කලියුගයේ අවභාවිතා වන ජ්‍යොතිෂ සිද්ධාන්ත

299

කලියුගයේ වෙසෙන මනුෂ්‍යයාගේ යහ පැවැත්ම, අභිවෘද්ධිය, සැපත, සතුට, ආරක්ෂාව වෙනුවෙන් උතුම් මහා බ්‍රහ්මයන්ගේ අණින් ත්‍රිමූර්තියෙන් එක් මූර්තියක් වූ ඊශ්වර දෙවිදුන් හා ජ්‍යොතිෂ් ශාස්ත්‍රයට අධිපති දෙවඟන වූ උමා දේවිය ලබාදුන් මහඟු අමිල දායාදයකි ජ්‍යොතිෂ් ශාස්ත්‍රය.

සිද්ධාන්ත හෙවත් ගණිත, හෝරා හා සංහිතා යන ත්‍රිත්වයේ සංකලනයෙන් සූසැදි ජ්‍යොතිෂ් ශාස්ත්‍රය පාර විද්‍යාවකි. එය වර්තමාන සියලු ආගම් හා දර්ශනවලට වඩා බෙහෙවින් පැරණිය. එක මහා යුගයක වූ උප යුග අතරින් තෙවැනුවට උදා වූ වර්ෂ 864,000ක් තරම් දිගු වූ ද්වාපර යුගයේ විසූ තුන් කල් දුටු අන්තරීක්ෂ ඤාණයෙන් යුතු වූ පංච අභිඤ්ඤා, අෂ්ට සමාපත්තිලාභී සෘෂි උතුමන් වහන්සේලා ගුරු මුෂ්ඨි සැඟවීමකින් තොරව ලොවට දායාද කළ මාහැඟි උතුම් දිව්‍යමය ශාස්ත්‍ර අතරින් ජ්‍යොතිෂ් ශාස්ත්‍රය ද ලෞකික ශාස්ත්‍රයකි.

පරක් තෙරක් නොපෙනෙන ජ්‍යොතිෂ් ශාස්ත්‍රය විශේෂයෙන් ද්වාපර යුගයේ ලොව පහළ වූ සෘෂි උතුමන් වහන්සේලා 18 දෙනකු උන්වහන්සේලාගේ නමින් සිද්ධාන්ත බිහි කරමින් පෝෂණය කොට නිර්මාණය කළ විද්‍යාවකි. ශාස්ත්‍රයකි. මෙය අදටත් ලෝකයේ ඉතිරිව ඇති ඉපැරණිම ශාස්ත්‍රය වන අතර මය නම් සෘෂි උතුමාට සූර්ය දෙවිඳුන් විසින් දේශනා කර ඇත. ඒ බව පැරණිම ජ්‍යොතිෂ් සිද්ධාන්ත ග්‍රන්ථයක් වන සූර්ය සිද්ධාන්තයේ මනාව සඳහන්ය. කාල වකවානු පිළිබඳ නිසි සාක්ෂි නොමැති වුවත් ද්වාපර යුගයේ මුල් කාල වකවානුවල පටන් ද්වාපර යුගයේ අවසාන කාලපරිච්ඡේදය දක්වා ලොව පහළ වූ ලෝමස සෘෂි උතුමා පටන් පරාශර සෘෂි උතුමා දක්වා වැඩ විසූ සෘෂි උතුමන් වෙතින් ජ්‍යොතිෂ් විද්‍යාව පෝෂණය විය. එහිදී සෘෂි නාමය මුල් කොට නිර්මාණය වූ සිද්ධාන්ත නාමයන් මෙසේය.

  1. ලෝමසා රෝමක සිද්ධාන්තය
  2. නාරද සිද්ධාන්තය
  3. සූර්ය සිද්ධාන්තය
  4. බ්‍රහ්ම සිද්ධාන්තය
  5. ව්‍යවන සිද්ධාන්තය
  6. යවන සිද්ධාන්තය
  7. මර්සි සිද්ධාන්තය
  8. වශිෂ්ඨ සිද්ධාන්තය
  9. සෞමක සිද්ධාන්තය
  10. කාශ්‍යප සිද්ධාන්තය
  11. භෘගු සිද්ධාන්තය
  12. පෞලීෂ සිද්ධාන්තය
  13. අක්‍රී සිද්ධාන්තය
  14. ගර්ග සිද්ධාන්තය
  15. අංගිර සිද්ධාන්තය
  16. ව්‍යාස සිද්ධාන්තය
  17. මනු සිද්ධාන්තය
  18. පරාශර සිද්ධාන්තය

මෙකී සිද්ධාන්තවලින් පරිබාහිරව ජ්‍යොතිෂයේ උන්නතියට සිද්ධාන්ත නිර්මාණය කළ ජෛමිනි සෘෂිතුමා හා ලලල සෘෂිතුමා ද සදා අමරණීයය.

ජ්‍යොතිෂ් ශාස්ත්‍රය හුදෙක් භූගෝල විද්‍යාවත්, තාරකා විද්‍යාවත් පදනම් කරගත් විශිෂට ගැඹුරු ගණිත ශාස්ත්‍රයකි. ජෝති යනු, ආලෝකය හෙවත් බැබළීමයි. විශ්වයේ බැබළෙන දිසි අදිසි ආකාශ වස්තූන් පෘථිවිවාසී මනුෂ්‍ය වර්ගයා කෙරෙහි කරන බලපෑම් පුරෝකථනයට ජ්‍යොතිෂ් විද්‍යාව තරම් නිවැරදි විද්‍යාවක් ශාස්ත්‍රයක් තවත් නැත.

අර්ථාන්විත, බුද්ධිගෝචර, ප්‍රායෝගික මෙන්ම තර්කානුකූල පර්යේෂණාත්මක ශාස්ත්‍රීය පදනමකින් යුතු අනියතවාදී දිව්‍යමය විෂයක් වූ ජ්‍යොතිෂ් විද්‍යාව අචින්ත්‍ය වූ කර්ම විෂයකරණ කොට නව ග්‍රහයන් ගෙන දෙන අපල සඵල මනුෂ්‍යා කෙරෙහි බලපවත්නා ආකාරය පහදාගත හැකි එකම ශාස්ත්‍රය ද වේ. ඒ නිසාම මෙම ශාස්ත්‍රය තුළින් බුදුන් වහන්සේ දේශනා කළ සේම කර්ම විපාක හා කුසලානිශංස ශක්තිය පසක් කරගනු වස් අතීතයේ සැඟව ගිය දෑ ද වර්තමානයේ සිදුවෙමින් පවතින දැ ද අනාගතයේ තවමත් මතු නොවූ දෑ ද කදිමට අනාවරණය කරගත හැක. එනිසාම ජ්‍යොතිෂ් විද්‍යාව හැකිතාක් දුරට පරතෙරට දැන උගෙන නිවැරදි භාවිතය තුළ විපත් උවදුරු අවම කරගත හෝ සහමුලින්ම වළකාගත හැක.

සමස්ත ජ්‍යොතිෂ් විද්‍යාවෙන් 80%කටත් වඩා විවිධ වූ ගණිත සිද්ධාන්ත මත පදනම් වී ඇත. කෙසේ නමුත් ජ්‍යොතිෂය පසුකාලීනව පෙරදිග ජ්‍යොතිෂය හා අපර දිග ජ්‍යොතිෂය වශයෙන් ක්‍රම දෙකකින් ලෝකයේ ප්‍රචලිත විය. පෙරදිග ජ්‍යොතිෂය අපරදිගට ව්‍යාප්ත වෙත්ම තාරකා විද්‍යා මූලධර්ම ද ඊට එක්විය. ඒ තුළින් නිර්මාණය වූ අපරදිග ජ්‍යොතිෂය අයනය සහිත සායන ජ්‍යොතිෂය ලෙසත් පෙරදිග ජ්‍යොතිෂය අයනය රහිත නිරයන ජ්‍යොතිෂය ලෙසත් ප්‍රකට විය. සැබවින්ම ගුප්ත ශාස්ත්‍රයක් නොවූ ජ්‍යොතිෂ් විද්‍යාව කිසිම ආගමක කිසිම ඉගැන්වීමකට අයත් ශාස්ත්‍රයක් ද නොවේ.

ජ්‍යොතිෂ් විද්‍යාවත් තාරකා විද්‍යාවත් යන විෂයන් දෙක එකම විෂයක් නොවේ. එකිනෙකට පරස්පර විවිධ ගණනය කිරීම් මත පදනම් වූ විෂයන් දෙකකි. මෙහිදී විශේෂයෙන් අන්තරීක්ෂ ඥානයෙන් තුන්කල් දුටු සෘෂි භාෂිතයෙන් හා සෘෂි දේශිතයෙන් ජ්‍යොතිෂ්‍ය පෝෂණය වී ඇති අතර තාරකා විද්‍යාව පදනම් වී ඇත්තේ ඊටම ආවේණික විද්‍යාත්මක ගණනය කිරීම් පර්යේෂණ හා නිරීක්ෂණ මතය. නූතන තාරකා විද්‍යාවෙන් අනාවරණය කරගන්නා බොහෝ දෑ සෘෂි උතුමන් අන්තරීක්ෂ ඥානයෙන් දැක ඇත්තේ අදට වසර ලක්ෂ ගණනකට පෙරය. ජ්‍යොතිෂය හා සබැඳි සිද්ධාන්ත ග්‍රන්ථ එයට සාක්ෂි සපයයි. ඒ නිසා ජ්‍යොතිෂ විද්‍යාව හා තාරකා විද්‍යාව සන්සන්දනය කර යම් යම් අර්ථකථන සැපයීමට උත්සාහ දැරීම පල රහිතය.

විශේෂයෙන් මෙහිදී ජ්‍යොතිෂ් සිද්ධාන්ත හා න්‍යායන් මත පදනම්ව ලබාගන්නා දිනය හා දවස පටලවා නොගත යුතුය. එසේම ඉංග්‍රීසි ජාතිකයන්ගේ දින දර්ශනයට අනුව දින ගැන එය අපටම අවේණික සූර්ය දින දර්ශනය හා චන්ද්‍ර දින දර්ශනය සමග පටලවා නොගත යුතුය. ඉංග්‍රීසි ක්‍රමයේදී දිනය ආරම්භය මධ්‍යම රාත්‍රි 12ට වුවත් ජ්‍යොතිෂ් විද්‍යාවට අනුව දිනය ආරම්භ වන්නේ සූර්ය උදාවෙනි. එහිදී යම් දිනක සූර්ය උදාවේ සිට පසුවදා ද සූර්ය උදාව දක්වා දිනයක් සේ සැලකේ. එනමුත් ඉංග්‍රීසි ක්‍රමයටත් සිංහල ක්‍රමයටත් දින නාමය එකම වේ. ජ්‍යොතිෂයේදී දින අධිපති කම සප්ත ග්‍රහයන්ට හිමිකර දී ඇත. කෙසේ නමුත් හිරු බටහිර ක්ෂිතිජය ස්පර්ෂ කරමින් මුහුදේ ගිලීමට පටන් ගන්නා අවස්ථාව ඉර බැසීම හෙවත් සූර්ය අස්ථය වන අතර හිරු උදාව යනු හිරු නැඟෙනහිර ක්ෂිතිජය ස්පර්ශ කරමින් මුහුදෙන් මතුවීමට පටන් ගන්නා අවස්ථාවයි. මෙය ඉර නැඟීම ලෙස ද හඳුන්වයි. මෙම ඉර නැඟීමේ ක්‍රියාවලියටත් ඉර බැසීමේ ක්‍රියාවලියටත් විනාඩි 8 බැගින් ගතවේ.

සිවුසැට කලාවලින් එකක් වූ ජ්‍යොතිෂ් විද්‍යාවේ සියලු ගණනය කිරීම් සිදුකරනුයේ පෘථිවිය නිෂ්චල යැයි උපකල්පනය කර පෘථිවියට සාපේක්ෂවය. එනමුත් තාරකා විද්‍යාවේදී සිදුකරනු ලබන සියලු ගණනය කිරීම් බ්‍රහ්මාණ්ඩයට හෙවත් විශ්වයට සාපේක්ෂව සිදු කරනු ලැබේ. එනම් තාරකා විද්‍යා ගණනය කිරීම්වලදී අස්විද නැකත මුල් කරගන්නා අතර ජ්‍යොතිෂ් විද්‍යාවේදී සිත නැකත මුල්කර ගනී.

පුරාතනයේ විශේෂයෙන් ජ්‍යොතිෂ් විද්‍යාවේ වාක්‍යකරණය ගණිතය හා දෘග් ගණිතය ලෙස ගණිත ක්‍රම 2ක් භාවිත විය. මුල් කාලීනව ජ්‍යොතිෂ් ග්‍රහස්ඵුට පංචාංග ලිත් ආදිය සඳහා භාවිතා කළ වාක්‍යකරණ ගණිතය නිවැරදිතාව සම්බන්ධව යම් යම් දෝෂ සහිත වූයෙන් පසු කාලීනව දෘග් ගණිතය ලිත් නිර්මාණයේදී භාවිතය වේ. මේ නිසා වඩාත් නිවැරදි ගණනය කිරීම් සිදු කරගත හැකි විය. කෙසේ වෙතත් පටු වාසි තකා අත්තනෝමතිකව ජ්‍යොතිෂය අවභාවිතා කිරීම කිසිසේත් අනුමත කළ නොහැක. විශේෂයෙන් ගුරුකුල සම්ප්‍රදායන්ට යටවී ගණනය කිරීම් ආදිය පටලවා වරදවා ගත යුතු නොවේ. කෙසේ නමුත් වරද දැක දැක වරද දැන දැන එය තහවුරු කිරීමට උත්සුක නොවී කොයිකාගේත් යහපතට විශේෂයෙන් අනාගතයේ ජ්‍යොතිෂ් විද්‍යාවේ පැවැත්මට වරද නිහතමානීව නිවැරදි කරගත යුතුය. සෘෂි භාෂිතය මෙන්ම සෘෂි දේශිතය හා සබැඳී මූල ග්‍රන්ථ පසෙකලා සම්ප්‍රදාය රැකගැනීමට වෙර දැරීම කොතරම් ඥානාන්විත ද යන්න සිතා බැලිීම වටී. කෙසේ නමුත් යම් ජ්‍යොතිෂ් ගණනය කිරීමකදී සියලු දෙනාටම ලැබිය යුත්තේ එකම අගයකි. තම තමා භාවිතා කළ අයනාම්ශකය මත ඉතාම සුළු වෙනසක් ලැබුණු පිළිතුරු අතර පැවතිය හැකිමුත් සමසතයක් ලෙස ගණිතමය වශයෙන් කැපීපෙනෙන පරතරයක් පැවතිය නොහැක.

විශේෂයෙන් අතිමහත් බහුතරයකට අයනය හා අයනාම්ශකය ගැන යම් තරමක හෝ නිවැරදි අවබෝධයක් නොතිබීමත් ඒ හරහා නිර්මාණය වන සායන හා නිරයන ක්‍රම සම්බන්ධව නිසි වැටහීමක් නොමැති වීමත් මත තර්ක විතර්ක තුළින් ඉදිරිපත් වන ගැටලුවලට නිසි පිළිතුරු ලබාදීමට අසමත් වන වගක් පෙනේ. කොටින්ම කියහොත් විශේෂයෙන් තරුණ පරම්පරාව කරුණු කාරණා නිසි වග විභාගයකින් තොරව සූර්යයාගේ සත්‍ය පිහිටීම හා දෘශ්‍ය ගමන පවා පටලවා ගන්නා ස්වභාවයක් ඇත. කෙසේ නමුත් 080 පමණ පළල පටියක් ලෙස පිහිටන ක්‍රාන්ති වළය රාශි චක්‍රය හරහා වැටී ඇත. මෙහිදී ඛා ගෝලයන් ක්‍රාන්ති වළයක් අතර 23 1/20ක ඇලයක් පවතී. එනම් පෘථිවිය තම සිරසට 23 1/20ක ඇලයකින් යුතුව තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා පරිභ්‍රමණය වේ. එහිදී පෘථිවිය තම අක්ෂය වටා පැයට කිලෝමීටර් 1600ක පමණ වේගයෙන් කරකැවේ. එසේම පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණයේදී පැයට කිලෝමීටර් ලක්ෂයකට වඩා වේගයෙන් කරකැවේ. එසේම බොහෝ දෙනකු නොදන්නා නමුත් සූර්යයා ද චක්‍රාවාට වටා පැයට කිලෝමීටර් ලක්ෂ 8ක පමණ වේගයෙන් කරකැවේ. මේ අනුව කිසිවකු නිෂ්චල නැත. කෙසේ නමුත් ජ්‍යොතිෂ් විද්‍යාවට අනුව රාශි චක්‍රයත් නැකැත් චක්‍රයත් එකට පිහිටා ඇත. මේනිසා රාශි චක්‍රයත් නැකත් චක්‍රයත් එකට අවසන් වන අතර නැවත රාශි චක්‍රයත් නැකැත් චක්‍රයත් එකට ආරම්භ වේ.

මෙලෙස වේගයෙන් පෘථිවිය කරකැවීමේදී පෘථිවිය ලප්පාවීමක් හෙවත් බකල් ගැසීමක් නිතැතින් සිදුවේ. මේ සංසිද්ධිය හේතුවෙන් පෘථිවියේ ධ්‍රැවයන්හි අහසට එල්ලය වෙනස් වේ. මෙය වෘත්තාකාරව සිදුවේ. මෙලෙස ලග්න වීම ජ්‍යොතිෂ් ගණනය කිරීම්වලට අනුව වර්ෂයකට විකලා 50.26 පමණ වේ. ඒ අනුව එක් අංශකයක් ලප්පා වීමට වර්ෂ 71යි මාස 07යි දින 15යි පැය 21යි මිනිත්තු 55යි තත්පර 04ක් පමණ ගතවේ. එසේම 3600 වූ පෘථිවියේ සම්පූර්ණ වටයක් ලප්පා වීමට වර්ෂ 25785යි මාස 10යි දින 28යි පැය 18යි මිනිත්තු 29යි තත්පර 22ක් පමණ ගතවේ.

කෙසේ නමුත් සමකය ආසන්නයේදී රාශි චක්‍රය නැඟෙනහිරින් පායා නැකැත් චක්‍රය ද සමග බටහිරින් බැස යන්න සේ පෙනේ. නමුත් ධ්‍රැව ආසන්නයේදී එය එසේ නොවේ. එක් තාරකාවක් නිශ්චල බව පෙනේ. එය ධ්‍රැවයට හරි කෙළින් පිහිටන ධ්‍රැව තාරකාවයි. නමුත් මෙම තාරකාව ද පෘථිවිය ලප්පාවීම හේතුවෙන් දීර්ඝ කාලයකට වරක් වෙනස්වේ. එනම් ධ්‍රැවයට කෙළින් වෙනත් තාරකාවක් නිශ්චල වේ. ඒ අනුව කලින් කලට මෙම ධ්‍රැව තාරකා වෙනස් වේ. මේ සන්සිද්ධිය හේතුවෙන් පෘථිවිය රාශි 12කට බෙදන සායන ක්‍රමයත් අහස රාශි 12කට බෙදන නිරයන ක්‍රමයත් බිහිවිය. මෙහිදී අහසේ බෙදූ රාශි පද්ධතිය ස්ථීර වූ අතර පෘථිවිය බෙදූ රාශි පද්ධතිය පෘථිවියට ලප්පා වීම සමග වෙනස් වණි. එනම් අයනය වුණි. එබැවින් සායන ක්‍රමයට මේෂ රාශියේ ආරම්භක ස්ථානය වන්නේ සූර්යයා සමකයට ලම්භක වන මහා විෂූව ලක්ෂ්‍යයයි. එනම් එය මේෂ 000යි. මෙනිසා සායන ක්‍රමයට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සෑම වර්ෂයකම මාර්තු 21 සිදුවේ. ඒ සායන අවුරුදු උදාවයි.

අහස රාශි 12කට බෙදන නිරයන ක්‍රමයේදී රාශි පද්ධතිය ස්ථීරව පවතී. දුර ඈත අතීතයේ යම් දිනක සායන හා නිරයන යන ක්‍රම දෙකටම ආරම්භක ස්ථාන සමපාතව පැවතුණේ යැයි උපකල්පනය කර ඒ මත පිහිටා ජ්‍යොතිෂ් ගණිතය ගොඩනඟා ඇත. එනමුත් පෘථිවිය ලප්පාවීම හේතුවෙන් මෙම සායන හා නිරයන පද්ධති දෙක අතර යම් වෙනසක් නිර්මාණය වී ඇත. මෙම වෙනස දැක්වෙන අංශක ප්‍රමාණය අයනාංශකය ලෙස අර්ථකථනය කර ඇත. මෙම සිද්ධිය ක්‍රිස්තු වර්ෂ 285 මාර්තු 21 සිදුවුවා යැයි සලකා ලහිරි අයනාම්ශකය නිර්මාණය කර ඇත. එනම් සායන නිරයන ක්‍රම දෙකටම මේෂ රාශියේ ආරම්භක ස්ථාන එදින සමපාතව පැවතණි. ඒ අනුව එකල උක්ත ක්‍රම දෙකටම අලුත් අවුරුදු උදාව මාර්තු 21 විය. නමුත් පෘථිවියේ ලප්පා වීම සූර්ය ගමනට ප්‍රතිවිරුද්ධව සිදුවීම නිසා නිරයන චක්‍රයට සාපේක්ෂව සායන චක්‍රය ඉදිරියට ගොස් ඇත. එනිසා මාර්තු 21 එකල සැමරූ සායන නිරයන අවුරුදු සංක්‍රාන්තිය නිරයන ක්‍රමයට අද වනවිට අප්‍රේල් 14 දක්වා ආපස්සට ගොස් ඇත. නමුත් සායන අවුරුදු සංක්‍රාන්තිය සදා මාර්තු 21මය. කෙසේ නමුත් සංක්‍රාන්තිය සිදුවන අදාළ දිනයේ සංක්‍රාන්ති වේලාව ඒ ඒ අයනාම්ශක වර්ගය අනුව ඉතාම සුළු වශයෙන් වෙනස් වන බවද කිව යුතුය.

තවද පෙරදින ජ්‍යොතිෂය නිර්මාණය වී ඇත්තේ දෘශ්‍ය පිහිටීම පදනම් කරගෙන නමුත් දෘශ්‍ය පිහිටීම හා සත්‍ය පිහිටීම අතර සුළු හෝ වෙනසක් පවතී. ජ්‍යොතිෂයේදී මෙම සුළු වෙනස සියලුම ග්‍රහවස්තූන් කෙරෙහි සාධාරණ බැවින් නොසලකා හැර ඇත. එසේම ග්‍රහයින්ගේ ගමන සලකන කල එය මාන දෙකක් හරහා සිදුවේ. ඒ රාශි මානය හා නැකැත් මානයයි. මෙහිදී රාශි මානය සායන හා නිරයන ලෙස බෙදූව ද නැකැත් මානය හුදෙක් නිරයන ක්‍රමය හා බැඳී ස්ථීරව අයනය නොවී පවතී. එනම් රාශි චක්‍රයේ නිරයන මේෂ ආරම්භය හා නැකැත් චක්‍රයේ අස්විද නැකැත ආරම්භය එකම ස්ථානයක් වේ.

කරුණු කාරණා පුළුල් පරාසයක ගැඹුරින් විමසන කල සෘෂි දේශිතයෙන් හා සෘෂි භාෂිතයෙන් උරුම වූ මූල ග්‍රන්ථයන්හි ඇති ජ්‍යොතිෂ් සිද්ධාන්ත පටලවාගෙන සංහිත ග්‍රන්ථවලට පිටින් ගොස් න්‍යායන් සිද්ධාන්ත ඉදිරිපත් කර තහවුරු කිරීමට යෑමෙන් සිදුවන්නේ උතුම් ජ්‍යොතිෂයට මහා අනර්ථයකි. මෙනිසාම මේ මත පදනම්ව පවතින අපටම ආවේණික පෞරාණික සිරිත් විරිත් හෙවත් චාරිත්‍ර වාරිත්‍ර අභියෝගයට ලක්වීම නිතැතින්ම සිදුවේ. විශේෂයෙන් මුළු ලෝකයේම පළමු වතාවට ඇරඹි සූර්ය මංගල්‍යය පවා අභියෝගයට ලක්වේ. මෙහිදී තාරකා විද්‍යාව හා ජ්‍යොතිෂ් විද්‍යාව එකිනෙක ගැළපීමට යෑමෙන් සංක්‍රාන්ති දින වකවානු පවා වෙනස්ව අවුලෙන් අවුලට පත්වේ. සෘෂි භාෂිතයෙන් මෙන්ම සෘෂි දේශිතයෙන් උරුම වූ වෘහන් සංහිතාව, වශිෂ්ඨ සංහිතාව, නාරූ සංහිතාව, නැකැත් සිතුරුවන වැනි මාහැඟි ග්‍රන්ථවල සඳහන් සෘෂි නියමයන් පසෙක ලා ජ්‍යොතිෂ් ශාස්ත්‍රය යාවත්කාලීන කිරීමට යෑම තුළ ප්‍රායෝගිකත්වය සුරැකීම කෙසේ වෙතත් වටිනා ජ්‍යොතිෂ් ශාස්ත්‍රයත් සංස්කෘතියත් පිරිහෙන බව නම් ස්ථීරය.

විශේෂයෙන් ඒ ඒ විෂයන් සම්බන්ධව නිසි පුළුල් අධ්‍යයනයකින් තොරව යම් අර්ථකථනදීමට යෑමෙන් හෑල්ලු වන්නේ තම තමාගේ දැනුමය. සමාජගත වන්නේ වැරදි කරුණුය. තව ද කලියුගයේ ප්‍රභලව නැඟීඑන අඥාන බුද්ධි හීනයාගේ අවිය වූ තර්කයට ඉඩ සලසා සංස්කෘතික සාරදර්ම පරිහානියට ඉඩ නොතැබිය යුතුය. අපගේ අනන්‍යතාව රැකගත යුතුය. සාරධර්ම, සභ්‍යත්වය, හැදියාව තවත් චිරාත් කාලයක් රැකගත යුතුය. එනිසා ඒ ඒ විෂයේ උගතුන් මේ බව තරයේ සිතට ගෙන කටයුතු කළ යුතුය. සැමට යහපතක් වේවා!

කලියුගයේ අවභාවිතා වන ජ්‍යොතිෂ සිද්ධාන්ත

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment