සුද්දෝ ඇවිත් ‘ආයෙත්’ හදපු ෆෙඩ්‍රික් කොටුව

1014

විදේශීයන්ගේ සහය දේශීය වියතුන්ගේ කැපවීම නිසා යළිත් පණ ලැබූ අපූරු කතාව දීර්ඝ කාලයක් තිස්සේ කිසිවෙකුටත් නැරඹීම සඳහා අවස්ථාවක් නොලද ‘ත්‍රිකුණාමලයේ ෆෙඩ්රික් බලකොටුව’ පසුගියදා රටේ ජනතාවටත්, විදේශිකයන්ටත් නැරඹීම සඳහා විවෘත විය. අතීත රහස් රැසක් සඟවාගත් ෆෙඩ්රික් කොටුව විවෘත කිරීම පිටුපස නොලියැවුණු කතා බොහෝය. මේ ඒ ගැන ලියැවෙන සටහනකි.

පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ සහ ඉංග්‍රීසි හමුදාවන් විසින් වරින් වර යුද වැදි අත්පත් කරගෙන සිය බලය තහවුරු කරගත් දශක හතරක් පුරාවට ශ්‍රී ලංකා යුද හමුදාවට ද රැකවරණය දුන් ත්‍රිකුණාමලය ෆෙඩ්රික් බලකොටුව කාලයක් පුරාවට ගරා වැටෙමින් තිබුණේ නිසි අවධානයක් ඊට යොමු නොවීමෙනි.

යුග තුනකට අයත් මෙම බලකොටුව තුළ ගෝකණ්ණ විහාරය, කෝනේෂ්වරම් දෙවොල මෙන්ම, ලන්දේසි හා ඉංග්‍රීසි දේවස්ථාන දෙකක නටබුන්, යුද කම්හල්, ජලය ලබාගත් ළිං, උමං, භූගත වෙඩි බෙහෙත් ගබඩා, යුද අට්ටාල, කාලතුවක්කු රැඳවුම්, පාසලක්, රෝහලක්, ලන්දේසි සොහොන්, සුනඛ සොහොන් හා කුරුබිලියක් දැකිය හැකිවේ. මේ වනවිට කලාප තුනක් ලෙස බෙදා සංරක්ෂණය කළ පෙදෙසේ ස්ථාන 16 ක් සංචාරකයන් සඳහා නැරඹිය හැකි ලෙස සකසා ඇත. මේ සියල්ල පහසුවෙන් ගොඩනගා අවසන් කළ ඒවා නොවේ. ඒ පිටුපස කිසිවකු නොදන්නා අපූරු කතාවක් තිබේ.

ඒ මේ මහා බලකොටුව තුළ කාලයත් ජීවත්වූ සුදු මිනිසුන් බලකොටුවට පණ දීම සඳහා සිය කාලය, ධනය හා ශ්‍රමය කැපකරමින් සිදුකළ පරිත්‍යාගයන් හි වටිනාකමේ කතාවය. මේ ඒ කතාවයි.

2012 වසරේ දී සේරුවිල තඹ නිධිය අදාළව පර්යේෂණ කටයුතු ආරම්භ කළ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ජගත් වීරසිංහ හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි අධිකාරි නැගෙනහිර උරුම ව්‍යාපෘතිය නමින් සංස්කෘතික උරුම සංරක්ෂණය සඳහා පුළුල් ශක්‍යතා අධ්‍යයනයක් කොට 2014 වසරේ සැකසූ ක්‍රියාකාරි සැලසුම තුළ ත්‍රිකුණාමලය බලකොටුවට විශේෂ තැනක් හිමිව තිබුණි. ඒ බලකොටුව සංරක්ෂණය කොට අනාගත පරපුරට දායාද කර දීමේ අපේක්ෂාවෙනි.

ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ද සහයෝගය මත ගරාවැටී තිබූ මෙම මහා බලකොටුවට යළි පණ දීමේ භාරදූර කාර්ය 2016 වසරේ දී ඇරඹීය. එය හිතූ තරම් පහසු එකක් නොවූයේ මේ මහා බලකොටුව පිළිබඳව ලියැවුණු ඉතිහාසගත ලේඛනවල පැවැති හිඟතාවය හා ඊට අදාළ තොරතුරු විරලවීම හේතුවෙනි. මේ බලකොටුවට පණ දීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල හා එක්වූ නිලධාරීහු පිරිසක් සිටියෝය. එහි ආරම්භක ව්‍යාපෘති කළමනාකාරවරයා වූ අජිත් උදය කුමාර මෙන්ම පර්යේෂණ හා කැණීම් මෙහෙයවූ ආචාර්ය අර්ජුන තන්තිලගේ ද සංරක්ෂණ කටයුතු සැලසුම් ආචාර්ය නිලාන් කුරේ ද පර්යේෂණ නිලධාරියකු වූ ටී. ඩී. සී. පුෂ්පකුමාර හා පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයාව සිටි සුමනදාසයන් ද ආරම්භක කණ්ඩායමේ නියමුවෝ වූහ. පසුකාලයක දී පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක වූ ආනන්ද විතානගේ ද වාස්තු විද්‍යාඥ සංරක්ෂණ අධ්‍යක්ෂ සමන් ද සිල්වා හා පුරාවිද්‍යා නිලධාරින් වූ රෝහණ, දිනේෂ් හා විතාරණ යන අයගේ දායකත්වය ද සුළුවට තැකිය නොහැකිය.

බලකොටුවේ සංරක්ෂණ කටයුතු ආරම්භයේ දී ඒ තුළ පවතින විවිධ යුගයන්ට අයත් ගෘහ නිර්මාණ සහිත ගොඩනැඟිලි ස්මාරක ලේඛනගත කිරීම හා බලකොටුව මැණුම් කටයුතු කිරීම මෙම පිරිසගේ මූලික කටයුත්ත විය. ඒ අනුව බලකොටුව තුළ පිහිටි පැරණි හා පසුකාලයේ ඉදිකළ හා වෙනස් කළ ගොඩනැඟිලි 101 ක් හඳුනාගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට හැකිව තිබුණි. ඒ අනුව සකස් කළ තත්ව වාර්තාව බලකොටුවේ ඉදිරි සංරක්ෂණ කටයුතු සඳහා යොදා ගැනීමට භාවිත කෙරිණි. 2017- 2019 කාලයේ දී ගොඩනැඟිලි ඉදිකිරීම් පිළිබඳව අධ්‍යයනය කළ පිරිස ලන්දේසි හා ඉංග්‍රීසි අවධියේ දී ගොඩනැඟිලි ගල් බිත්ති බොරළු යොදා බැඳ අළුහුණු මිශ්‍ර බදාමයකින් කපරාරු කර ඇති බවත් ඉංග්‍රීසි හා ඉන් පසුකාලයේ ගොඩනැඟිලි ගඩොල් යොදා බැඳ හුණු මිශ්‍ර වැලි බදාමයකින් සකසා ඇති බව අවබෝධ කරගත්තේය. ඒ අනුව ගරා වැටෙමින් පැවැති මෙම ගොඩනැඟිලි තවදුරටත් රැක ගැනීම සඳහා ඒවායේ වහලයන් සංරක්ෂණය කිරීම ඇරඹිණි.

එලෙස බලකොටුවේ මූලික කටයුතු ඇරඹිය ද තවදුරටත් කැණීම් කොට සංරක්ෂණය කිරීම සඳහා විවිධ යුගවල ඉදිකර තිබු යුද අට්ටාල හා කාලතුවක්කු අංගන, බිම් ගෙවල්, උමං වැනි ස්ථාන හඳුනා ගැනීම ගැටලු සහගත වූ බව වත්මන් ව්‍යාපෘති කළමනාකරු ටී. ඩී. සී පුෂ්පකුමාර පැවැසීය. ඔහු වැඩිදුරටත් පැවැසුවේ බලකොටුව යළි ගොඩනගන්න දේශීය වියතුන් සිටියද ඊට අදාළ පැරණි තොරතුරු, සිතියම් හා මූලාශ්‍ර සොයා දෙමින් සහයදුන් විදේශිකයන්ට අපි සදා කෘතවේදි විය යුතු බවයි.

“අපට සිදුවුණා බලකොටුව කැණීම් කරන්න කලින් තොරතුරු දැන ගන්න. අපිට ලැබුණු පළමු මූලාශ්‍රය රාජකීය ආසියාතික සමිතියේ පළවූ වාර්තාවක්. ඒක විතරයි බලකොටුව ගැන තිබුණ එකම ලේඛනය මේ කාලයේ ලංකාවේ සංචාරය කරමින් සිටි බලකොටුවට පැමිණි පෘතුගීසි වාස්තු විද්‍යාඥයකු වූ ජෝ කියුම් සැන්ටෝස් මහතා අහම්බෙන් හමුවෙලා කතා කළා. ඔහු අපිට බොහෝමයක් උදව් කළා පෘතුගාලයේ තිබුණ මේ බලකොටුව පිළිබඳව සඳහන් චිත්‍ර සහිත සිතියම් ඔහුගේ වියදමින් අපට එව්වා එදා බලකොටුවේ පිහිටීම ගැන යම් අදහසක් ගැනීමට එම සිතියම් බොහෝ සෙයින් ඉවහල් වුණා” යැයි පැවැසීය.

පෘතුගාලයේ හා නෙදර්ලන්තයේ සිට ලැබුණ සියලු සිතියම් කියවා තේරුම් කර දීමට ද සැන්ටෝස් සහය වී තිබුණි. ඉන් අනතුරුව නෙදර්ලන්තයේ සිට ගෙන්වාගත් සිතියම් භාෂාව නොදැනීම නිසා කියවා ගැනීමට නොහැකිවූ අවස්ථාවේ දී ලන්දේසි භාෂාව පිළිබඳව ප්‍රවීණයකු වූ කේ. ඩී. පරණවිතාන මහතා ත්‍රිකුණාමලය කොටුවට පැමිණ ඒවා කියවා දීමට තරම් කාරුණිකවී තිබුණි. ඒ අනුව ලන්දේසි සිතියම් අධ්‍යයනය කිරීමෙන් නිවැරැදිව ලන්දේසි ගොඩනැඟිලි හා භූමිය හඳුනාගැනීමට උපකාරීව තිබුණි. ඒ අනුව බලකොටුවේ ඉදිරි කැණීම් පහසු වී තිබුණි.

අනතුරුව ඉංග්‍රීසි යුගයේ ඉදිකළ ගොඩනැඟිලි හා වෙනස් කළ ගොඩනැඟිලි මොනවාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛනාගාරයේ සිතියම් ගෙන්වා ගැනීමට ඔවුන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුව ද කොවිඩ් වසංගතය ගෝලීය උවදුරක් ලෙස පැතිරීම තුළ එය අසාර්ථක වී තිබුණි. කෙසේ වෙතත් 2017 වසරේ දී බලකොටුව නැරඹීමට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ 75 වියැති නිජෙල් නයිට් මහතා 1950 වසරේ ඡායාරූප ඒකතුවක් හා පොත් කිහිපයක් ලබාදීමට පොරොන්දු වී තිබුණි. ඔහු 2022 වසරේ දී යළි පැමිණ පොරොන්දු වූ පරිදි බලකොටුව ඇතුළත ගත් පැරණි ඡායාරූප, පොත් හා ඔහුගේ පුද්ගලික මුදලින් බ්‍රිතාන්‍ය ලේඛනාගාරයෙන් මිලයට ගෙන රැගෙන ආ සිතියම් 12 ක් ලබාදෙනු ලැබීය. එම සිතියම්වල බලකොටුවේ කාලතුවක්කු අංගන හා ගොඩනැඟිලිවල පිහිටීම හා සමෝච්ච රේඛා මනාව සඳහන්ව තිබීම ඉදිරි කටයුතු කරගෙන යෑමට මධ්‍යම සංස්කෘතික අරමුදලට පහසුවක් වී තිබුණි. 1956 වසරේ මෙම බලකොටුවේ එඩින්බරෝ ටෙරස් පෙදෙසේ වාසය කර තිබුණි.

නිජේල් නයිට් විසින් පුෂ්පකුමාර හට හඳුන්වා දුන් ඔහුගේ මිතුරියක වූ 1953 – 1967 කාලයේ බලකොටුවේ මැක්ඩොවෙල් හවුස් හි වාසය කර තිබු 77 වියැති ක්‍රිස්ටිනේ ග්‍රීඩි ත්‍රිකුණාමලයට පැමිණියාය. එම ගමනේ දී ඇය බලකොටුව සම්බන්ධ පුවත්පත් වාර්තා, පැරණි සහතික, ඡායාරූප රැසක් ලබාදීමට තරම් පරිත්‍යාගගීලී වූවාය. ඇය එදා වාසය කළ පැරණි නිවස බැලීමට ද අමතක නොකළාය. ඇයගේ තොරතුරු බලකොටුවේ මාර ගස්වල පිහිටීම ගොඩනැඟිලි හා වහලවල් පිළිබඳව මෙන්ම එම කාලයේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ගැනද අවබෝධයක් ලබා ගැනීමට හැකිවූ බව ව්‍යාපෘති කළමනාකාරවරයා පැවැසීය.

එමෙන්ම ස්කොට්ලන්ත කාන්තාවක වූ 1952 – 1954 කාලයේ බලකොටුවේ ක්ලිෆ් කොටේජ් පෙදෙසේ වාසය කර තිබූ 91 වියැති හිල්ඩා මේයිසින් ජොන්ස්ටන් සිය මතකය අවදි කරමින් බලකොටුවේ පැරණි ස්ථාන හා තත්ත්වයන් ගැන පවසනුයේ බලකොටුව ප්‍රතිනිර්මාණ කටයුතු සඳහා සහය වෙමිනි.

ඒ අනුව මේ සුන්දර මිනිසුන්ගේ නොමසුරු පරිත්‍යාගයන් ගෙන් ලබාගත් තොරතුරු අනුව ෆෙඩ්රික් බලකොටුව තුළ පෘතුගීසි අවධියේ යුද අට්ටාල 4 ක් හා කාලතුවක්කු 12 ක් තිබී ඇත. ලන්දේසි අවධියේ යුද අට්ටාල හයක් තිබූ නමුත් කාලතුවක්කු පිළිබඳව අදහසක් තවමත් නැත. ඉංග්‍රීසි සමයේ යුද අට්ටාල නමයක් හා මෝටාර් අවියකින් හා මසල් ලෝඩින් අවි 12 කින් සන්නද්ධව පැවැත තිබුණි. පෘතුගීසීන් 1624 දී ඉදිකළ එලීසා නම් කුඩා බලකොටුවට පහර දී 1639 දී අල්ලාගත් ලන්දේසීන් එය නවීකරණය කර තිබුණි. 1782 න් පසුව ප්‍රංශ ජාතිකයන් අවස්ථා දෙකක දී බලකොටුවේ පාලනය සියතට ගෙන තිබුණි. අනතුරුව 1795 දී ඉංග්‍රීසින් කොටුව අල්ලාගෙන එය ෆෝට් ෆෙඩ්රික් ලෙස නම් කරනු ලැබීය. අනතුරුව 1948 දක්වා සිය පරිපාලන කටයුතු සඳහා ත්‍රිකුණාමලය කොටුව භාවිතා කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කර තිබුණි.

එදා මේ මහා බලකොටුවේ ජීවත් වූ මේ සුන්දර විදෙස් මිනිසුන්ගේ සහයෙන් මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය වන බලකොටුව ආකර්ෂණීය හා ආරක්ෂිතව නැරඹිය හැකි දැනුම ලබාදෙන සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම ව්‍යාපෘති කළමනාකාර පුෂ්පකුමාර ප්‍රමුඛ කණ්ඩායම වෙහෙසෙමින් සිටිති. ඊට බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායකයන් ගේ සහය ද ඔවුන්ගේ මේ ගමනට සවියක්ව තිබේ. දැන් ඔවුන්ගේ අපේක්ෂාව බලකොටුව පෙන්වා උපයන මුදලින් බලකොටුවේ ඉතිරිය සංරක්ෂණය කිරීමය. පුරවැසියන් ලෙස අප කළ යුතු වන්නේ භූගත බංකර, කාලතුවක්කු අට්ටාල වැනි සංරක්ෂිත ගොඩනැඟිලි නරඹා ඒවායේ බලි කුරුටු නො ඇද අපේ මතු පරපුරට දැක ගැනීමට ඉඩ සැලසීමයි.

ලක්මාල් කේ. බදුගේ

advertistmentadvertistment
advertistmentadvertistment