වූ අතර කාසියේ වාසිය හිමි කර ගත් නැමීබියා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37.5කදී සියලු ක්‍රීඩකයින් ලකුණු 133කට දැවී ගිය අතර අංක 3 පිතිකරු සුපුන් වඩුගේ එක් අන්තයක් රැක ගනිමින් නොදැවී ලකුණු 56 ක් ලබා ගත්තේය.

රුසඳ ගමගේ ලකුණු 17කින් සහ ෂාරුජන් ෂන්මුගනාදන් ලකුණු 13කින් සුපුන් ගේ ඉනිම සඳහා දායකත්වය ලබා දුන් අතර සෙසු ශ්‍රී ලංකා පිතිකරුවන්ට රිසි සේ ලකුණු රැස්කිරීමට ඉඩ ලබා නොදුන් සචෝ වැන් වූරන් ලකුණු 23කට කඩුලු 04ක් සහ ජොහැන්නස් ඩිවිලියර්ස් ලකුණු 19කට කඩුලු 03ක් දවා ගත්හ. ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය යටතේ සහභාගි වන ඊළඟ තරගය ලබන 28 වැනිදා ඔස්ටේ්‍රලියාවට එරෙහිව පැවැත්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment