ජනතාවට විද්‍යාත්මක තොරතුරු සැපයීමේදී සිදුවන අඩුපාඩු මගහරවාගැනීම හා විද්‍යා පර්යේෂකයන් සිදුකරන පර්යේෂණවල ප්‍රතිඵල ජනතාවට වඩාත් ආකර්ෂණීය හා ඵලදායී අයුරින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද විද්‍යාත්මක තොරතුරු වාර්තාකරණ වැඩසටහනෙහි (OSR) මාධ්‍ය පදනම පිහිටුවීම පසුගිය 25 වැනිදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි.

ජනතාවට විද්‍යාත්මක තොරතුරු සැපයීමේදී විද්‍යා පදනම හා ජනමාධ්‍ය අතර තොරතුරු යා කෙරෙන පාලමක් වීමට ජනාධිපති මාධ්‍ය අංශය කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ ධනුෂ්ක රාමනායක මහතා පැවැසීය.

ජාතික විද්‍යා පදනමෙන් නිවැරැදි තොරතුරු මාධ්‍යකරණයට නව මාධ්‍ය පදනමක්

මෙහිදී අදහස් දැක්වූ නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ තමන් විසින් සිදුකළ බොහෝ කරුණු වාර්තා කිරීමේදී ජනමාධ්‍ය අතින් වැරදි සිදුවී ඇති බවත් මේ නිසා එහි අර්ථය විකෘති වී ඇති බවත්ය. ඒ සඳහා ඔහු උදාහරණ කිහිපයක්ම ගෙනහැර දැක්වූ අතර මින් ඉදිරියට එවැනි වැරදි සිදු නොවීමට කටයුතු යෙදිය යුතු බවත් මෙම මාධ්‍ය පදනම පිහිටුවීම ඒ සඳහා හොඳ අඩිතාලමක් බවද ඒ මහතා පැවසීය.

මෙම වැඩසටහන සඳහා ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න, ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල් සේපාලිකා සුදසිංහ, ප්‍රවීණ විද්‍යා දේශක සහ ජාතික විද්‍යා පදනමේ ක්‍රියාකාරී කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජික තුසිත මලලසේකර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීහු රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment