පොදු සමා කාලය: සෙබළු 7156ක් සතියකදී අස්වෙති

85

වසර ගණනාවක් තිස්සේ සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සෙබළුන් 7156 දෙනකු ගෙවී ගිය සතියක කාලයේදී හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් කළ බව යුද හමුදා මූලස්ථානය කියයි.

පසුගිය අප්‍රේල් 20දා සිට 27දා දක්වා කාලයේදී මෙම ඉවත් කිරීම් සිදුකර ඇත.

හමුදා සෙබළුන්ට පොදු සමා කාලය අප්‍රේල් 20 වැනිදා සිට ක්‍රියාත්මක කෙරිණි. එය මැයි 20 වැනිදා දක්වා බලපැවැත්වෙයි. පිටරටවල රාජාකාරි කරන 13 දෙනෙකුද නීත්‍යානුකූලව යුදහමුදා සේවයෙන් ඉවත්වීම සඳහා ඉල්ලුම් කර ඇත. අදාළ රෙජිමේන්තු මගින් අස්කිරීමේ කටයුතු කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය.

සතියකදී දසදහසකට ආසන්න පිරිසක් භාරවී ඇති බවත්, ඉන් 7143 දෙනකුගේ නිශ්කාශන කටයුතු අවසන් කර ඔවුන් සියලුදෙනාම සේවයෙන් තාවකාලිකව ඉවත්කර ඇතත් වැටුප් හා ලේඛන කාර්යාලයෙන් අවසන් ලිපිය ලද විගස ඒ සියලුම දෙනා ස්ථීර වශයෙන්ම සේවයෙන් ඉවත් වූවන් ලෙස සැලකෙන බවත් හෙතෙම කීය.

භාරවූවන් 7143 දෙනකුගේ අවශ්‍ය ලියකියවිලි හා නිශ්කාශන කටයුතු අවසන් කිරීම නිසා සේවයෙන් ඉවත් කිරීම පහසු වූ බවද හෙතෙම කියා සිටියේය.

මෙම පොදු සමා කාලය ඉදිරි සති 3 ඇතුළත ක්‍රියාත්මකය. සේවය හැරගිය සෙබළුන් සේවයෙන් ඉවත්වීම සඳහා විශාල උනන්දුවක් දක්වන බවත්, ඒ සෑම අයකුම මසක් ඇතුළත සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment