චන්ද්‍රයාන් හඳේය අප තවමත් ඇඳේය!

222

සමාජ දේශපාලන ආර්ථික පීඩා වලින් හෙම්බත්ව සිටින ජනතා හිස මතට නියංසාය වැනි ස්වභාවික විපත් පමණක් නොව වෘත්තීය අරගල තර්ජන ගර්ජන හා බියවැද්දීම් කඩාවැටීම ද බරපතළ ඛේදවාචකයකි. එහෙත් ඒවා සමථයකට පත්කර ගැනීමට ප්‍රබුද්ධ මනසකින් ක්‍රියා නොකරන ආණ්ඩුවක් සහ නිලධාරි තන්ත්‍රයක් නොතිබීමද ඊටත් වඩා ගොරතර විපතකි. මේ වනවිටත් බරපතළ අර්බුදවලට ලක්ව තිබෙන කෘෂිකර්ම, සෞඛ්‍ය මෙන්ම ජනතාවගේ ආරක්‍ෂාව සම්බන්ධ ක්‍ෂෙත්‍රවලින් ලැබෙන වාර්තා ද බරපතළය. ගෝඨාභය පාලන සමයෙහි ගන්නා ලද මූග්ධ ක්‍රියාකාරකම් නිසා රටේ කෘෂි ආර්ථිකයට අත්වූ ඉරණම පිළිබඳ කතාව යළි යළි කිව යුතු නැත. එහෙත් ඒ ගොවි ප්‍රශ්න අහස උසට වැඩුණු ආකාරය දෙස බලද්දී නම් මේ ආණ්ඩුවට හා කෘෂිකර්ම ඇමැතිවරයාට මෙන්ම අදාළ නිලධාරි තන්ත්‍රයේ බහුතරයකට ද එල්ල වන චෝදනා පත්‍ර බොහොමයක් බැහැර කළ නොහැකි බව ද කිව යුතුය. මෙරටේ තිබුණු විශිෂ්ට වාරි සංස්කෘතිය පමණක් නොව මඩ සෝදාගත් කල රජකමටත් ගොවියා සුදුසු බව දැක්වෙන අලංකාර අතිශයෝක්ති නිෂේධනය නොවුවත් අද ඒ අතීත උරුමයත් එහි සාඩම්බරයත් අපේ මුග්ධ දේශපාලනය විසින් නන්නත්තාර කරනු ලැබ ඇත. එනිසාම විවිධ ක්‍ෂෙත්‍රවල එක්තරා ආකාරයක අරාජිකත්වයක්ද දැකගත හැකිය.

මේ වනවිට බොහෝ ප්‍රාමාණිකයන්ගේ පමණක් නොව දීර්ඝකාලීනව ගොවිතැන් කටයුතුවල නිරතව සිටීමෙන් අත්දැකීම් ලද ගොවි නායකයන්ගේ ද ප්‍රබල චෝදනාව වන්නේත් එම ක්‍ෂේත්‍රයෙහි තිබෙන අරාජිකත්වය ගැනය. මේ වනවිට ගොවි බිම් හා වගා බිම් සියල්ල වියළී යෑමට හේතු වූ ජල ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුවට වගකීමක් පැවරෙන බව නිසැකය. එසේම ඇතැම් ගොවීන් විසින් ගොවි සංවිධානවල හෝ ප්‍රාමාණික විශේෂඥ උපදෙස් නොතකා ක්‍රියා කිරීම ද මේ විපතට හේතු වී තිබෙන බව හෙළිවී තිබේ. කාලගුණ හා වාරිමාර්ග ක්‍ෂෙත්‍රවල පුරෝකථන බැහැර කරමින් කරන ලද හිතුවක්කාර ගොවිතැන්වලට මේ විපතට මුහුණ දීමට සිදුවූ බවට කෙරෙන හේතු දැක්වීම ද කිසිවකුට බැහැර කළ නොහැකි කරුණකි. සාමාන්‍යයෙන් සිදු කෙරෙන කන්න රැස්වීම්වලට පවා අද සමහර ගොවියන්ගේ පිළිගැනීමක් නැති බව ද කියති. වි වගා කළ යුතු ප්‍රමාණයත් අනෙක් භෝග වගාවන් පිළිබඳව හිතුවක්කාරව ක්‍රියා කළ නොහැකි බව ද මේ විනාශය විසින් දෙන ලද පාඩමක් වැන්න.

කෙසේ හෝ දැන් උද්ගත වෙමින් තිබෙන ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලුව ද ආණ්ඩුවට මෙන්ම ආර්ථික අර්බුදයට ද අප්‍රමාණ ගැටලු ඇතිකරවන්නකි. ජනතාවගෙන් ලක්‍ෂ 30කට අධික පිරිසක් ආහාර සුරක්ෂිතතාව අහිමිවීමේ අවදානමකට ලක්ව සිටින බව ද කියති.

ගොවියන්ගේ දැඩි තීරණ මෙන්ම නිලධාරීන් අතර එකඟතා නොවීම් ද මේ දුෂ්කරතා ජය ගැනීමට හරස්වනු ඇත. සමනල වැව ජලය මුදාහැරීම සම්බන්ධයෙන් වූ කඹ ඇදිල්ල නිසා සිදුවූ ප්‍රමාදයෙහි අනිටු විපාකය වූයේ වගාව විනාශ වී යෑම බව දැන් කව්රුත් දනිති. කෘෂිකර්ම ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ ද මේ අර්බුදය උග්‍රවීමට හේතු වූ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් සොයා බලා දඬුවම් දෙන බවය.

මෙම නියංසායට හසුවූ කුඹුරුවලට වන්දි ගෙවීමට මෙන්ම ආහාර සුරක්ෂිතතාව නැතිවීම වළක්වා ගැනීමට ද ආණ්ඩුවට සිදුවී තිබේ. කෘෂිකර්මයට අමතරව තේ වතු සෑහෙන ප්‍රමාණයක් ද නියඟයෙන් විනාශ වී තිබේ. ඒ අතර කුඩා තේ වතු හිමියෝ ද වෙති. මෙයින් ආර්ථිකයට කෙරෙන බලපෑම ද අති විශාලය. මෙම තේ වතු විනාශය නිසා උද්ගත වන රැකියා අනතුරක් ද බරපතළ ආර්ථික කඩාවැටීමක් ද සිදුවනු ඇත. ඒවා වැටෙන්නේත් ආණ්ඩුවේ ප්‍රශ්න පත්‍රයටමය. ඉහතින්ද සඳහන් කළ පරිදි කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත වූ රටකට අත්වූ ඉරණමට සපුරා වගකිව යුත්තේ ආණ්ඩුවල ඇමැතිවරුන් හා අදාළ නිලධාරීන් බව ද සිහිපත් කළ යුතුය. ගොවි ප්‍රශ්නවලට සංවේදී නොවන දූෂිත හා දුබල කළමනාකරණය නිසා ගොවි ගැටලු උත්සන්න වන බව ගොවියෝ ද කියති. ගොවි වෘත්තිය සංවිධානවලට දේශපාලන හංවඩුව ගසා ඒවා නොතකා හරින ඇමැතිවරුන් මෙන්ම ආණ්ඩු ද අදත් පුරසාරම් දොඩනු විනා ඒ ක්‍ෂෙත්‍රයට අදාළ සැලසුම් ඉදිරිපත් කරන බවක් ද නොපෙනේ. ඇත්ත වශයෙන් ඡන්දය අපේක්‍ෂාවෙන් ගොවීන්ට දුන් සහන අද පාරාවළල්ලක් වී තිබේ. ගොවීන්ට නොමිලේ පොහොර, උපකරණ ආදිය ලබාදීම වෙනුවට සාධාරණ මිලක් හා නියාමනයක් අනුව ඒ කටයුතු මෙහෙයවීම ආණ්ඩුව කළ යුතුව තිබිණි. කුමක් වුවත් දැන් ඒ සියල්ල නිවැරදි කර ගැනීම හිතන තරම් පහසු නැත. එහෙත් තවදුරටත් මේ විනාශයට ඉඩදිය යුතු නැත. ගොවියන්ට ගම් බිම්, ජලය මෙන්ම වුවමනා පහසුකම්, වෙළෙඳපොළ ආදී සියල්ලම කෙරෙහි නිසි ක්‍රමවේද හා නවීන මඟපෙන්වීම් ද අද අත්‍යාවශ්‍ය වී තිබේ.

චන්ද්‍රයාන් හඳේය අප තවමත් ඇඳේය!

දැන් එහෙම පිටින්ම වාගේ කඩාවැටී තිබෙන අපේ සුව සේවය ගැන ද මඳක් විමසා බලමු. අද අප ජීවත්වන්නේ වෛද්‍ය විද්‍යා තාක්ෂණය හා එහි දියුණුවේ හිණිපෙතට ළං වූ ලෝකයකය. ඒ ලෝකය විසින් අපේ වෛද්‍ය සේවය ද උඩු යටිකුරු කරනු ලැබ තිබේ. අද සමස්තයක් ලෙස ළදරු මරණ, මාතෘ මරණ අඩුය. (මෙය අද තත්ත්වය නොවිය හැකිය.) නිදහස ලැබීමට පෙර දරු උපත් සිදු වූයේ නිවෙස්වලය. ‘වැදුම් ගේ’ නමින් වෙන්වූ කාමරයක් එදා ගැමි ගෙවල්වල ද තිබී ඇත. එකල රජයට අයත් රෝහල් ද සමස්තයක් ලෙස හොඳ මට්ටමක තිබුණි. ඒවා ජනතාවගේ විශ්වාසයට පාත්‍ර වූ ආයතන විය. පාසල්වල මෙන්ම රෝහල්වල ආහාර ලබාදීම කිසියම් ප්‍රමිතියකට සිදුවූ බව ප්‍රකට ලේඛකයකු වූ කේ. ජයතිලක සිය ‘පුංචි පැලේ ගස් වෙනා’ කෘතියෙහිද සඳහන් කර තිබුණු බව මට මතකය. මා ඒ නිදසුන දැක්වූයේ එදා රෝහල මහජන ආයතනයක් ලෙස ලබා තිබුණු උසස් තත්ත්වය පෙන්වා දීමටය. පාසල් දරුවන්ට වුවමනා එන්නත් ලබාදීම මෙන්ම බොහෝ රෝගවලට ප්‍රතිශක්තිය ලබාදීමේ විධිමත් සැලසුම් ද එදා ක්‍රමවත්ව සිදුවූ බව ඒ ඉතිහාසය උපුටා දක්වන නූතන සමාජ විද්‍යාඥයෝ ද පෙන්වා දෙති. මේ වෛද්‍ය සේවා ප්‍රතිලාභ එදාත් නොමිලේ ලැබුණි.

මේ වෛද්‍ය පහසුකම් ශීඝ්‍රයෙන් දියුණුව සෞඛ්‍ය සේවය මහජන ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගිය බව අපට කිව හැකිය. නිදහස් අධ්‍යාපන වරම් ලද ස්වල්ප දෙනෙක් හෝ වෛද්‍යවරුන් ලෙස බිහි වූ බව ද අපි දනිමු. එහෙත් ඒ වෛද්‍ය වෘත්තිකයන් හා සෞඛ්‍ය සේවය දේශපාලන මෙහෙයුම්වලට මැදිවීමත්, ඇමැතිවරුන්ගේ බලප්‍රදේශ බවට පත්වීමත් නිසා සිදුවූ විනාශය අප්‍රමාණ විය. අද අප දකින්නේ එහි බිහිසුණුම අවදියක මාරාන්තික ප්‍රතිඵලය. ඉතාම කෙටියෙන් කිවහොත් අද රෝහල යනු මර බිය දනවන දඩබිමක තත්ත්වයට පිරිහී තිබෙන්නකි. රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමට යන සාමාන්‍ය පන්තියේ ජනතාවට මුහුණ දීමට ඇත්තේ මාරාන්තික අභියෝග වැලකටය. එක්කෝ හෙදකමේ වරදක් නිසා මියයෑමට සිදුවෙයි. එසේත් නැතහොත් රෝහලේ නොසැලකිල්ල නිසා ජීවිතය අහිමි වෙයි. මාධ්‍ය වාර්තා කරන රෝහල් මරණ දොස්තර සහතික වලින් නිදොස් කළත් ඒ ජීවිත එලෙස අවසන් වීම සිදු නොවිය යුත්තකි.

මේ ලියන මොහොත වන විට (24) පරිපූරක වෛද්‍ය වෘත්තික වැඩ වර්ජනයකි. ප්‍රතිකාර සඳහා රෝහල් කරා ගිය ජනතාව හඬති, දොඩති, ශාප කරති. එහෙත් ඒ වර්ජනය අදාළ දේශපාලන බල අධිකාරියේ මුග්ධ ප්‍රතිචාර උහුලා ගත නොහැකි වූ සේවක දුක් ගැහැටවලට ප්‍රතිචාර දැක්වීමක් බව වෛද්‍ය ක්‍ෂේත්‍රයේම අවධාරණයයි. මේ වනවිට රට හැරගිය වෛද්‍යවරු ද සිටිති. ඇතැම් රෝහල්වල සැත්කම් සිදු නොවේ. වුවමනා ඖෂධ පමණක් නොව උපකරණ ද නැත. මේ කිසිවකට ආණ්ඩුව සංවේදී නොවන අතරම දැඩි මර්දනකාරී පිළිවෙතකින් වෘත්තිකයන් පෙළෙන බව ද කියනු ඇසෙයි. වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙහි ප්‍රවීණයන් හා විශේෂඥයන් සේවය අතහැර යෑම පිළිබඳව ආණ්ඩුව ද විශේෂ අවධානයකින් ක්‍රියා කළ යුතුය. එහෙත් සෞඛ්‍ය ඇමැති පමණක් නොව ඇතැම් නිලධාරීහු ද ‘දෙඤ්ඤම් බැටේ’ න්‍යාය ගරු කරන්නෝ යැයි විවෘත චෝදනාවක් ද ඇත. සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද තිබේ. ඇතැම් පත්වීම් හා නිලධාරීන් බොහෝ දෙනකුගේ දැඩි අප්‍රසාදයට ද ලක් වී තිබෙනු පෙනේ. මේ සියල්ල වෙනුවෙන් සාධාරණ යුක්තියක් ඉටුවිය යුතුය. ඇත්තටම සෞඛ්‍ය සේවයත් අරාජික වී තිබේද? දේශපාලන නිලබලවලට මෙන්ම වරප්‍රසාද සහිත පන්තියට ද නිදහස් සුව සේවය බිඳවැටීම ප්‍රශ්නයක් නොවේ. එහෙත් අදටත් කහට කෝප්පයේ පොඟවා ගිලින්නට පාන් කෑල්ලක් හෝ නොමැති පීඩිත ජනතාව වෙනුවෙන් මේ නිදහස් සුව සේවය සුරැකිය යුතු බව අවධාරණය කළ යුතුය. සුව සේවයම ගිලන් වී රෝහල් පද්ධතියම කඩා වැටුණත් මේ වරප්‍රසාද රහිත ජනතාව මියෙම්වා! රැකෙම්වා! යනුවෙන් හිත දැඩි කරගෙන හෝ යායුත්තේ ඒ රෝහල්වලටය. ඒ අහිංසකයන්ගේ ඉරණම තීන්දු කෙරෙන්නේද යහපත් මානුෂික ජීවකයන් බඳු දොස්තරවරුන්ගෙන් බව ද සඳහන් කළ යුතුය.

මෙසේ ගොවියන්, වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු කොටස් අර්බුදවලට මැදිවෙද්දී ගම් දනව් හා නගර ද බියගන්වමින් පාතාල තුවක්කු පත්තු වීමේ විපතද උඩු දුවමින් තිබේ. පොලිසියේ හා හමුදා රැකවල් මැද ජීවත්වන දේශපාලනඥයන්ට එබඳු වෙඩි වරුසා ගැන එතරම් භීතියක් නොවිය හැකිය. එහෙත් ඕනෑම මොහොතක තමන් ඉදිරියට කුලී ඝාතකයෙක් එවීමට අද පාතාලය ප්‍රබල වී තිබේ. මහජන ආරක්‍ෂාව වෙනුවෙන් මහා ධනයක් වැය කෙරෙන, නීතිය හා සාමය සුරැකීම සඳහා පොලිසිය හා ආරක්‍ෂක හමුදා නඩත්තු කරන රටක මේ අයුරින් ඝාතන – අපරාධ සිදුවීම බරපතළ ප්‍රශ්නයකි. පසුගිය දිනක පාතාලයන්ගේ හඳුනා ගැනීමේ ප්‍රශ්නයක් නිසා කිසියම් අහිංසක පුද්ගලයකු ඝාතනය වීමේ පුවතක් ද මාධ්‍යවල වාර්තා විය. කුමක් වුවත් පාතාල වෙඩි සංදර්ශන බොහෝ විට සජීවී ලෙස රූපවාහිනී පුවත්වලින් දකින විට ලංකාව ද චිකාගෝ පන්නයේ රටක් දැයි බියක් ද දැනෙයි. පොලිස් ඇමැතිතුමා කුමක් කීවත් අද ජනතාවට සිදුව ඇත්තේ තමන්ගේ ආරක්‍ෂාව තමන් විසින්ම සලසා ගැනීමට ද?

මේ සකල විධ සමාජ ආර්ථික අර්බුද මැද්දේ අපේ දේශපාලනයේ ප්‍රාදේශීය බලමුළු පමණක් නොව එහි කේන්ද්‍රස්ථානයම පුපුරා යන ගිනිකඳු බවට පත්වන ආකාරයක්ද දැකගත හැකිය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු වන නලින් බණ්ඩාර හා වසන්ත යාපා කථානායකවරයාගේ නියෝගයකින් සභා ගර්භයෙන් ඉවත් කළ අයුරු රටම දනී. මේ සම්බන්ධයෙන් කථානායකවරයා පවසන කරුණු මෙන්ම එම දඬුවමට යටත් වූ මන්ත්‍රීවරුන් දෙදෙනා විසින් දක්වනු ලබන අදහස් එකිනෙකට පටහැනිය. කුමක් වුවත් රටේ උත්තරීතර ආයතනය යනු විනය, සදාචාරය, මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආදී සියල්ල සපිරි දෙවොලක් වැන්න. මේ සිද්ධිය විග්‍රහ කිරීම යම් හෙයකින් අදාළ උතුමන්ගේ පිත අවුස්සන සුළු වුවහොත් අප පසුපසද වරප්‍රසාද කෙවිට ඒමට බැරි නැත. එහෙත් ඒ සිද්ධිය පිළිබඳ වාර්තා කළ රූපවාහිනි පුවත් සමග ජනතා ඇසට ලක්වූ රූප රාමු තුළින් පැහැදිලි වන්නේ අපේ දේශපාලන චර්යාවෙහි යථාර්ථය නොවේද? සමාජ මාධ්‍යවල සංසරණය වන රූප රාමු ඊටත් වඩා බොහෝ බරපතළ ඇඟවීම් කරයි.

මේ බොහෝ දේවල් සිදුවන්නේ මන්ත්‍රීවරුන් අබියස පමණක් නොව පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ සිටින වැඩිහිටියන් හා පාසල් දරුවන්ද ඉදිරිපිට බව සමහරු නොදනිති. පාර්ලිමේන්තු විවාදවලදී සිදු කෙරෙන සංවාද, ඇතැම්විට භාෂාවේ සභ්‍ය සීමාවන් අභිබවා ගිය අවස්ථා ද නැතුවා නොවේ. එය දේශපාලන චරිතවල දුර්ගුණය හා හැදියාව පිළිබඳ ප්‍රශ්නයක් විය හැකිය. මේ සිද්ධිය සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන දැක්වූ අදහස් ඉතා නිවැරදිය. පාර්ලිමේන්තුවේ ගෞරවය රැකෙන පරිදි ක්‍රියා කළ යුතුය යනු කථානායකවරයාගේ ස්ථාවරයයි. මෙහිදී අපට සිහිපත් වන තවත් ප්‍රකාශයක් ද ඇත. ඒ මාර්ටින් ලූතර් කිං වරක් ප්‍රකාශ කළ පරිදිම රට ගැන හිතා ගැනීමට ඒ රටේ පාර්ලිමේන්තුව දෙස බැලීම ප්‍රමාණවත් වේ යන්නයි.

පාර්ලිමේන්තුව මෙසේ උණුසුම් වෙද්දී ඉන් පිටත ද ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් ගැටෙන ආකාරය ද අද දැක ගත හැකිය. දින කීපයකට පෙර එබඳු සිදුවීමක් මාධ්‍යවල වාර්තා වී තිබුණි. ඒ වරාය හා නාවික ඇමැතිවරයා හා ඔහුගේ රාජ්‍ය ඇමැතිවරයා අතර වූ ගැටුමකි. රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මාධ්‍ය හමුවක් කැඳවා ඇමැති නිමල් සිරිපාලට එල්ල කළ චෝදනා පත්‍රය හා විවේචනය මේ දේශපාලන චර්යාව හා බැඳුණු සදාචාරය දෙසට ද අපේ අවධානය යොමු කරවන්නකි. වරාය සම්බන්ධයෙන් තිබෙන දූෂණ මෙන්ම තමන්ට නිශ්චිත කාර්යභාරයක් ලබා නොදීම ගැන ද ඔහු කළ අනාවරණය සුළුපටු එකක් නොවේ. ඔහු කනස්සල්ලටත් අපේක්‍ෂා භංගත්වයටත් පත්ව සිටින්නේ රට වෙනුවෙන් ඇතිවූ කම්පාවක් හෝ ආදරයක් නිසාම නොවන බව ද ඔහුගේ මාධ්‍ය හමුව (22) තුළින් පැහැදිලි වන්නකි. ප්‍රශ්නකාරී වුවත් පාර්ලිමේන්තුවෙන් දඬුවමකට යටත් වූ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ප්‍රතිචාර පෞද්ගලික අලාභ හෝ කලකිරීම් නිසා නොවේ. එහෙත් තමන්ද වගකිව යුතු අමාත්‍යාංශයකට දූෂණ චෝදනා නගන රාජ්‍ය ඇමැතිවරයකුගේ විවේචන, චෝදනා බරපතළ දේශපාලන අවුලකි. ඇත්තටම අද හැම තැනකම එක්තරා ආකාරයක අරාජිකත්වයක ලකුණු පෙනේ. රටේ ගමන අවදානම් දිසාවකට යොමුවන බවට කෙරෙන ඇඟවීම් බොහෝය. පාර්ලිමේන්තුව ද ගිනියම් වී තිබේ. අප කිසිවකුට සතුටක් සිනහවක් පොදු ජනතාව අතර නම් දැකගත නොහැක. ජනාධිපතිවරණ – අපේක්‍ෂා සහිත, අවලාද වැපිරීම් ආදී බොහෝ දේ සිදුවෙයි. නුවර මහ පෙරහැරේ අලි කුලප්පුවීම ද අසුබ පෙර නිමිත්තකැයි සමහරු කියති. ඒ විශ්වාස කුමක් වුවත් දවසින් දවස ගිනියම් වන දේශපාලනයක රටත් ජනතාවත් හිරවී තිබෙන බව පැහැදිලිය. චන්ද්‍රයාන් හඳේය. අප තවමත් ඇඳේය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment