විජය අයියා රඟපෑ චරිත මම රඟපානවා – මිහිර සිරිතිලක

158

මම ලියපු අලුත්ම වේදිකා නාට්‍ය පැන්ඩෝරා

සරත් කොතලාවල, මිහිර සිරිතිලක, චින්තක පීරිස් රඟන, මිහිර සිරිතිලක විසින් රචනය කොට අධ්‍යක්‍ෂණය කරන ලද අතිශයින්ම විනෝදාත්මක නිර්මාණයක් වන ‘පැන්ඩෝරා’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය එළැඹෙන නොවැම්බර් මස 04 වැනිදා සවස 3.30 ට සහ 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කිරීමට නියමිතය. ඇත්තටම මොකක්ද මේ පැන්ඩෝරා. පිටපත ලියා අධ්‍යක්‍ෂණ සිදුකළ මිහිරගෙන් ඒ ගැන අසා දැනගමු.

මිහිර මොකක්ද මේ පැන්ඩෝරා?

පැන්ඩෝරා කියන්නෙ මම ලියපු අලුත්ම වේදිකා නාට්‍යය. මේකෙ විශේෂත්වය තමයි චරිත තුනක් පමණක් තිබීම. අපි තුන්දෙනෙක් තමයි රංගනයේ නියැළෙන්නේ. සරත් කොතලාවල, චින්තක පීරිස්, සහ මම. හැබැයි මේකෙ චරිත හතක් විතර දිවෙනවා. ඒ සේරම චරිත ටික කෙරෙන්නෙ අපි තුන්දෙනාගේ අතින්ම තමයි.

විජය අයියා රඟපෑ චරිත මම රඟපානවා - මිහිර සිරිතිලක

මෙහි පිටපත ගැන කතා කළොත්?

පැන්ඩෝරා කියන්නෙ ග්‍රීක ඉතිහාසයේ තිබෙන දෙයක්. පැන්ඩෝරා කිව්වහම අදටත් අපි දන්නවා වැරදි ගනුදෙනු, වැරදි ඩීල් පිළිබඳ කතා කරන විෂයක් විදිහට.

මේක දේශපාලන ප්‍රහසනයක් ද?

දේශපාලන ප්‍රහසනයක් තමයි. දේශපාලනය සමග මම කතා කරන්න උත්සාහ කරන්නේ ඩීල් ගැන. මේ හැම එකකම තියෙන්නෙ ඩීල් එකක්. දේශපාලනඥයා සහ ජනතාව අතර ඩීල් එකක් තියෙනවාද? නැතිනම් දේශපාලනඥයාට ඩීල් එක හැදෙන්නෙ වෙන තැනකද? ඇයි ඩීල් එක වෙන තැනකට යන්නේ ආදී වශයෙන් බිහිවුණ කතාවක් තමයි පැන්ඩෝරා.

අලුත් වේදිකා නාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරන්න හිතුවේ ඇයි?

මගේ පළමු වේදිකා නාට්‍ය නිර්මාණය කළේ 2013 වසරේ. එතකොට කෝකුක්කෝ තවමත් වේදිකාගත වෙනවා. අපි කණ්ඩායමක් හැටියට එකතු වෙන්නේ නරි බුරති ෂ වේදිකා නාට්‍ය හරහායි. නරි බුරති දෙවැනි නිෂ්පාදනය හැටියට අපි ආරම්භ කළේ කෝකුක්කෝ. ඒකේ තුන්වැනි නිෂ්පාදනය නරි බුරති 2 කියලා ආවා. මේක මම ලියපු පිටපතක්. අනික 2013 ඉඳලා 2023 වෙනකම් නාට්‍යයක් කළේ නැහැනේ.

විජය අයියා රඟපෑ චරිත මම රඟපානවා - මිහිර සිරිතිලක

මේ වෙලාවේ වේදිකාවට තිබෙන්නේ මොනවගේ පිබිදීමක් ද?

වේදිකාවට ලොකු පිබිදීමක් තිබෙනවා. සහරාන් ප්‍රහාරය සහ කොවිඩ් වසංගතයෙන් පස්සෙ අපි හිතුවේ වේදිකා කලාවට අඩු අවස්ථාවක් ලැබේවිද කියලයි. නමුත් මේ වෙනකොට කියන්න සතුටුයි වේදිකාවේ හොඳ පිබිදීමක් තිබෙනවා. මැයි මාසේ තමයි නරි බුරති 2 පටන් ගත්තෙ. මේ වෙනකොට අපි එහි දර්ශන වාර 60 පහුකරලා තිබෙනවා.

දැන් ටෙලිනාට්‍ය රංගනයෙන් ඈත් වෙලාද?

නැහැ. නැහැ. ටෙලි නාට්‍ය වැඩත් යනවා. නමුත් අපි මේ දවස්වල වැඩිපුර අවස්ථාව දීලා තිබෙන්නෙ වේදිකාවට. මොකද මම මේ දවස්වල රංගනයෙන් දායකවෙන නාට්‍ය හයක් තිබෙනවා. එතකොට ඒ ටිකත් එක්ක වේදිකා නාට්‍ය කලාවට වැඩි ඉඩක් දෙන්න වෙලා තිබෙනවා.

මොනවද ඒ නාට්‍ය?

නරි බුරති 2, කෝකුක්කෝ. අලුතින් ආරම්භ වන පැන්ඩෝරා. ඊට අමතරව මල්වඩම් අනවශ්‍යයි, දෙයියොත් දන්නේ නෑ, රූකඩ රාජ්ජේ යන නාට්‍ය ටික.

වේදිකා නාට්‍යයක් අවසන් වුණහම ලැබෙන ප්‍රතිචාර කොහොමද?

98 තමයි මම වේදිකා නාට්‍ය කලාවට ආසාවෙන් පය තැබුවේ. එදා ඉඳලා අපි ජීවිතේ විඳින සතුටුම කොටස ඒක තමයි. ඒ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර නිසාම තමයි මේ දුෂ්කර ජීවිතය කැමැත්තෙන්ම ගත කරන්නේ. වේදිකා නාට්‍යයක රඟපෑම ටෙලි නාට්‍යයක රඟපානවාට වඩා වෙහෙසකරයි.

මේ තියෙන ආර්ථිකයත් එක්ක වේදිකා නාට්‍යයක් කරල ලාභ ලබන්න පුළුවන්ද?

ලාභ ලැබනවා නම් අපිට තව කරන්න ගොඩක් දේවල් තිබෙනවා. මේ ඔක්කොටම වඩා ටෙලිනාට්‍යයක් කරන එක ලාභයි. නමුත් ලාභයට වඩා මෙතැන තියෙන්නෙ ප්‍රේක්‍ෂකයා සමග බෙදාගන්නා සතුටයි. අනික අපි නැව් ගන්න කල්පනාව තිබෙන මිනිස්සු නෙමෙයිනේ. ජීවත්වෙන්න කල්පනාව තිබෙන මිනිස්සුනේ.

ඔබ මේ දිනවල වේදිකාවේ විජය නන්දසිරි කලාකරුවාගේ චරිත ටිකත් රඟපානවා නේද?

ඔව්. ඒක විශ්වවිiාලයකට ගියා වගේ වැඩක්. මේක හරි අපහසු වැඩක්. මොකද කලින් කරපු චරිතයක් නැවත ප්‍රතිනිර්මාණය කරනකොට ලේසි නැහැ. මම හිතනවා යම්කිසි සාර්ථකත්වයක් ඇති කියලා. නැතිනම් ඔහු රඟපෑ චරිත සියල්ලටම රඟපාන්න ආරාධනා කරන එකක් නැහැනේ.

මොනවද ඒ චරිත කිව්වොත්?

දෙයියොත් දන්නේ නෑ තමයි මුලින්ම රඟපෑවේ. ඊට පස්සෙ මල්වඩම් අනවශ්‍යයි, රූකඩ රාජ්ජේ කියන නාට්‍ය දෙකේම විජය අයියා රඟපෑ චරිත මම රඟපානවා. ඒක ජීවිතයේ වෙනම ම අවස්ථාවක්.

විජය නන්දසිරි මහත්මයාගේ චරිත ගැන ප්‍රේක්‍ෂකයෝ මොනවද කියන්නෙ?

ප්‍රේක්‍ෂකයන්ට වෙනසක් දැනෙන්නෙ නැහැ කියලයි කියන්නෙ. ඒ ගොල්ලො ඒ නාට්‍ය කලින් බලපු රසය අඩු වෙනවා නම් ඒක වැඩක් නැහැනේ. ඒ රසය අඩු නොවී තිබෙනවා කියන කෑල්ල තමයි මම සතුටින් විඳින්නෙ.

පැන්ඩෝරාත් රටවටා ගෙනියන්න සූදානමක් තිබෙනවාද?

ඔව්. දැනටමත් අපිට දර්ශන වාර දහයකට විතර ආරාධනා ලැබිලා තිබෙනවා. මංගල දර්ශනය පෙන්වන්න කලින්ම ඒ ආරාධනා ලැබිලා තිබෙනවා. මොකද අපි ගැන විශ්වාස කරන පිරිසක් ඉන්නවානේ. ඔවුන් දැනටමත් ඉල්ලලා තිබෙනවා.

මංගල දර්ශනය කොහේද තියෙන්නෙ?

මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේ නොවැම්බර් මස 04 වැනිදා සවස 3.30 ට සහ 6.30 ට.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment