ගමට හයක් ලෝකෙට ණයක්

රටපුරා ග්‍රාම නිලධාරී කොට්ඨාස දහහතර දහස් විස්සක්..

එක ගමකට රාජ්‍ය නිලධාරීන් හය දෙනෙක්
(ග්‍රාම සේවා, සංවර්ධන, සමෘද්ධි, කෘෂි පර්යේෂණ, පවුල් සෞඛ්‍ය, ප්‍රජා පොලිස්)

ගම් මට්ටමින් රටපුරා රාජ්‍ය නිලධාරීන් අසූ හතර දහසක්

එක් නිලධාරියෙකුට පනස් දහස බැගින් මාසිකව රුපියල් බිලියන 4.2ක වැටුප් ගෙවීම්

ගමට සේවය පිළිබඳව ජනතා ප්‍රතිචාර පහළ මට්ටමක

නිලධාරීන් හමුවීමේ හැකියාව ප්‍රතිශතයක් ලෙස සියයට විස්සයි

රාජ්‍ය යාන්ත්‍රණය සේවයක් ලෙස ගමට යන්නේ නිලධාරීන් හරහාය. දන්නා කාලයක සිට ගමට ග්‍රාම නිලධාරියෙක් සිටී. අතීතයේ ඔහු හෝ ඇය හැඳින්වූයේ ග්‍රාම සේවක ලෙසය. ඔවුන්ගේ වෘත්තීමය භාවයේ ගෞරවනීයත්වය සලකා බලමින් අනූව දශකයේ අග භාගයේ එම සේවාව නිලධාරි ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කළහ.

වරින් වර පත්වන ආණ්ඩු විසින් ගමක සේවය ඉහළ නැංවීමට නිලධාරීන් පත් කරන ලදී. ඒ අනුව මේ වනවිට ගමකට සේවය සඳහා රාජ්‍ය නිලධාරීන් හය දෙනකු පත් කොට තිබේ.

ඒ ග්‍රාම සේවා නිලධාරි, සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සහ ප්‍රජා පොලිස් නිලධාරී ලෙසය. මොවුන්ගේ සේවාව එකින් එක මහජනතාවට මතක් කර දිය යුතු ය. මන්ද මොවුන් හරහා කිසියම් වූ සේවාවක් ලබාගැනීමට නොගිය මිනිසෙක් රට තුළ නැති නිසාය. ඒ යන කිසිදු අවස්ථාවක මොවුහු අතරින් බහුතරයක් තම සේවාව සපයා දීමේ උද්‍යෝගයෙන් සහ කැපවීමෙන් ලෙන්ගතුව සිටින්නේ ද නැත. ඒ පිළිබඳ කොතෙක් පුන පුනා කීවද රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළ පුටුවල වැජඹෙන කිසිදු ප්‍රධානියෙක් එය කනකට නොගන්නා බැවින්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද සමීක්ෂණයක් ඇසුරෙන් ඒ පිළිබඳ පෙන්වාදීමට උත්සාහ කළෙමු.

ඉහත සඳහන් තනතුරු මත ගමට පත් කොට ඇති රාජ්‍ය නිලධාරීන් රටේ සෙසු රාජ්‍ය නිලධාරීන් සේම පැය අට ආවරණය කළ යුතුය. ඒ සෑම නිලධාරියෙකු ම තමන්ගේ පැය අටට අමතරව රාත්‍රියේ ගමෙහි සිදුවන යම්කිසි විශේෂම සිද්ධියක් සම්බන්ධයෙන් ද වගකීමට බැඳී සිටිය යුතුය. උදාහරණයක් ලෙස හදිසි මරණයක්, හදිසි ගුටි බැට හුවමාරුවක්, හදිසි පහර දීමක්, කාන්තාවකගේ දරු ප්‍රසූතියක් හෝ වෙනත් කිසියම් හදිසි අවස්ථාවකට ඔවුන් බැඳී සිටිය යුතුය. එම සේවාව ඉටු නොවන බවට මහජන පැමිණි අවමය. නමුත් දහවල් කාලයේ සේවාව ලබා ගැනීමට යන අවස්ථාවලදී මෙම නිලධාරීන් එම කාර්යාලවල සේවයේ නියුතුව නොසිටීම සම්බන්ධයෙන් පැමිණිලි බහුලය.

අපි මෙම සමීක්ෂණය සිදු කළේ කිසිදු නිලධාරියෙකුට අගතියක් සිදුවීමට නොවේ. ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගමන් කරන්නේ ග්‍රාමීය ජනතාව දියුණු තලයකට පැමිණියහොත් පමණයි. ග්‍රාමීය ජනතාව දියුණු තලයකට රැගෙන යෑම පිණිස ගම තුළ ආර්ථික සංවර්ධනය කඩිනම් කළ යුතුයි සඳහා ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා යොදවා ඇති රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක විය යුතුයි. මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා කියා සිටියේය.

නිලධාරීන් හය දෙනා හරහා ගමට සේවයක් සිද්ධ වන්නේ ද නැද්ද යන්න පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ මාර්ග ගත ක්‍රමය මගින් මෙම සමීක්ෂණය සිදුකොට ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්යරුන් වන වසන්ත අතුකෝරල මහතා සහ මාලක රණතිලක මහතාය.

ලංකාවේ රාජ්‍ය සේවාවන් ජනතාවට ලබාදීම පිළිබඳ සලකා බලන කල පළාත් සභා නවයක් යටතේ දිස්ත්‍රික්ක විසි හයක් තුළ ප්‍රාදේශීය සභා දෙසිය පනස් හයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 256ක් ඔස්සේ ගමට සේවය ගෙන යෑමට සැලසුම් සකස් කොට තිබෙන බව පැහැදිලිය. එහිදී මහ නගර සභා විසි හතරක් නගර සභා හතලිස් එකක්, ඡන්ද කොට්ඨාස 160 ක් යටතේ ග්‍රාම නිලධාරී කොට්ඨාස දාහතර දහස් විස්සක් නියෝජනය කරමින් ජනතාවට සේවය සැපයීමට මාර්ගයක් සකස් කර ඇති බවද පැහැදිලිය.

රට පුරා ගම් තිස් හයදහස් අටසිය විසි හයක් තිබේ. ඒවායෙහි වෙසෙන ජනතාවට සෘජුව රාජ්‍ය සේවය සපයන්නේ පෙර කී ගමට පත් කොට ඇති රාජ්‍ය නිලධාරීන් හය දෙනා හරහාය.

මෙම නිලධාරීන් සඳහා වැටුප ගෙවන්නේ රජය විසිනි. එසේත් නැතිනම් පරිප්පු ඇටයටත් ගෙවන බදු මුදල් වලිනි. නමුත් රාජ්‍ය වැටුප් ලබන එම සේවකයන්ගෙන් ගමට සේවයක් වන්නේ ද යන්න සමීක්ෂණ වාර්තා පැහැදිලි කර දෙන්නේ රට ලෝකෙට ණය වන්නේ ඇයිද කියා කාහටත් සිතන්නට සිතෙන පරිදී ය.

හය දෙනාගේ පොදු සේවාවේ හොඳ නරක ග්‍රාම සේවා නිලධාරීවරයාගේ සේවාව හොඳ බව ප්‍රකාශ කරන පිරිස සියයට හතළිහකි. කිසිදු සෑහීමක් නැති බව පවසන පිරිස සියයට හැටකි. සංවර්ධන නිලධාරිවරයාගේ සේවය සෑහීමකට පත්විය හැකි බව පවසන්නේ සියයට විසි අටක පිරිසකි. කිසිදු සෑහීමක් නැති බව සියයට හතළිස් දෙකක පිරිසක් පවසති. සමෘද්ධි නිලධාරිවරයාගේ සේවය සියයට 27කි.

ගමේ නිලධාරීන් හමුවීම

ගමක නිලධාරීන් මුණ ගැසීමට ඒ ගමේ මිනිසුන්ට හිමිවන අවස්ථාවන් අල්පය. සමීක්ෂණ වාර්තා හුවා දක්වන්නේ ග්‍රාම නිලධාරීවරයින් මුණ ගැසීම සඳහා සතුටුදායක ප්‍රතිචාර ඇත්තේ සියයට විසි නවයක් කියාය. නොහැකි බව ප්‍රකාශ කොට ඇති පිරිස සියයට හැට එකකි. ග්‍රාම නිලධාරියෙකු විද්‍යුත් තැපෑල මගින් තොරතුරු හුවමාරුව සඳහා යොමුව ඇත්තේ සියයට තිහක් පමණි. සෙසු සියයට හැත්තෑවම විද්‍යුත් තැපැල් ඔස්සේ සම්බන්ධ කර ගැනීමටවත් නොහැකි මට්ටමක සිටිති. කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිවරයා

මුණගැසීමට හැකිව ඇත්තේ සියයට විස්සක පිරිසකට ය. සියයට අසූවක පිරිසකටම ඔහු හමුවී සේවාවක් සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණි. ප්‍රජා පොලිස් නිලධාරියා මුණ ගැසීමට සියයට විසි එක් දෙනෙකුට හැකි වී ඇත. සියයට 79 දෙනකුටම ප්‍රජා පොලිස් නිලධාරියා මුණගැසීමට අවස්ථාව ලැබී නැත.

දුරකතනයෙන්වත් මුණගැසීමට හැකියාවක් නැත

ගමේ සේවය කරන නිලධාරීන් දුරකථනයෙන් කතා කොට වේලාවක් වෙන් කර ගැනීමට හෝ දුරකථනයෙන් යමක් පිළිබඳ ව විමසීමට පුද්ගලයින් දැරූ වෙහෙස මහන්සිය පිළිබඳව ද සමීක්ෂණයෙන් හෙළි වී තිබේ. ගම නිලධාරීවරයින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරා එය ව්‍යර්ථ වූ පිරිස සියයට හැට දෙකකි. අටක භූ පිරිස සියයට 28කි සමෘද්ධි නිලධාරීන් දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවත් එසේ නොවූ පිරිස සියයට හැත්තෑ එකකි. හැකි වූ පිරිස සියයට විසි නවයකි. කෘෂි පර්යේෂණ නිලධාරීන් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට සියයට හැත්තෑ හතකට නොහැකි වී ඇති අතර සියයට 23 ක පිරිසක් පමණක් දුරකථනයෙන් සිය රාජකාරිය ඉටු කරගෙන ඇත.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සාපේක්ෂව හොඳ තැනක

සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ වගකීමක් දරන ගමේ ජනතාවගේ හදිසි සෞඛ්‍ය සේවාවන් කෙරෙහි කැපවීමෙන් කටයුතු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සෙසු නිලධාරීන් පස් දෙනාට සාපේක්ෂව ඉහළ සේවාවක් ගමට සපයන බවටද සාක්ෂි ඇතුව සනාථ වී තිබේ. ඔවුහු දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට සියයට හතළිහක පමණ හැකියාවක් තිබී ඇති අතර සේවාවන් පිළිබඳව සෑහීමකට පත් නොවූ පිරිසද සියයට දොළහක් තරම් අවම වීම ඊට හේතුවය. බොහෝවිට ගමක වෙසෙන ගර්භනී කාන්තාවන්ටත් මහලු වියේ පසුවෙන කාන්තාවන් ටත් ළදරුවන් පිළිබඳ අවධානය යොමු කරන තත්ත්වය මතත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සිය සේවාව හරිහැටි කරන බවට මෙමඟින් සනාථ වී තිබේ.

දුරකථන අංකත් වැරදි යි

මෙම සමීක්ෂණයට පරිබාහිරව ග්‍රාමීය රාජ්‍ය නිලධාරීන්ගේ දුරකථන නාමාවලිය සම්බන්ධයෙන්ද සමීක්ෂණයක් සිදු කර තිබේ. එහිදී අනාවරණය වී ඇති දුරකථන අංක ය සම්බන්ධ කරගත නොහැකි තත්ත්වයක ඇති බවත් වෙබ් අඩවි යාවත්කාලීන කර නැති බවත්ය. බොහෝමයක් දුරකථන අංක ප්‍රතිචාරයක් නොදක්වන අතර වෙබ් අඩවිවල සඳහන් නම් සහ දුරකථන අංකය පෙර සිටි නිලධාරීන්ගේ ඒවා බවට සනාථ වී තිබේ.

මේ සියලු කටයුතු තුළින් සනාථ වන්නේ රාජ්‍ය නිලධාරියකු ලෙස ගමට සේවය කිරීමට පත්ව ගොස් ඇති නමුත් ඔවුන් වගකීමෙන් කටයුතු නොකරන බවය.

වර්ධනය උදෙසා රාජ්‍ය පරිපාලනය තුළ ගම නගා සිටුවීම මග හැරුණහොත් මූලික සිද්ධාන්තයම බිඳ වැටෙන බව මහාචාර්යවරුන්ගේ විග්‍රහයේ පැහැදිලිව දක්වා තිබේ. තවදුරටත් එය ඔවුන් විසින් පැහැදිලි කර ඇත්තේ ග්‍රාමීය ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් අතර යාන්ත්‍රණය ශක්තිමත් එකක් වීමට නම් රජයේ නිලධාරීන් හා ග්‍රාමීය ජනතාව අතර සම්බන්ධතාව වැඩි දියුණු විය යුතුය. ඒ හරහා ග්‍රාමීය ජනතාව රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක විය යුතුය.

ගමේ ප්‍රශ්නය ගමෙන් විසඳමු

ගමේ නිලධාරීන් හය දෙනා මැදිහත්ව ග්‍රාමීය ජනතාවගේ ගැටලු නිරාකරණය කළහොත් ග්‍රාමීය ජනතාවගේ මානසික සුවය මත ඔවුන්ගේ කායික ශක්තිය නිෂ්පාදන ක්‍රියාවලියට දායක වීමේ වුවමනාව ඔවුනට ඇතිවේ. එවිට ගම දියුණු තලයකට ගෙන යෑම අපහසු නැත ත් අද වන විට පවතින දුරස්ථභාවය හේතුවෙන් මේ තත්ත්වය රටට ජනතාවට දැනෙන තත්ත්වයටම වෙනස් වී ඇති බව පෙනේ.

සක්‍රීයව ගම දියුණු තලයකට ගෙන ගියහොත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දියුණු තලයකට යනු ඇත. එවිට දිස්ත්‍රික්කය දියුණු තලයකට ගමන් කරයි. ඒ ඔස්සේ පළාත සක්‍රීය දියුණු තලයකට යනු ඇත. මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු වුවහොත් මුළු රටම සක්‍රීය තත්ත්වයට පත්වනු ඇත. පවතින ආර්ථික අර්බුදයට පවා විශාල පිටිවහලක් විය හැකිය. නමුත් එවන් තත්ත්වයක් ඇතිවීමේ මං සලකුණක් හෝ රට තුළ දැන් වන විට දක්නට නැත. ප්‍රතිපත්ති සම්පාදනය කරන අය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට තබා හිතන්නටවත් පෙළඹී නැති බව දක්නට ලැබේ.

රට දියුණු තලයකට යන්නට නම්…

ගමේ සේවයට යොදවා ඇති නිලධාරීන් හය දෙනා ම සාධාරණ ලෙස තමන්ගේ රාජකාරිය ඉටු කළහොත් ග්‍රාමීය මට්ටමේ ඇතිවන බාධක සියල්ල විසඳාලනු නියතය. ගමේ ආර්ථිකය ඉහළ නැංවීම අපරාධ අඩුවීම මත්ද්‍රව්‍ය සඳහා තරුණ කොටස් යොමුවීම වළක්වාලීම යන සාධකයන් සඳහා විසඳුම් ලැබුණු විට රජයට සිද්ධ වන්නේ දියුණුව කරා සැලසුම් සකස් කිරීම පමණි.

එසේ නොවන කල මාසිකව රුපියල් බිලියන හතරයි දශම දෙකක වියදමක් දරමින් ගමට වැඩ කරන්නට යොදවා ඇති නිලධාරීන් අසූ හතර දහසක වැටුප් ගෙවන්නට සිදුවන්නේ ජාත්‍යන්තරයෙන් ණය ගෙන ඒමෙන් පමණකි.

එම තත්ත්වය මත ශ්‍රී ලංකාව තවදුරටත් ණය මත යැපෙන රටක් ලෙස ලොව තුළ ප්‍රචලිත වන තත්ත්වය නතර කිරීමට බැරිය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment