අපරිමිත ගුණ කදම්භයක පරමාදර්ශී පැවිදි පඬිමිණ දොඩම්පහළ චන්දසිරි මා නාහිමි

96

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, අභිධජ මහාරට්ඨගුරු අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පිං පමුණුවන සත්දින මතක ධර්ම දේශනාව 2023 මැයි 22 සඳුදා දින සවස 4:00 සිට රාත්‍රී 8:00 දක්වා කලපලුවාව, ගෝතම තපෝවන මහා පධන්ඝරයේ දී පැවැත්වේ.

දේශකයන් වහන්සේ, පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ සාධු සිතින් සියල්ලෝම පැමිණෙත්වා….

ශ්‍රී ලංකා සම්මා සම්බුද්ධ ශාසනය ශෝභාවත් කළ මහා යතිරුවනක වූ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, මහාමහෝපාධ්‍යාය, අමරපුර ශ්‍රී කල්‍යාණිවංස නිකායේ මහනායක, කළපළුවාව ගෝතම තපෝවනය ප්‍රධාන තදීය ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති, මහාවිහාරවංශාලංකාර, අමරපුර ගණපාමොක්ඛාචරිය, වංගීසවංශාලංකාර, විපස්සනාකම්මට්ඨානාචරිය කල්‍යාණිවංස කීර්ති ශ්‍රී, අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක මාහිමියන් වහන්සේ මෙම මස 16 වන දින අපවත් වී වදාළහ. උන්වහන්සේගේ ආදාහනය මැයි මස 21 වන දින පූර්ණ රාජ්‍ය ගෞරවය සහිතව නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතය. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

මාතර දිස්ත්‍රික්කයේ, දොඩම්පහල නමැති රමණීය ග්‍රාමවරයේදී වර්ෂ 1939 දෙසැම්බර් මස 20 දින එදිරිසූරිය පටබැඳිගේ මිසිනෝනා උපාසිකා මාතාවට සහ එදිරිවීර පටබැඳිගේ සරණේරිස් සිල්වා මහතාට දාව උතුම් පුත් රුවනක් මනුලොව උපත ලැබීය. එම දෙපළට දාව උපත ලද මේ කුමරුවා ධන්‍ය පුණ්‍ය ලක්ෂණයන්ගෙන් සමුපශෝභිත විය. සුදුසු වයස පැමිණි විට අධ්‍යයන කටයුතු සඳහා යොමු කළ මෙකුමරුවාණෝ මූලික අධ්‍යයන කටයුතු දොඩම්පහළ මධ්‍ය මහා විද්‍යාලයෙන් ලැබූහ.

මේ අතර, සංසාරගත ධන්‍ය පුණ්‍ය ලක්ෂණ ඉස්මතුවී ආයෙන් පැවිදි දිවියට ඇතුළත් වීමට සිත්පහළව ඊට අවැසි මූලික වත් පිළිවෙත් මාතර වීරබා පිරුවණින් ලබා වර්ෂ 1950 නොවැම්බර් 25 දින කුඩාවැල්ල වාලුකාරාමයේ දී, නූපේ ජයමහා විහාරාධිපති, විද්‍යා විශාරද පණ්ඩිත, මාතර ශ්‍රී මේධානන්ද නාහිමියන් වහන්සේගේ සහ වාලුකාරාමාධිපති, මාතර ශ්‍රී සද්ධාරාම නාහිමියන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන් උතුම් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් විය.

පැවිදි දිවියට ඇතුළත් වීමෙන් පසු මූලික අධ්‍යයන කටයුතු සඳහා මාතර වීරබා පිරිවෙනට ඇතුළත් වූ දොඩම්පහල චන්දසිරි හෙරණපාණෝ, එහිදී පැවිදි දිවියට අවැසි වත් පිළිවෙත් මැනවින් උගත්හ. ඉන් අනතුරුව උසස් අධ්‍යාපන කටයුතු සඳහා යොමු වූ උන්වහන්සේ ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනට ඇතුළත්ව විද්‍යාලෝක පරිවෙණාධිපති ධුරය හෙබවූ, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යාය අකුරටියේ අමරවංස නායක මාහිමියන් වහන්සේ සහ තොටගමු රත්පත් රජමහ විහාරාධිපති රාජකීය පණ්ඩිත, සාහිත්‍ය විශාරද, ගම්මැද්දේගොඩ ශ්‍රී පුඤ්ඤාසාර නායක මාහිමියන් වහන්සේ ගුරුතන්හි තබා ගනිමින් සිංහල පාලි සංස්කෘත, ඉතිහාසය, පුරාවිද්‍යාව ඡfන්‍දාලංකාර ආදි විෂයයන් පිළිබඳව ප්‍රාමාණික උගතෙකු බවට පත්වූහ.

මේ වන විට විසිවසක් සම්පූර්ණව උපසම්පදාර්හව වැඩ සිටි අප හිමිපාණෝ වර්ෂ 1962 ජූනි මස 17 වෙනි දින මාතර නිල්වලා නදී සීමා මාලකයේ දී එවකට ශ්‍රී කල්‍යාණිවංස මහා නිකායේ මහානායක ධුරන්දරව වැඩ සිටි විද්‍යා විශාරද පණ්ඩිත, මාතර මේධානන්ද මහානායක මාහිමියන් වහන්සේගේ උපාධ්‍යයත්වයෙන් සහ මාතර සද්ධාරාම නායක මාහිමියන් වහන්සේගේ ආචාර්යත්වයෙන් සුපරිශුද්ධෝපසම්පදාවට ඇතුළත් විය.

උපසම්පදාවෙන් පසු අගනුවරට සම්ප්‍රාප්ත වූ දොඩම්පහළ චන්දසිරි ස්වාමින් වහන්සේ, මාතර ශ්‍රී සද්ධාරාම නායක මාහිමියන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයාණන් වූ කුඩාවැල්ලේ වංගීස අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සෙවනෙහි භාවනා ප්‍රගුණ කිරීමට පටන් ගත් අතර, විපස්සනා කම්මට්ඨානාචරිය කහටපිටියේ සුමතිපාල මාහිමියන් වෙතින් වැඩි දියුණු කර ගත්හ. අභිධර්මය කෙරෙහිද විශේෂ උනන්දුවක් දැක්වූ අප හිමිපාණෝ දෙමටගොඩ මහා විසුද්ධාරාමයේදී අභිධර්ම විශාරද දෙවිනුවර ඤාණාවාස නාහිමියන් වෙතින් අබිදම් ඉගෙන ඒ පිළිබඳව ද ප්‍රාමාණික උගතෙකු බවට පත්වූහ.

විපස්සනා භාවනා පුහුණුව ලැබූ අපේ චන්දසිරි ස්වාමීන් වහන්සේ කුඩාවැල්ලේ වංගීස අධිකරණ නායක මාහිමියන් වහන්සේ සමග එක්ව වර්ෂ 1962 දී විශේෂ කර්තව්‍යයකට මුල පිරූහ. එනම් කලපළුවාව පෙදෙසින් අක්කර අටක පමණ භූමි භාගයක් ලබා ගෙන එහි ‘ගෝතම තපෝවනය’ නමින් භාවනා මධ්‍යස්ථානයක් පිහිටුවීමයි. අද වන විට මෙය ශාඛා, ප්‍රශාඛා වශයෙන් ලක්දිව නොයෙක් පළාත්වල ව්‍යාප්තව ඇත. මේ කර්තව්‍ය අපේ චන්දසිරි ස්වාමීන්වහන්සේ අතින් සිදු වූ වැදගත්ම ක්‍රියාව ලෙස අගය කළ හැකිය. අද වනවිට විපස්සනා භාවනා ක්‍රමය මේ හේතුවෙන් ලක්දිව පුරාම පාහේ ව්‍යාප්තව ඇත. කුඩාවැල්ලේ වංගීස අධිකරණ නායක මාහිමියන් වහන්සේ වර්ෂ 1982 දී අපවත් වූයෙන් ශ්‍රී ගෝතම තපෝවනය ප්‍රධාන ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති ධුරයට දොඩම්පහළ චන්දසිරි ස්වාමීන්වහන්සේ පත්වූහ.

එදින සිට අප දොඩම්පහළ නායක හාමුදුරුවෝ කලපළුවාවේ ගෝතම තපෝවනයට වැඩම කොට, මාතිකමාතා සමිතියේ පිංවතුන් සමග එක්ව ගෝතම තපෝවනයේ දියුණුවට සුවිශාල සේවාවක් සිදු කළහ. මේ අතරතුර ශ්‍රී කල්‍යාණිවංස නිකාය මගින් ‘තපෝවන සංඝනායක’ පදවිය පිරිනැමූ අතර, ඉන් ටික කලකට පසු ‘ප්‍රධාන අධිකරණ සංඝනායක’ ‘අනුනායක’ යන ධුරද්වයෙන් ද පුදනු ලැබූහ. මේ අතර කල්‍යාණිවංස මහ නිකායේ මහා නායක ධුරය හෙබවූ, මහෝපාධ්‍යාය, වීමලකීර්ති ශ්‍රී කොග්ගල සිරි විසුද්ධි නායක මාහිමියන් වහන්සේ වර්ෂ 1996 දී අපවත් වූයෙන් එතෙක් අනුනායක ධූරය හෙබවූ අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර්ෂ 1996 මාර්තු 31 දින දොඩන්දූව, ශෛලබිම්බාරාම මූල මහා විහාරයට රැස්වූ කල්‍යාණිවංසික සංඝසභාව විසින් ඒකමතිකව නිකායේ ‘ මහානායක ධුරයට ’ තෝරා පත්කර ගන්නා ලදහ. එම දිනයේ සිට මේ දක්වා අප නායක මාහිමියන් වහන්සේ නිකායාභිවෘද්ධිය උදෙසා සිදුකළ සහ සිදුකරන මෙහෙවර අතිශය ප්‍රශංසනීය ය. කොටස් තුනකට බෙදී වෙන්ව පැවති කල්‍යාණිවංශ නිකාය ඒකඡත්ත්‍ර කිරීමට දොඩම්පහල චන්දසිරි මාහිමියන් කටයුතු කළ අයුරු ප්‍රශංසාර්හය. ශ්‍රී කල්‍යාණිවංස නිකායේ දෙවන ශතසංවත්සර පූර්ණය 2010 වසරේ දී අති උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීමට ගත් ක්‍රියාමාර්ග හා සංවිධානත්‍වය එහිලා ජීවමාන සාක්‍ෂ්‍ය සපයයි. පැවැත්මෙන් ගමනින් වචනයෙන් සංවරශීලී වූ දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් ඉටුවන ලෝකශාසනික සේවාව පිළිබඳ අවධානය යොමුකළ ශ්‍රී ලංකා අමරපුර මහාසංඝ සභාව එකී සංඝ සභාවේ උපසභාපති ධුරයකින් ගෞරව කළ අතර වර්ෂ 2013 පෙබරවාරි මස 23 වන දින එම සංඝ සභාවේ සභාපති ධුරයට නිතරගයෙන් තෝරාපත් කර ගනිමින් නැවතත් ගෞරවෝපහාරය පුදකළහ. සභාපති පදවියට පත්ව ගෙවුණු පස් වසර තුළ අමරපුර මහා සංඝ සභාවේ අභිවෘද්ධිය වෙනුවෙන් උන්වහන්සේ ඉටුකළ සේවය අතිශය ප්‍රශංසනීය ය. එමෙන්ම විවිධ උත්සව ආදිය සඳහා දසතින් ලැබෙන ආරාධනා සඳහා වැඩමවමින් අමරපුර මහා සංඝ සභාවේ නියෝජනය ලබා දීමට උන්වහන්සේ ක්‍රියා කළේය. පස්වසරක ධුරකාලය 2018 වසරේදී අවසන් කළ නාහිමියෝ එම වසරේදීම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා මහෝපාධ්‍යාය ධුරයෙන් පිදුම් ලැබූහ. සම්බුදු සසුන වෙනුවෙන් උදාරතර ලෝක ශාසනික සේවාවක නිරතවන දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත 2021 ජනවාරි මස 4 වන දින මියන්මාර් රජය මගින් අග්ගමහා පණ්ඩිත උපාධියෙන්ද පුදනු ලැබූහ. එමෙන්ම මියැන්මාර් රජය විසින් 2022ක් වූ ජනවාරි මස 4 වන දින අභිධජමහාරට්ඨගුරු යන ඉහළම ගෞරවනාමය පිරිනමමින් අභිනව උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පුදනු ලැබූහ.

සම්මා සම්බුදු ශාසනයේ චිරපැවැත්ම වෙනුවෙන් වසර අසූහතරකට ආසන්න කාලයක් කැපකළ මෙන්ම අමරපුර නිකායාභිවෘද්ධිය වෙනුවෙන් සහ අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායාභිවෘද්ධිලා මහා මෙහෙවරක් සිදුකොට වදාළ අභිධජමහාරට්ඨගුරු දොඩම්පහල චන්දසිරිඅභිධාන උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම සම්මා සම්බුද්ධ ශාසනයට සිදුවූ බලවත් පාඩුවකි. උන්වහන්සේ විදර්ශනා ධුරය වඩමින් මෙරට ශාසන බ්‍රහ්මචරියාවේ නිරත මහනාහිමි වහන්සේ නමක ලෙස ඉටුකළ එම මෙහෙවරට අප සදා ණයගැතිය. උතුරුතර මහානාහිමිපාණන් වහන්ස මතු භවයකදී ඔබ වහන්සේගේ දිවිගමන, ඔබ වහන්සේගේ භව ගමන සුවපත් වේවා අවසන උතුම් වූ නිවනින් සැනසේවා! යි ප්‍රාර්ථනා කරම්හ.

advertistmentadvertistment
advertistmentadvertistment