ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තදින්: ආරක්ෂාවට තර්ජනයක් ටෙලිකොම් විකුණන්න නිර්දේශ නොලැබෙයි

215

ෆොන්සේකාත් සාමාජිකත්වයෙන් අස්වෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඉකුත් 9 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කළ වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට සංවේදී කරුණු හෙළිදරව් වීමට ඇති හැකියාව හේතුවෙන් බව ද එහි දක්වා තිබේ.

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කරනු ලැබුවහොත් රාජතාන්ත්‍රික දූත මණ්ඩල, ඉහළ මට්ටමේ රාජ්‍ය අංශ, පුද්ගලික අංශයේ සහයෝගිතා ව්‍යාපාර, ආරක්‍ෂක සේවා, පොලිසිය වැනි ආයතනවලට අවදානමක් ඇතිවිය හැකි බව ද එම වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

එම හිස්වූ සාමාජිකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතා පත් කර ඇත. මෙහි සෙසු සාමාජිකයන් ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු, චන්දිම වීරක්කොඩි, චන්න ජයසුමන, චාර්ල්ස් නිර්මලනාදන්, සුමිත් උඩුකුඹුර, මේජර් ප්‍රදීප් උඳුගොඩ, මේජර් සුදර්ශන දෙණිපිටිය සහ නිමල් පියතිස්ස යන මන්ත්‍රීවරු කටයුතු කරති.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment