ජාතික රෝහලේ විකිරණ ශිල්පීන් 14 කට කොවිඞ්

100

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු විකිරණ අංශයේ සේවය කරන විකිරණ ශිල්පීන් 08 දෙනකුට හා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් 06 දෙනකුට කොරෝනා ආසාදනය වැළඳී තිබීම හේතුවෙන් එම විකිරණ අංශයේ සිදුකෙරෙන විකිරණ පරීක්‍ෂණ කටයුතු දැඩි සේ අඩාල වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි.

ජාතික රෝහලේ හදිසි අනතුරු විකිරණ අංශයේ සේවය කරන තවත් විකිරණ ශිල්පීන් දෙදෙනකු කොරෝනා ආසාදිත විකිරණ ශිල්පීන්ගේ ආශ‍්‍රිතයන් වී නිරෝධායනයට ලක්ව සිටින බවත් දැනට අංශයේ විකිරණ පරීක්‍ෂණ කටයුතු සිදු කෙරෙනුයේ රෝහලේ වෙනත් අංශවල සේවය කරන විකිරණ ශිල්පීන් යොදාගෙන දැඩි අපහසුතාවයකින් බව විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා පැවැසීය.

ජාතික රෝහල තුළ විකිරණ ශිල්පීන්ගේ උග‍්‍ර හිඟයක් පැවැතියදී මෙවැනි තත්ත්වයක් හට ගැනීම හේතුවෙන්

රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව පෙන්වා දෙන ඈපා මහතා මෙවැනි තත්ත්වයකදී යෝජිත රජයේ විකිරණ ශිල්පීන්ගේ විශ‍්‍රාම යන වයස අවුරුදු 63 ක් දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව කි‍්‍රයාත්මක කරන්නේ නම් විශ‍්‍රාමික විකිරණ ශිල්පීන්ගේ සහය විකිරණ පරීක්‍ෂණ සිදුකිරීම සඳහා ලබාගත හැකි වන බව අවධාරණය කළේය.

දැනට ජාතික රෝහලේ කොරෝනා ආසාදනය වී ඇති මුළු විකිරණ ශිල්පීන්ගේ සංඛ්‍යාව 25 ක් වන අතර රට පුරා රෝහල්වල මෙතෙක් කොරෝනා ආසාදනය වී ඇති මුළු විකිරණ ශිල්පීන්ගේ සංඛ්‍යාව 200 ට ආසන්න බවත්, විකිරණ ශිල්පීන් 124 දෙනකු සිටිය යුතු රෝහලේ එම ශිල්පීන් 68 දෙනකු පමණක් සේවය කිරීම ගැටලූවක් බවද ඔහු අවධාරණය කළේය. මෙවැනි තත්ත්වයක් තුළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව මගින් අනුමැතිය ලබාදී ඇති රජයේ විකිරණ ශිල්පීන්ගේ විශ‍්‍රාමික වයස අවුරුදු 63 ක් දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවට ඇමැති මණ්ඩලය විසින් අනුමැතිය ලබානොදීම ගැටලූවක් බවද හෙතෙම සඳහන් කළේය.

ඒමන්ති මාරඹේ
 

advertistmentadvertistment
advertistmentadvertistment