තරු සංකල්පයට කළ අභියෝගය…

324

එදින දෛවයෝගය චිත‍්‍රපටයේ මුහුරත් උත්සවය පැවැත්විණ. මැදුර ඉදිරිපස කඩවසම් තරුණයෙක් අසුන්ගෙන සිටියේය. ඔහු කිසිවකු සමග කතා කළේද කිසිවක් ගැන උනන්දු වූයේද නැත. මැදුර තුළ උත්සවය පැවැත්වේ. රුක්මණි දේවි, එඩි ජයමාන්න, අයේෂා වීරකෝන් ප‍්‍රමුඛ නළු නිළියෝ සතුටු සාමිචියේ යෙදෙති. මම මැදුරෙන් එළියට ආවෙමි. පෙර කී තරුණයා තවමත් නිසොල්මන්ව සිටිනු පෙනේ. ඔහු ඉන් පෙර මා නෙත ගැටී නැත. පිරිසිදුවට කෙටි කොටට කැපූ යන්තම් රැළි නැගෙන සේ උඩට පීරු හිස කෙස් ජීවයෙන් පිරි තරුණයකුගේ පැහැදිලි දීප්තියක් ඇති නොමිටි නූස් නහය නොමිටි, නූස් මධ්‍යම ප‍්‍රමාණයේ සිරුර තලඑළළු පැහැය, ඇගට හිරවුණු කලිසම, අත නැමූ කමිසය නගරයේ කඩිසර තරුණයකු බව මුත් කඩවසම් යැයි කිව යුතු වූ මුත් අමුතුවෙන් දැකිය හැකි වෙසෙස් ලක්‍ෂණයක් ඔහු කෙරෙන් විද්‍යමාන නොවීය.
ඔබත් මේ චිත‍්‍රපටයේ රගපානාවද යි ඔහු සමීපයට ගිය මම ඇසීමි. ඔව් සුළු කොටසක් රගපානවා යි කී ඔහු යළිත් නිහඩ විය.

ගාමිණි මට මුල්වරට හමුවූයේ මේ අයුරිනි. එදා මැදුර තුළ හුදෙකලාව සිටියාක් මෙන් අද ද ඔහු වැඩියෙන් සමාජ ආශ‍්‍රය ප‍්‍රිය නොකරයි. එදා වැඩියෙන් කතා නොකළාක් මෙන් අදද ඔහු ක්‍ෂණිකව හමුවූ හෙයින් හෝ අවශ්‍යතාවක් නොමැතිව කතාබහ නොකරයි. තවද එදා ගාමිණි තුළ මා දුටු අනතිමානි නොබැඳුණු ස්වරය අදත් ඔහු තුළ එලෙසින්ම පවතී.

රංගනය මගේ වෘත්තිය. රැකියා කිහිපයක යෙදුණොත් එකක්වත් සාර්ථකව කළ නොහැකියි. එහෙයින් මගේ මුළු කාලය කැපකොට ඇත්තේ නළු වෘත්තියේ මතු දියුණුව අරභයායි, ගාමිණී නිතර කීවේය.

තරු සංකල්පයට කළ අභියෝගය...

මා මිනිසකු සමග මිතුරු වන්නේ ඔහු පිළිබඳව මනා වැටහීමක් ලද පසුවයි. නොගැලපෙන පුද්ගලයන් යන්තමින් හා් ඇසුරු කිරීමට මා කැමැති නැහැ. සමීප මිතුරන් වුවත් නිතර හමුවීමට මා අකමැතියි. නිතර දකින කුකුළාගේ කරමලත් සුදුයි වරක් ඔහු මට පැවසීය. එහෙත් තම මිතුරකුට විපතක් අවශ්‍යතාවක් වූ කල්හී ගාමිණී එතැන සිටිනු මම දකිමි.

ඔහු නොයෙක් දේ පිළිබඳව නොයෙක් මත දරන්නෙකි. නිවසේ සිටින විට පැය ගණන් මිත‍්‍රයන් සමග විහිළු තහළු කරමින් අල්ලාප සල්ලාපයේ යෙදීමට හේ ප‍්‍රිය කළේය. ගාමිණි පාසල් සමයේ සිටම ව්‍යායාම්වලින් කාය වර්ධනයට හුරු වූවෙකි. මේ හැර ඔහු තම හැඩරුව පිළිබඳ වෙසෙස් ඇල්මක් නැත.

දිනක් මා ගාමිණීගේ නිවසෙහි ඔහු සමග කතා බහ කරමින් සිටින අතරදී එක්තරා චිත‍්‍රපට විචාරකයෙක් එහි පැමිණියේය. මේ විචාරකයා නොයෙක් මාදිලියේ ප‍්‍රශ්න ඔහුගෙන් විමසීය.

මගේ පුද්ගලික දේ ගැන අහන්න එපා. ඕනෑ නම් රංගන ජීවිතය ගැන අහන්න. ගාමිණී වරක් කීවේය. ඡායාරූප ගන්නට කොළඹින් බැහැර ස්ථානයකට යෑමට මේ විචාරකයා ගාමිණීට පෙරැත්ත කළ මුත් කාර්ය බහුලත්වය නිසා ඔහු ඊට එකග නොවුණි. එකල්හි විචාරකයා ගාමිණී දෙසට හැරී ගාමිණී දන්නවද ප‍්‍රචාරය නැත්නම් තරු නිකම්ම නැතිව යන වග යි ඇසීය.

ඔව් මිස්ටර් ඒක නම් ඇත්ත. ඒත් ඒ තරුවලට නළුවන් එහෙම නැතිවී යන්නේ නැහැ. මතක තබා ගන්න මා තරුවක් නොවෙයි නළුවෙක්.

ගාමිණි අවධාරණයෙන් කීවේය.

නළු නිළියන් පහත්කොට සලකන නිෂ්පාදකවරුන් දුටු විටද ඔහු කෝපාවිෂ්ට වේ. එබඳු නිෂ්පාදකවරුන්ගේ චිත‍්‍රපටවල හේ ර`ගපාන්නේ නැත. ගාමිණී සීගිරි කාශ්‍යප චිත‍්‍රපටයේ කඩු පැළඳි තේජවන්ත සෙනවියකුගේ චරිතය නිරූපණය කළ අයුරු දැක්වෙන සුවිශාල ඡායාරූපයක් ඔහුගේ නිවසේ ආලින්දයෙහි තිබිණ. ඔහු එය තබා ඇත්තේ හුදෙක් මිත‍්‍රයකු විසින් (වෝල්ටර් මේදිස්) දෙන ලද ත්‍යාගයක් අගයනු පිණිසය.

බුදුරජාණන් වහන්සේට පොල් තෙල් පහනක් දල්වා මිස කිසි විටක ගාමිණී රූගත කිරීම් සඳහා නිවසින් බැහැර වන්නේ නැත. එහෙත් ඒ පහන දැල්වෙන්නේ බුදුරුවක් ඉදිරිපස නොවේ. මෙය ඔහු කලක පටන් අනුදත් සිරිතකි.

 විවිධ ප‍්‍රසංග, අරමුදල්, උත්සව ආදියට යෑම  ගාමිණී ප‍්‍රිය නොකළේය.

 සතෙක් මෙන් වේදිකාවට ගෙන ගොස් මාව පෙන්වනවාට මම කැමැති නෑ. ඔහු නිතර කීය. එක් නිෂ්පාදකවරයෙක් ගාමිණී අරභයා කී දෙයක් මා හට සිහිපත් වේ.

 ගාමිණීගෙන් කිසිම කරදරයක් නැහැ කියපු වේලාවට එනවා ඕපදූප කතා නෑ වැඬේ හරියට කළා පිටත් වුණා.

 අධ්‍යක්‍ෂවරයෙක් ඔහු මෙසේ දුටුවේය.

 ගාමිණී ගැන එකම දෙයයි කියන්න තියෙන්නේ. සහයෝගයෙන් වැඩ කරනවා කාටත් උදව් වෙනවා ඔහුගේ ඔළුව ඉදිමිලා නෑ.

 ඊර්ෂියාවක් නැතිව කා හටත් අත හිත දෙනවා ඔහු පිළිබඳව නළුවෝ කියති.

 තමන්ගේ පාඩුවේ වැඩ කරන නළුවෙක්. මේ නිළියන් බොහෝ දෙනෙකුගේ මතයයි.

 ගාමිණී ෆොන්සේකා ර`ගපෑමට ඉතා දක්ෂයකු සේම ජනප‍්‍රිය නළුවෙකි. ජනප‍්‍රියත්වයේ රහස කියන්නැයි වරක් මම ගාමිණීගෙන් විමසීමි. එවිට ගාමිණී මෙසේ කීවේය.

 සිනමා ලෝලයින්ගෙන් අහන්න

 – එල්මෝ ගුණරත්න

 අභාවප‍්‍රාප්ත ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවර එල්මෝ ගුණරත්න මහතා 1960 දශකයේ සරසවි සිනමා වාර්ෂිකයට ලියන ලද්දකි.

advertistmentadvertistment
advertistmentadvertistment