කිරි හරක්

1078

කිරි හරක් යනුවෙන් හෙඩිමක් දමා ඇති කතුවැකියක් කියවන මේ මොහොතේදී ඔබ කල්පනා කරනු ඇත්තේ ශ්‍රී ලංකාවේ පශු කර්මාන්තය සම්බන්ධයෙන් අප ලියන්නට යන බවය. එහෙත් අප ලියන්නට සූදානම් වන්නේ ඔස්ට්‍රේලියාවේ පශු මානසිකත්වය ගැනය. ඔස්ට්‍රේලියාව තරම් ශ්‍රී ලංකාව බාල්දු කරන රටක් මේ ලෝකයේ කොහෙවත් නැත. ශ්‍රී ලංකාවේ ජනයා බෝට්ටු වලින් ඔස්ට්‍රේලියාවට කඩාපනින බවට එරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිතරම TVවල සහ පත්තරවල දැන්වීම් දමයි. මේ දැන්වීම්වලින් ඔස්ට්‍රේලියාව ඇඟවීමට උත්සාහ කරන්නේ ශ්‍රී ලාංකිකයා හොර වැසියකු බවය. මිනිහකු රටකින් රටකට පනින්නේ කරකියා ගැනීමට කිසිදු දෙයක් නැති තැනය. උතුරේ එල්.ටී.ටී.ඊ. යුද්ධය පවතින අවස්ථාවේදී දහස් ගණන් දෙමළ ජනයා බහුදින යාත්‍රාවල නැගී ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය ලබාගැනීම සඳහා මෙරටින් පැන ගියහ. එය ඉතාම සාධාරණ රට පැනිල්ලකි. යුද්ධයකදී සරණාගතයෝ බිහිවෙති. මේ සරණාගතයන්ගේ අරමුණ තමන්ගේද සිය දූ දරුවන්ගේද ජීවිත බේරාගෙන වෙන රටකට පැන ගොස් ජීවත්වීමය. මේ යන ගමන සෙල්ලම් ගමනක් නොවේ. සමහරවිට බහුදින යාත්‍රාවල හැට හැත්තෑවක් දෙනා ගමන් කරන අතර බෝට්ටුව ඔස්ට්‍රේලියාවට යන්නේ මාස එකහමාරක් හෝ දෙකක් යාත්‍රා කිරීමෙන් පසුවය. බහුදින යාත්‍රාවල ටොයිලට් නැත. ඒ නිසා ඒවා මගින් පැන යන කාන්තාවන්ට මහත් වූ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවේ. ඇතැම් විට මෙබඳු යාත්‍රාවල ලෝඩ් එක වැඩි නිසා ඒවා පෙරළී මුහුදු පත්ලට යයි. ඒ සමගම ඒවායේ සිටින මගීහුද මැරෙති. තවත් විටෙක යාත්‍රාවේ එන්ජිම අබලන් වීම නිසා එය මුහුද මැද නන්නත්තාර වෙයි. අන්තිමට මාස හත අටකට පසු අතරමං වූ යාත්‍රාව නැවත හමුවන විට මිනිසුන් වෙනුවට ඇට සැකිලි පමණක් එහි තිබෙනු දැකගත හැකිය. තවත් අවස්ථාවලදී වෙරළාරක්ෂක හමුදා මේ බෝට්ටුවලට වෙඩි තබති. එවිට බෝට්ටුව ගිලී එහි සිටින සරණාගතයෝ මුහුදු පතුලට ගිලා බසිති. වෙරළාරක්ෂක පොලිසි බෝට්ටුවලට වෙඩි තබන්නේම ඒවා එහි ගමන් කරන අය සමග ගිලෙනු දැකීමේ දුෂ්ට සහ නීච චේතනාවෙනි. මේ සියලු කරුණු අනුව ඔස්ට්‍රේලියාව ඉතාම අමානුෂික රජයක් ඇති රටක් බව අපේ හැඟීම වේ. ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට එන නීති විරෝධී සංක්‍රමණිකයන් නැවැත්වීම සඳහා උපදෙස් දීමට මීට දෙදිනකට පමණ පෙර ඔස්ට්‍රේලියන් වෙරළාරක්ෂක අධිකාරියේ ප්‍රධානීන් පිරිසක් පසුගියදා ලංකාවට පැමිණියහ. යාපනයේ ආණ්ඩුකාරවරිය වන කස්ටම් එකේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පී. එස්. එම්. චාල්ස් මහත්මිය විසින් මේ පිරිස පිළිගෙන තිබුණි. සාමාන්‍ය හදවත් ඇති හැඟීම් දැනීම් ඇති මිනිසුන් ලෙස කල්පනා කරන අපගේ මතය වන්නේ මේ වෙරළාරක්ෂක කට්ටිය ගුවන්තොටුපළට ඇතුළු වූ පසු ඔවුන් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඔස්ට්‍රේලියාවට Deport කළයුතු බවය.

මේ අතර ශ්‍රී ලංකාවේ කොල්ලකෑම් සිදුවන බවත් එහි සංචාරය කිරීම අවදානම් බවත් ඔස්ට්‍රේලියන් ආණ්ඩුව තම රටේ ජනයාට දැනුම් දී තිබේ. මංකොල්ලකෑම්, ලිංගික හිරිහැර, අධික ලෙස මුදල් අය කිරීම්, ක්‍රෙඩිට් කාඩ් වංචා, ව්‍යාජ භාණ්ඩ අලෙවිය යනාදී අපරාධ ලංකාවේ සිදුවන බව ඔස්ට්‍රේලියන් රජය ප්‍රසිද්ධියට පත්කර ඇත. මේ අපාරාධ සියල්ලම ඔස්ට්‍රේලියාව තුළදීත් මේ ආකාරයෙන්ම සිදුකෙරේ. මංකොල්ලකෑම්, ලිංගික හිරිහැර යනාදිය දැනට සිදුනොවන්නේ එස්කිමෝ ගෝත්‍රිකයන් වාසය කරන හිම කාන්තාරවල පමණි. එසේම සහරා, අටකාමා, කලහාරි යන කාන්තාර වලද ස්ත්‍රී දූෂණ සහ මංකොල්ලකෑම් සිදුවන්නේ නැත. එයට හේතුව නයින් සහ මකුළුවන් හැර වෙනත් කිසිම සතෙක් එම ප්‍රදේශවල ජීවත් නොවීමය. ඔස්ට්‍රේලියාව යනු අවුරුදු 41000 ක ඉතිහාසයක් ඇති රටකි. එකලද මේ රටේ මිනිස්සු වාසය කළහ. ඔවුන්ගෙන් පැවැත එන ඔස්ට්‍රේලියානු ආදිවාසීහු තවමත් ඒ රටේ වාසය කරති. ඔස්ට්‍රේලියානු ආදිවාසීන් පැවැත එන්නේ ශ්‍රී ලංකාවේ වැදි ජනතාවගෙන් බවටද මතයක් පවතී. මෙහිදී ලංකාවේ වැදි ජනයා ඔස්ට්‍රේලියාවට ගියේ නැවෙන්ද නැත්නම් ප්ලේන් එකෙන්ද යන ගොන් ප්‍රශ්න නෑසිය යුතුය. මනුෂ්‍යයා පහළ වූයේ අප්‍රිකා මහාද්වීපයේය. එසේ පහළ වූ මනුෂ්‍යයා පා ගමනින්ද ප්‍රාථමික මුහුදු යාත්‍රා මගින්ද වෙනත් රටවලට සංක්‍රමණය වූහ. එක්දහස් අටසිය හැත්තෑවේ අප්‍රේල් 29 දා කපිතන් ජේම්ස් කුක් නමැති බ්‍රිතාන්‍ය මුහුදු කොල්ලකරුවා ඔහුගේ සල්ලාල ගතිගුණ තොගයද සමග ඔස්ට්‍රේලියාව ආක්‍රමණය කළේය. ඒ අනුව වෙනත් යුරෝපීය රටවල සිටි හොර වැසියෝ වහ වහා ඔස්ට්‍රේලියාවට පැන ගත්හ. ඒ නිසා හොර වැසි කතන්දරය ඔස්ට්‍රේලියාවට ආවේණික කතාවකි. ඒ ගැන බයිලා කියමින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය නොවන ලෙසට ලෝකවාසීන්ට තර්ජනය කිරීමට එරටට කිසිදු අයිතියක් නැත. අප කිරිහරක් යනුවෙන් මාතෘකාවක් මේ කතුවැකියට යොදන්නේ ඔස්ට්‍රේලියාව බාහිර ලෝකය සම්බන්ධයෙන් දක්වන කිරිහරක් ප්‍රවේශය සලකාය.

advertistmentadvertistment
advertistmentadvertistment