මාර්තු 06 වැනිදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් අන්තරය විරෝධතාවක් සංවිධානය කර තිබුණි. විරෝධතාව ආරම්භ කරන්නටත් පෙර, එයට පොලිස් ප්‍රහාර එල්ල කළ අතර නීති විරෝධී ක්‍රියා නොව, කිසිදු ක්‍රියාවක් කරන්නට පෙර සිසුන් එළවා දමා අන්තරේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් මෙරට සිදු කරන ප්‍රතිසංස්කරණ ගණනාවක් අතර එක් ප්‍රධාන එකක් වන්නේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීමය. ඒ අනුව වසර 25ක් උදෙසා වූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සහ එහි 2023 – 2033 දස අවුරුදු සැලැස්මක් මේ වෙද්දී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රසිද්ධ කර තිබේ. මෙය මාර්තු මස අගදී අධ්‍යාපනය සඳහා වූ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂක කාරක සභාවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතය. මාර්තු 06 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාරට බැස තිබුණේ එයට විරෝධය පෑමටය. හිරේ යන්නට සිදු වුණේ ඒ නිසාය.

ඇමෙරිකාවේ වෛද්‍ය විද්‍යාලයක ගාස්තු අය කිරීම නවත්වන මොහොතේ සිසුන්ට හැඟීම්බර වූ හැටි මෑතකදී ලෝකයටම ප්‍රචාරය විය. ඇමෙරිකාවේ ශිෂ්‍ය ණය නිසා ජීවිත වැනසුණු කතාන්දරවලින් අද එරට දේශපාලනයේ අංක එකේ අර්බුදයක් නිර්මාණය කර තිබේ. ඒ නිසාම පෙර කී ගාස්තු නැවැත්වූ විශ්වවිද්‍යාලය දෙස බලා ණය බරින් මිරිකුණු ඇමෙරිකානු සිසුන් හූල්ලමින් සිටී.

එවැනි මොහොතක අපේ රටේ සිටින ජනාධිපතිවරයා තමන් අසූ ගණන්වල අධ්‍යාපන ඇමැතිව සිටි කාලයේ ගෙනෙන්නට උත්සාහ කළ යෝජනා වසර 45කට පමණ පසු ‘නව සංකල්ප’ ලෙස අයිසින් යොදා ප්‍රවර්ධනය කරමින් සිටී.

අධ්‍යාපනය හදන්න වෙළෙඳ කමිටුවක්

මෙය සකස් කළේ 25 දෙනකුගෙන් යුතු කමිටුවකිනි. ඒ කමිටුවේ සාමාජිකයන් ලෙස හෝ එම කමිටුව විසින් අදහස් විමසීමට ලක් කළ පුද්ගලයන් අතර මෙරට ගොවියන් නැත. ඇඟලුම් කලාපයේ වෙහෙස වී ශ්‍රමය වගුරන තරුණයෙකුට අධ්‍යාපනය වෙනස් විය යුත්තේ කෙසේද කියා අදහසක් කියන්න ඉඩක් නැත. විදේශ ශ්‍රමිකයන්ට, සිසුන්ට, පාසල්වල සිටින සිසුන්ට, ගුරුවරුන්ට, අධ්‍යාපනඥයන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ නියෝජිතයන්ට අදහස් කියන්නට ඉඩ විවර වී නැත.

ඒ වෙනුවට මෙම කමිටුවේ පෞද්ගලික පාසල් හිමිකරුවන් සිටී, ආයෝජකයන්ගේ සංගම් නියෝජිතයන් සිටී, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතත් ඔවුන් අධ්‍යාපනඥයන් නොව වත්මන් ජනපතිගේ ආර්ථික දැක්මම පිළිගන්නා ආර්ථික විශේෂඥයන්ය, සංචාරක පහසුකම් සලසන ඇප් එකක් නිර්මාණය කළ තාක්ෂණ ව්‍යාපාරිකයකු සිටී, හෝටල් ව්‍යාපාරිකයෙකු සිටී.

ඒ අනුව මෙම කමිටුව දෙස බැලූ විටම අධ්‍යාපනය ‘බිස්නස් එකක්’ ලෙස සලකමින් එම ‘බිස්නස් එක ගොඩදැමීමේ’ සැලසුමක් මිසක අධ්‍යාපන අයිතිය සුරැකීමේ සැලසුමක් නොවන බව පෙනී යයි.

මේ ප්‍රතිපත්තිය නිදහස් අධ්‍යාපන සංකල්පයේ මිනී පෙට්ටියට අවසන් ඇණය ගසනු ඇත. අදටත් නිදහස් අධ්‍යාපනය මෙරට සම්පූර්ණ සහ සාධාරණ ලෙස ක්‍රියාත්මක නොවේ. ඒ නිසාම, ණය වෙමින් පුද්ගලික අධ්‍යාපන ආයතනවලින් උපාධි ලබන සිසුන් බොහොමයකි. ඒ නිසාම, එවැනි සිසුන් බොහෝ දෙනෙක් අධ්‍යාපනය පුද්ගලිකකරණය කිරීමක් ගැන කලබල නොවෙනවා විය හැක. එහෙත්, අනාගත පරපුර වෙනුවෙන් අප මේ ප්‍රතිපත්තියට අවධානය යොමු කළ යුතුය.

ප්‍රධාන යෝජනා

මෙම ප්‍රතිපත්ති රාමුව යෝජනා 41ක් ඇතුළත් පිටු 33ක වාර්තාවකි. බොහෝ යෝජනා එහි ඇත්තේ තනි හෝ ද්විත්ව වාක්‍ය ලෙසය. ඒවා ක්‍රියාත්මක කරන හැටි විස්තර කර නොමැත. එම නිසා, මෙය සම්මත වුණොත් පාලකයන් එය කුමනාකාරයෙන් එය ක්‍රියාත්මක කරනු ඇතිද යන්න අපට තේරුම් ගන්නට සිදු වන්නේ ඔවුන්ගේ අතීත කල්ක්‍රියා මත පදනම්ව, මෙම ප්‍රතිපත්ති හදන්නන්ගේ ස්වභාවය තේරුම් ගනිමින් පමණි. ඒ හැරුණාම සිදු වන්නට නියමිත දේ ගැන විනිවිදභාවයක් නැත. මෙම යෝජනා මත පදනම්ව අණපනත් ගණනාවක් වෙනස් කිරීම, පරිපාලනය සම්පූර්ණයෙන් උඩුයටිකුරු කිරීම සිදුවනු ඇත. අප මෙය ලිවීමේදී, මෙම ප්‍රතිපත්ති රාමුව ගැන පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කළ මහාචාර්ය අර්ජුන පරාක්‍රමගේ සහයෝගය ලබාගත්තෙමු.

මෙහි ඇති යෝජනා ප්‍රධාන කොටස් තුනකි. එකක් වන්නේ ඉගැන්වීම් ක්‍රමවේදය වෙනස් කිරීමය. දෙවැන්න පරිපාලන ක්‍රමවේදය වෙනස් කිරීමය. තුන්වැන්න ආයෝජන සහ ප්‍රාග්ධන සම්පත් සැලසීමේ ක්‍රමවේද වෙනස් කිරීමය. මේ තුනෙන් පළමු එක බැලූ බැල්මට විරෝධය දක්වන්නට හේතු නොවන ආකාරයෙන් සකසා ඇත. එහි එන ආකාරයට ආගමික සමගිය උගන්වන්නේලු. කෘත්‍රිම බුද්ධිය උගන්වන්නේලු. ඉංග්‍රීසියෙන් උගන්වන්නේලු. දේශගුණ විපර්යාස උගන්වන්නේලු. ඉතින්, මේ පළමු කොටස මෙම ප්‍රතිපත්ති රාමුවේ අයිසින් තට්ටුව ලෙස හැඳින්විය හැක.

වඩාත් භයානක ප්‍රතිසංස්කරණ යෝජනා කර ඇත්තේ පරිපාලනය සහ මුදල් සපයාගැනීම පැත්තෙන්ය. එයිනුදු අප මෙම ලිපියේදී වැඩිපුරම අවධානය යොමු කරන්නේ අධ්‍යාපනයට මුදල් සම්පාදනය පැත්තෙන් යෝජනා කර ඇති වෙනස්කම්ය.

ඒ අනුව මෙහි එන භයානකම යෝජනාව වන්නේ, රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් මුදල් අය කිරීමට සැළසුම් කර තිබීමය. 33 – 41 යෝජනාවල හරය එයයි. 33න් යෝජනා කරන්නේ පුද්ගලික – රාජ්‍ය හවුල්කාරීත්වය පාසල් – උසස් අධ්‍යාපන ආයතනවලට හඳුන්වාදීමය. 35 වැනි යෝජනාව අනුව පාසල්වලට මුදල් සැපයීමේදී එයට පාදක කරගන්නා කරුණු තුනක් අතර, ‘කාර්යසාධනය’ ඇත. ඒ කියන්නේ වැඩි ප්‍රතිඵල සපයන පාසල්වලට වැඩිපුර ප්‍රතිපාදන ලැබෙන බවය. එහෙත් ඇත්තෙන්ම ලංකාවේ බොහෝ පාසල්වල ප්‍රතිඵල අඩු වන්නේ ඒවාට ප්‍රතිපාදන නොමැතිකම නිසාය. මේ මොන අසාධාරණයක්ද?

මෙහි 36 වැනි වගන්තියෙන් රජයේ විශ්වවිද්‍යාල තම වියදම් සඳහා ක්‍රම තුනකින් මුදල් සෙවීමේ ව්‍යාපෘති ආරම්භ කළ යුතු බව සඳහන් කර ඇත්තේ, රාජ්‍ය අයවැයෙන් මුදල් වෙන් කිරීම දැඩිව සීමා කරන පසුබිමකය.

37 වැනි යෝජනාව අනුව වසර තුනක් ඇතුළත විශ්වවිද්‍යාලවලට මුදල් සැපයීම ‘ලයින් බේස්ඩ්’ හෙවත් ‘ඍජු අයිතම පදනම් කරගත් මුදල් සැපයීමේ’ ක්‍රමවේදයේ සිට ‘අයිටම් බේස්ඩ්’ ක්‍රමය හෙවත් සිසුන් බඳවා ගැනීම් කේන්ද්‍ර කරගත් මුදල් සැපයීම් දක්වා මාරු කළ යුතුය.

බැලූ බැල්මට කෙනෙකුට මෙහි භයානකකම අවබෝධ නොවනු ඇත. දැනට විශ්වවිද්‍යාලවලට මුදල් සපයද්දී එක් එක් අයිතමය සටහන් කරන්නේ දේශන ශාලාවලට යන වියදම, විද්‍යාගාරවලට යන වියදම, විදුලි බිල ආදී කරුණු මත පදනම්වය. එහෙත්, වසර තුනක් ඇතුළත මෙය වාර්තා කරනු ඇත්තේ එක් එක් ශිෂ්‍යයා වෙත වැය වන වියදම එක් අයිතමයක් ලෙස ගනිමින්ය. ඒ අනුව හැම ශිෂ්‍යයාගේම හිසේ ‘ප්‍රයිස් ටැග්’ එකක් ලැබෙනු ඇත.

එතැනින් නතර නොවේ අනෙක් භයානක කරුණ 38 වැනි යෝජනාවේ ඇති විශ්වවිද්‍යාලවලට ප්‍රතිපාදන වෙන් කිරීමේ ක්‍රමය සම්පූර්ණයෙන් උඩු යටිකුරු කර, ඒ මුදල සිසුන්ගේ ගිණුම් වෙත යොමු කිරීමට යෝජනා කරයි. එනම්, විශ්වවිද්‍යාලය වාර්ෂිකව තමන්ගේ පහසුකම් පවත්වාගෙන යෑම වෙනුවෙන් වැය වන මුදල නොව එක් එක් ශිෂ්‍යයා ගනුදෙනුකරුවකු ලෙස සලකා ඒ ඒ ශිෂ්‍යයාට වැය කරන මුදල් ගණන් හදා අන්න එම මුදල ශිෂ්‍යයා අතට ලබා දීමට නියමිතය. ශිෂ්‍යයා එය ගාස්තුවක් ලෙස විශ්වවිද්‍යාලයට ගෙවනු ඇත. ඒ අනුව විශ්වවිද්‍යාලය වෙත මුදල එන්නේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හෝ භාණ්ඩාගාරය හරහා නොව ශිෂ්‍යයා අතිනි.

යෝජනාවලිය එතැනින් නතර නොවේ. එලෙස සිසුන්ගේ අතට ලැබෙන මුදල්වලින්, සිසුවකු කැමති නම් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකත් අධ්‍යාපනය ලැබිය හැක. බැලූ බැල්මට එය යහපත් කරුණක් බව හැඟෙනු ඇත. එහෙත්, ඇත්තටම සිදුවනු ඇත්තේ කුමක්ද? රජයේ මුදල් පෞද්ගලික ව්‍යාපාර අතට පත් වීමය. අපට මේ ගැන කරුණු පෙන්වාදුන් මහාචාර්ය අර්ජුන පරාක්‍රම කී විදියට, අනිවාර්යයෙන්ම කල් යද්දී සිසුවා අතට දෙන මුදල සහ විශ්වවිද්‍යාලය විසින් අය කරන මුදල අතර පරතරයක් නිර්මාණය වනු ඇත. ඒ අනුව අතින් මුදලක් ගෙවන්නට සිදුවනු ඇත. දුප්පතුන්ට ණය වෙන්නට හෝ අධ්‍යාපනය අත්හරින්නට සිදුවනු ඇත.

මෙකී නොකී ප්‍රතිපාදන වෙන් කිරීමේ වෙනස්කම්වලට අමතරව පරිපාලනයේ වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට නියමිතය.

දැනට පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා නීත්‍යානුකූලවම නියාමනය කරන්නේ, රජයේ විශ්වවිද්‍යාල පමණි. එහෙත්, මෙම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළින් එම කොමිසම අහෝසි කිරීමට යෝජිතය. ඒ වෙනුවට ‘රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සියලුම උසස් අධ්‍යාපන ආයතන සඳහා වූ බලතල සහිත වගකීම දරන උසස් අධ්‍යාපන කොමිෂන් සභාව’ බවට පරිවර්තනය කිරීමට නියමිතය.

එමගින් පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් රාජ්‍ය විශ්වවිද්‍යාල හා සමාන නීතිමය පිළිගැනීමක් ලැබෙනු ඇත. එහෙත්, කතාව එයට සීමා නොවේ. දැනට විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය රැකගැනීමේ වගකීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතුය. එහෙත් මෙම යෝජනාවෙන් එය අහවර වේ. අලුත් ආයතනයක් හැදෙන්නේ හුදෙක් ලියාපදිංචිය දීමට පමණි. ඒ ආයතනයට රාජ්‍ය, පෞද්ගලික ඔක්කෝම සමානය. පෞද්ගලික විශ්වවිද්‍යාල පරිපාලනයන් මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමග සටන් වදින තනි තනි අසරණ ආයතන වනු ඇත.

රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල එකම දර්ශකයක් තුළ ශ්‍රේණිගත කරනු ඇති අතර, විශ්වවිද්‍යාල දෙවර්ගය තුළම ගාස්තු අය කරද්දී වෙනස හඳුනාගත නොහැකි වනු ඇත. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලින් අධ්‍යාපනය ලැබූ හෝ ලබන්නට කැමති අයගේ කෝණයෙන් මෙම නව ලියාපදිංචි කිරීම් සාධාරණ බව සිතනු ඇත. මෙහි විග්‍රහ කිරීමට ඉඩ නැතත්, පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට යොමු වන්නට බොහෝ අයට සිදුව ඇත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රමාණවත් අවස්ථා නොලැබීම නිසාය. සැබෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුවක් තුළ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඉතා සාධාරණ ගාස්තුවක් මත, අවස්ථා අහිමි වූවන් වෙත අධ්‍යාපනය ලබා දීමට ඉඩකඩ ඇත.

අනෙක් අතට, මෙහි සංවාදයට ලක් කළ යුත්තේ පෞද්ගලික අංශයට වාන් දොර ඇර දැමූ පසු අනාගතය කුමක් වේවිද යන්නය. නොමිලයේ ලබා දුන් අධ්‍යාපනයට කුමකක් වනු ඇතිද යන්නය. ඕනෑ කෙනකු උදාහරණ ගත යුත්තේ ඉන්දියාවට අද සිදුව ඇති දේ ගැනය. ඉන්දීය චිත්‍රපටියක් බැලුවත් එය දැකගත හැක. නිදහස් අධ්‍යාපනය අවසන් කිරීමේ වගකීම ඉන්දීය පෞද්ගලික අංශය විසින් භාරගෙන ඇත.

ඔය සියල්ලට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය වීසා ආයතනයක් කිරීමටත් මෙහි යෝජිතය. එනම්, විදේශීය සිසුන්ට රැකියා ලබා දීමට සූදානම් වේ. ළමා ශ්‍රමය නීතිගත කිරීම සඳහා ආවරණය සැලසීමත්, ශාස්ත්‍රීය අධ්‍යාපන විෂයන් බොහොමයක් ස්වභාවික මරණයට ලක් කිරීමට පදනම සැකසීමත් මෙහි අනෙකුත් බලපෑම් අතර තිබේ.

මෙහි දීර්ඝකාලීන බලපෑම ඉතා බිහිසුණු වනු ඇත. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු කිහිප වතාවක් මෙය ‘කුරිරු’ සැලසුමක් බව කියා තිබුණි. ඒ වචනය යෙදීම සාධාරණය. අනාගත පරපුරට නිදහස් අධ්‍යාපනය නම් වූ වටිනාම සම්පත අහිමි කිරීම කුරිරු ක්‍රියාවකි.

විහිළුවක්

මෙහි ඉගැන්වීම් ක්‍රමවේද වෙනස් කිරීමේ යෝජනාව අපි පුළුල් විග්‍රහයකට ලක් නොකරන්නෙමු. එහෙත්, කෘත්‍රිම බුද්ධිය සහ ඉංග්‍රීසියෙන් ඉගැන්වීම ගැන පොරොන්දුවේ විහිළු සහගත බව ගැන නොකියාම බැරිය.

ස්කැන්ඩිනේවියානු යුරෝපීය රටවල්වල අධ්‍යාපනය ලබා දෙන්නේ ඉංග්‍රීසියෙන් දැයි සොයා බැලිය යුතුය. ලෝකයේ ඉහළම අධ්‍යාපනයක් ඇති පින්ලන්තයේ අංක එකේ අධ්‍යාපන භාෂාව ෆිනිෂ්ය. ප්‍රංශයේ උගන්වන්නේ ප්‍රංශ භාෂාවෙනි. ජපානය, චීනය, ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය මෙන්ම කැනඩාවේ පවා සමස්ත අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් ලබා දෙන්නේ නැත. ඉංග්‍රීසි මාධ්‍යයෙන්

ඉගැන්වීම යනු ලොව පිළිගත් දියුණු මතයක් නොවේ. ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම නම් වෙනම කතාවකි. භාෂා දැනුම ලැබීම සහ යම් භාෂාවකින් සියලු විෂයන් ඉගැන්වීම එකක් නොව කරුණු දෙකකි. එපමණක් නොව, ශ්‍රී ලංකාවේ සිටින අතිවිශිෂ්ට ගුරුවරුන් පවා තම තමන්ගේ විෂයන් ඉගැන්වීමට පුරුදු වී ඇත්තේ සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙනි. තමන්ගේ මව් බසෙනි. උගන්වනවා කියන්නේ, අලුත් දෙයක් කියාදෙන සන්නිවේදන වැඩකි. ඒ වෙනුවෙන් නිරායාසයෙන්, සැහැල්ලුවෙන් භාෂාව හැසිරවීමත් අත්‍යවශ්‍ය දෙයකි. ඉතින්, ගෙදරදීත් ඉංග්‍රීසිය කටේ ගාගත් උසස් පංතියකට මිස, සාමාන්‍ය පංතියට නුහුරු භාෂාවකින් ඉගැන්වීමත් ඉගෙනගැනීමත් යන දෙකම සිංහල හා දෙමළ සාමාන්‍ය පංතියේ පුරවැසියන්ට මොළය කුරුවල් කරන විකෘතියක් වනු ඇත.

දෙවැන්න කෘත්‍රිම බුද්ධිය ගැන කතාවය. බැලූ බැල්මට සිසුන්ට තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය ඉගැන්වීම යහපත්ය. එහි කිසි ගැටලුවක් නැත. ඒ සඳහා පාසල් පද්ධතියට ඉහළම තාක්ෂණ උපාංග අවැසි වනු ඇත. ගුරු විවේක කාමරයේ තිබෙන හද්දා පරණ ඩෙක්ස්ටොප් පරිගණකයක් පමණක් පාසල් අධ්‍යාපනය ‘කෘත්‍රිම බුද්ධිය’ හඳුන්වාදිය නොහැක. ස්මාර්ට් පංති කාමර හැදීමත් යහපත් නමුත්, ශ්‍රී ලංකාව ඉන්නේ පාසල් දස දහසෙන් සෑහෙන ප්‍රමාණයක ලැට් එක හෝ විදුලි බලයවත් නැති තැනකය. ඒ හිස්තැන් පිරවීම ගැන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ එක වචනයක්වත් නැත. අධ්‍යාපන අයිතිය, නිදහස් අධ්‍යාපනය වැනි වචන මේ ප්‍රතිපත්ති රාමුවේ ගෑවෙන්නටවත් ඉඩ නොදෙන්නට එය සකස් කළ වෙළෙන්දන් වගබලාගෙන ඇත.

ඒ සියල්ල පසෙක තබමු, දැන් රනිල් වික්‍රමසිංහ කෘත්‍රිම බුද්ධිය ඉගැන්වීමත්, නොදන්නා භාෂාවකින් අනෙකුත් විෂයන් ඉගැන්වීමත් යන දෙකම එකට කියන්නේ අහවල් එකකටද? කෘත්‍රිම බුද්ධිය නිසාම අද භාෂා දැනුම පිළිබඳ බාධකය තුරන් වී තිබේ. අද, භාෂා පරිවර්තනය මෙන්ම, ඒ ඒ භාෂාවලින් ලිවීමේදී ව්‍යාකරණ දෝෂ ආදිය හඳුනාගැනීම ආදී සියල්ල කෘත්‍රිම බුද්ධිය හරහා කළ හැක. ඒ නිසා, කුමන භාෂා මාදිලියකින් අධ්‍යාපනය ලබා, විෂය අවබෝධ කරගෙන, තර්ක බුද්ධිය වර්ධනය කරගත් අයකුට භාෂාව විශාල බාධකයක් කර නොගෙන ඉදිරියට යා හැක.

විරුද්ධයි

මේ වෙද්දී මෙරට ශිෂ්‍ය ව්‍යාපාර මෙන්ම වෘත්තිය සමිති ව්‍යාපාරයද මෙම ප්‍රතිපත්ති රාමුවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙමින් සිටී.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් එම ප්‍රතිපත්ති රාමුව ගැන මෙසේ පැවසීය.

‘රටේ අධ්‍යාපනය කෙළෙසන්න, මුදලාලිකරණය කරන්න කූට පිළිකුල් සහගත මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් යනවා. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අධිරාජ්‍යවාදී රටවල් ඉදිරියේ දණ නමලා ඉන්නේ. ඒ අනුව ආර්ථිකයේ සැලකිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් යනවා. ඒ අනුව සමාජයේ පංතියකට පමණක් බලපාන වෙනස්කම් කරමින් ඉන්නවා. ඒකට ගැළපෙන්න තමයි මේ වෙද්දී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් ගෙනල්ලා තියෙන්නේ.

විශ්වවිද්‍යාලවලට මේ වෙද්දී වෙන් කරන මුදල් ප්‍රතිපාදන අඩු කරන ප්‍රතිපත්තියක රනිල් ආණ්ඩුව නිරත වෙලා ඉන්නවා. මේකෙන් යෝජනා කරනවා විශ්වවිද්‍යාල තුළින් මුදල් උපයන්න කියලා. එතැනදී සමාජ ප්‍රගමනයට වැදගත් සාහිත්‍ය, සෞන්දර්ය හා ඉතිහාසය ආදී විෂයන් නැහැ. වෙළෙඳ අවශ්‍යතා වෙනුවෙන් වූ විෂයන් පමණක් උගන්වාවි. අධ්‍යාපනයේ අර්ථවත්, උසස් අධ්‍යාපනය කියන වාච්‍යාර්ථයවත් මින් ඉදිරියට තඹ සතයකටවත් ඉතිරි වෙන්නේ නෑ.

විශ්වවිද්‍යාල පද්ධතිය පමණක් නෙවෙයි, පාසල් අධ්‍යාපනයටත් මෙහි යෝජනා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමැති විදියට සිටියදී 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාවේ තිබුණු පොකුරු පාසල් ක්‍රමය මෙයින් නැවත යෝජනා කරනවා. පෞද්ගලික පාසල් ස්ථාපිත කරන්නට තියෙන අවස්ථා ප්‍රවර්ධනය කරනවා.

මින් ඉදිරියට පාසල් පද්ධතියට මුදල් වෙන් කරන්නේ කොච්චර ප්‍රතිඵල පෙන්වලා තියෙනවාද කියන කරුණ මත. ඒ අනුව අඩුවෙන් ප්‍රතිඵල ලබන ශිෂ්‍යයන්ට නෙවෙයිද වැඩි අවධානයක් දෙන්න ඕනෑ.’

මෙය පරාජය කිරීමට කොන්දේසි විරහිත අරගලයක් ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා.’

මහාචාර්ය අර්ජුන පරාක්‍රම මෙසේ අවධාරණය කළේය. ‘මේ දැන් අප රට වැසියන්ට, ප්‍රගතිශීලී බලවේගවලට ඉතාම තීරණාත්මක අවස්ථාවක් එළැඹිලා තියෙන්නේ. අපි එක්සිත්ව එකතු වී නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටිනවා. ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන අයිතිය සුරැකීම වෙනුවෙන් අපි ඇප කැප වෙනවා. සමානතාව හා සම අවස්ථා ලබා දී විෂමතා අවම කිරීමට අධ්‍යාපනය තුළින් අපි පෙනී සිටින්න ඕනෑ. ඒ වගේම ශිෂ්‍යයන්ගේ මූලික අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් පදනම් වූ අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් පෙනී ඉන්න ඕනෑ. මේ තීරණාත්මක අවස්ථාව ලබා ගත්තේ නැත්නම් අවුරුදු 70ක නිදහස් අධ්‍යාපනය ගිලිහී යනවා. අධ්‍යාපනය වරප්‍රසාදලත් කොටසක තවත් වරප්‍රසාදයක් බවට පත් වෙනවා. ඔවුන්ට තව තවත් විකල්ප ලබා දෙන අතර සාමාන්‍ය සිසුන්ට තියෙන අවස්ථාත් නැති වෙනවා. ඒ නිසා මේ අභියෝගයට අපි මුහුණ දෙන්න ඕනෑ.’

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය අතුලසිරි සමරකෝන් මෙසේ පැවසීය.

‘මෙම සැලැස්ම ඉදිරියේදී ආංශික අධීක්ෂණ කාරක සභාව හරහා පාර්ලිමේන්තුවේ සම්මත වීමට නියමිතයි. මේ වෙලාවේ එක පැත්තකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට විශාල බලපෑමක් කරමින් සිටින අවස්ථාවක, ආණ්ඩුවේ අභිලාෂය තමයි අධ්‍යාපනයේ සම්පූර්ණ වගකීම පෞද්ගලික අංශයට ලබා දීම.

මේක පැහැදිලිව උසස් අධ්‍යාපනයේ සිට වෘත්තිය අධ්‍යාපනය දක්වා සමස්තයක් ලෙස පෞද්ගලික අංශයෙන් ලබා දිය යුතු බවට වූ දැඩි ව්‍යුහාත්මක වෙනසක් යෝජනා කිරීමක්. මේ රටේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයකට මේ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට පක්ෂව ඡන්දය දිය නොහැකියි. මේකට පක්ෂව ඡන්දය දීම සමස්ත ජනතාවගේ ජාතික අධ්‍යාපන අවස්ථාවට පයින් ගැසීමක්. රාජ්‍ය ආර්ථිකය බංකොළොත් වුණා මදිවාට අමාරුවෙන් ආපු අධ්‍යාපන පද්ධතිය බංකොළොත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් වෙනවා. මේ ඉතා අදූරදර්ශී ප්‍රතිපත්ති රාමුව පරාජය කිරීමේ දැවැන්ත වගකීම සියලුම ජනතාව, දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරිකයන් මත පැවරෙනවා.’

වෘත්තිය සමිති ව්‍යාපාරයේ විරෝධය මතු කරමින් ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල මෙසේ කීය. ‘රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණයේදී කලින් කීවේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට මුදල් වෙන් කිරීම සඳහා ඒවා කරන බව. දැන් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා දැන් ඒ මුදල් වෙන් කිරීමත් නවත්වන බව. එතකොට අපි තදින් විමසන්නේ, රාජ්‍ය ආයතන විකුණන්නේ කුමක් වෙනුවෙන්ද? අධ්‍යාපන ආයතන ඉදිරියේදී පෙට්ටි කඩ බවට පත් වීමට නියමිතයි. බිග් මැච් ගහන විද්‍යාල කිහිපයක් පමණක් ජාතික පාසල් විදියට ඉතිරි වේවි. එතකොට නැති වෙන පළවැනි දේ අධ්‍යාපනයේ ප්‍රමිතිය. පංතිය මොකක්ද කියන එක අදාළ නැහැ, අධ්‍යාපන ප්‍රමිතිය බිඳ වැටුණාට පස්සේ කිසිම ජාත්‍යන්තර ප්‍රමිතියකට අපේ අධ්‍යාපනය අයත් වෙන එකක් නෑ. කන්නන්ගර නිදහස් අධ්‍යාපන යෝජනාව ගෙනා වෙලාවේ ඔහුගේම පක්ෂයේ අය කීවා පොල් ගහකට යවන්නවත් කෙනෙක් ඉතිරි වෙන්නේ නෑ කියලා. මේ ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ පොල් ගස් යවන අය නිර්මාණය කරන්නටයි. මෙරට වෘත්තිය සමිති, බහුජන සංවිධාන ඇතුළු සියලු සංවිධාන එකතුවෙලා මෙයට පැහැදිලිව එරෙහි වෙනවා.’

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අන්තයට විනාශ වූ මොහොතක වුව, අපේ රට සමාජ හා සාක්ෂරතා දර්ශකවල ඉන්නේ ඉහළිනි. අපේ ජනතාව මහජන නියෝජිතයන් තෝරද්දී රැවටෙන බව ප්‍රසිද්ධ චෝදනාවක් වුව, ලෝකයේ හැම රටක්ම මහජන නියෝජිතයන් තෝරන ආකාරය පරිපූර්ණ නොවේ. බොරිස් ජොන්සන්ව අගමැති කළේ එංගලන්තයේය. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් යන තේරීම් දෙකම ගැන ඇමෙරිකාවට උදම් ඇනිය හැකිද? ඒ නිසා මහජන නියෝජිතයන් තේරීම පැත්තෙන් නොව, පිළිගත හැකි දර්ශකවලින් අපේ රටේ දැනුම් මට්ටම මැන බැලුවොත් අපි ඉන්නේ ඉහළිනි. ඒ නිසාම, ආර්ථිකය අර්බුදයට වැටෙද්දී අපේ වෘත්තිකයන්ට ලෝකයේ බොහෝ රටවල රැකියාවලට සුදුසුකම් ලැබීමේ හැකියාව ලැබේ. අපේ රටේ සාමාන්‍ය රැකියාවකට යන අයකුට පවා සාක්ෂරතාව සහ දැනුම තිබීම නිසා ඔවුන්ගේ සේවය උසස් බව නිතර අසන්න ලැබෙන්නකි. මේ සියල්ල අද දක්වා ජරාජීර්ණ වෙමින් නමුත් පණපිටින් පවත්වාගෙන ආ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල වේ. ඒ නිසා සමාජයක් ලෙස අප නිදහස් අධ්‍යාපනය රැකගත යුතුමය.

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment