මාර්ගගත සුරක්ෂිත නව පනතින් භාෂණයේ නිදහස සම්පූර්ණයෙන් නැති වෙනවා – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ලේකම් ලසන්ත ද සිල්වා

64

මේ ආණ්ඩුව 23 දා පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සූදානම් වන මාර්ගගත සුරක්‍ෂිතභාවය පිළිබඳ නව පනත් කෙටුම්පතට එරෙහි වන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන මානව හිමිකම් සුරකින මේ රටේ සියලු දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව පැවසුවේ මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ ආණ්ඩුවේ මර්දනකාරී අණපනත් පාර්ලිමේන්තු සම්මත කිරීමට එරෙහිව පෙරේදා (17දා) දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය. මේ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ භාෂණයේ සහ කතා කිරීමේ නිදහස උල්ලංඝනය වන ආකාරයේ නව පනත් ගෙන ඒමට උත්සාහ කරමින් සිටිනවා. ඒ වගේම මේ රටේ ජනතාවගේ කිසිදු ප්‍රශ්නයක් නිරාකරණය වෙලා නැති අවධියක ඉදිරියේදී මැතිවරණ දෙකක් පැවැත්වීමට ඉඩ ප්‍රස්ථාව තිබෙනවා. එම නිසා අපි මේ පාර්ලිමේන්තුවේ සිටින සභිකයෝ 225 දෙනාටම කියන්න කැමතියි ඔබලාට අයිතියක් තිබෙනවා මේ රටේ ජනතාවගේ අයිතීන් සුරක්‍ෂිත කරන්න. එසේ නොවුණ හොත් ඉදිරි මැතිවරණයේදී ජනතාව ඔබලා ගැන බලාගනිවි කියන විශ්වාසය අප වෙත තිබෙන බව ඒ මහතා පැවසීය.

එළැඹෙන 23 දා ඉතාමත් තීරණාත්මක දවසක් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ඒ මොකද කියනවානම් ප්‍රජාතන්ත්‍රවාදය මූලිකවම භාෂණයේ නිදහසක් ප්‍රකාශ කිරීමේ අයිතියත් එහෙම පිටින්ම නැති වෙනවා. එම නිසා ජනතාව අකමැති දේවල් නිදහස අහුරන දේවල් සිදුවෙනවා නම් ඒ ආණ්ඩුව කිසිසේත් ජනමිත්‍ර ජනහිතකාමී ආණ්ඩුවක් නොවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්‍ෂ ජෙහාන් පෙරේරා, මාධ්‍යවේදී ටී. එම්. ජී. චන්‍ද්‍රසේකර, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විධායක අධ්‍යක්‍ෂ නදීශානි පෙරේරා, යාපනය මාධ්‍ය සමාජයේ සාමාජික මාධ්‍යවේදී ඒ. නික්සන්, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් එම්. ඩී. ආර්. අතුල, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි, නීතිය සහ සමාජ භාරය වැඩසටහන් අධ්‍යක්‍ෂ සඳුන් තුඩුගල යන මහත්ම මහත්මීන් මෙහිදී අදහස් දැක්වූහ.

සටහන සහ ඡායාරූප – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment