ජීවිතය ඉහළට, පහළට, දැමිය හැකි නිවසක පඩිපෙළ

334

පසුගිය වසරේ එනම් 2022 දෙසැම්බර් මාසයේ සිදුවූ එක්තරා සිදුවීමක් සමගින් අද වාස්තු ලිපිය ලියන්න හිතුණා. මාගේ බොහොම හිතවත් මේසන් බාස් කෙනකු ඉන්නවා වාස්තු විද්‍යාව ගැන තරමක දැනුමක් තියෙනවා. මෙයා නිතරම ගෙවල්වල දෝෂ සම්බන්ධයෙන් බිත්ති දැමීමේදී අත්තිවාරම් දැමීමේදී මගෙන් අහනවා මෙහෙම හරිනේද නැති නම් මෙහෙම කළහොත් වැරදියි නේද කියලා. ඒක හොඳ දෙයක්. විශේෂයෙන් ම මේසන් බාස් කෙනකු, වඩු බාස් කෙනකු තමන්ගේ වෘත්තිය පිළිබඳව කොතරම් ප්‍රවීණයෙක් වුණත් ඔවුන් අතින් සමහර අවස්ථාවලදී සිදුකර ගන්නා වැරදි නිසා ඇතිවෙන වාස්තු විද්‍යාත්මක දෝෂ ඉවත් කිරීම පවා ලේසි නෑ. කොහොම වුණත් මේසන් බාස් කෙනකුට වඩුබාස් කෙනකුට නිවාස ඉදිකිරීමේ දී සිද්ධ වෙන්න යන වැරැද්දක් ඔවුන්ව දැනුවත් කරලා වෙන්න යන හානිය වළක්වා දීමට අපට පුළුවන්නම් මම නම් එය දකින්නේ මම කරගන්නා කුසලයක් ලෙසයි. සමහර අය වාස්තු ගැන කිසිම අවබෝධයක් නැතිව එහෙම නැති නම් ඒවා බොරු වැඩ ලෙස සලකන අය ද ඕනේ තරම් සිටී. නමුත් නිවසක් ඉදිකිරීම සම්බන්ධ වන මේසන්බාස්, වඩුබාස් මේ සම්බන්ධයෙන් අවබෝධ ඇති අය වුණොත් නිවසක් හදලා ඒ නිවසේ පදිංචි වන අයට සතුට, නීරෝගිකම, පිරිපුන්ව වාසය කිරීමට හැකි වෙනවා. ඉතිං මං කියන මේ මේසන් බාස් එක්තරා නිවසක ඉදිකිරීම් භාරගෙන තිබුණා. මේ නිවසේ හිමිකරුවන් ගොඩක් ධනවත් අය. ඒ වුණාට වාස්තු, ජ්‍යොතිෂය පිළිගන්න කැමති නෑ. මේ නිවසේ නිවාස සැලසුම මට බාස්උන්නැහේ පෙන්නුවා. මේ ස්ථානය වැරදියි නේද මේ උළුවස්ස වැරදියි නේද කියලා එයා මට පෙන්නුවා. ඇත්තෙන්ම නිවාස සැලසුමේ ගොඩක් වැරදි තිබුණා. නිවසේ බාහිර පෙනුම නම් ඉතා ම ලස්සනයි. ඉතිං විශේෂම දෙය නම් මෙම සැලසුමට අනුව නිවසේ බ්‍රහ්ම පාද ලක්‍ෂ්‍යය හරියට ම වැටෙන්නේ නිවසේ පඩිපෙළ පටන් ගන්න තැනමයි. ඒ කියන්නේ පඩිපෙළෙහි බර වැටෙන තැන වළ කපලා තමයි යකඩ කම්බි සම්බන්ධවෙලා කොන්ක්‍රීට් එක දමන්නේ. ඉතිං මේ සම්බන්ධයෙන් මා හිතවත් මේසන් බාස් නිවැසියන්ට කොතරම් පැහැදිලි කළත් ඒ අය ඒක පිළිගන්න කැමති වෙලත් නෑ. කිසිම දෙයක් ඇදලා තිබෙන නිවාස සැලසුම වෙනස් කරන්නත් ඉඩ දෙන්නේ නෑ. ඒ තුළින් නිවසේ අලංකාරයට හානි වෙන නිසා. මගෙන් බාස්උන්නැහේ ඇහුවා “මහත්තයෝ මේක (පඩිපෙළ) දැම්මොත් හොඳ නැද්ද මොකද වෙන්නේ” යනුවෙන්.

“ඕක ඔහොම දැමීමෙන් නිවසේ ගොඩක් දෝෂයන් ලෙඩ දුක්, ධන හානි, ආදායම් අහිමිවීම් ණය වුණොත් ගෙවා ගන්නට බැරි වෙනවා පමණක් නොවේ, ගෘහ හිමියාට ඉතා අශුභයි. හදිස්සි පපුවේ රෝග, හෘද රෝග ඇතිවීමේ අවධානම පවතිනවා.”

“මොනවා කරන්නද මහත්තයෝ ඒ අය කිසි දෙයක් පිළිගන්නේ නෑ. මේ සතියේ පඩිපෙළ කොන්ක්‍රීට් කරනවා.”

මෙසේ පවසා ඔහු එදින නිවසට ගියේ 2023 ජනවාරි 01දා ඔහුගේ ඥාතියකුගේ නිවසක් බලා දෙන්න මට ආරාධනාවක් කරමින් හා 01දා උදේ තමන්ගේ නිවසට පැමිණ ඔහු සමග එතැනින්ම ඔහු කියන නිවසේ වාස්තු පරීක්‍ෂාවට යෑමට කතා කර ගෙනය. ජනවාරි 01දා උදේ 9ට පමණ මම හිතවත් මේසන් බාස්ගේ ගෙදරට ගියේ ඔහු සමග ජනවාරි 01දා වසරේ ප්‍රථම නිවාස පරීක්‍ෂාවටයි. ගෙදරට ගිය සැණින් ඔහු මා ළඟට දිව ආවා ය.

“මහත්තයා මාර වැඩේනේ වුණේ”

“ඇයි”

“මම ඊයේ අර ගෙදර වැඩ ඉවර නිසා 31නේ ගණන් බලලා පඩි ගේන්න ගියා”

“ඉතිං සල්ලි ලැබුණේ නැද්ද?”

“මොන සල්ලි ද මම උදේ යද්දි ගෙදර අයිතිකාරයාට හදිසියේ පපුවේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලේට ගියගමන් මැරිලා නේ.”

දැන් මෙය කියවන ගොඩක් දෙනකු හිතයි මේක බොරුවක් කොහොමද එහෙම වෙන්නේ කියලා. නමුත් සත්‍ය වශයෙන් ම එය සිදුව ඇත. නමුත් කෙනකුගේ උපන් කේන්ද්‍රයේ ජන්ම ඒරාෂ්ඨක අපල තත්ත්වයක දී අපලය මාරක අවස්ථාවක තමන්ගේ නිවසේ වාස්තු දෝෂය ද එක්වුණහොත් ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ අර පවතින අපලය දෙගුණ තෙගුණ වනු ඇත. තම ශරීරයේ පවතින ඕරාවේ පළුදුවීම හෙවත් ඍණ ශක්තිය, නිවසේ ඍණ ශක්තිය එකතු වීමෙන් (නිවසේ දෝෂය නිසා නිකුත් වන්නේ ඍණ ශක්තියකි) දෙගුණ වීමයි. මෙහි සත්‍යතාවය දැනගැනීමට අවශ්‍ය ඕනෑම කෙනකුට මා කී මේසන් බාස්ගේ දුරකථන අංකය දීමට මට හැකිය. කෙසේ හෝ නිවසක පඩිපෙළක් ඉදිකරන විට බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යයට පීඩා වන ලෙසින් පඩිපෙළ ඉදිකිරීම නොකළ යුතුය. එහි අනිසි ප්‍රතිවිපාක කෙදිනක හෝ ලැබෙනු ඇත.

පඩිපෙළ ඉදිකරන දිශාව

නිවසක පඩිපෙළ සම්බන්ධයෙන් පුරාණ වාස්තු ග්‍රන්ථවල කිසිවක් සඳහන් නොවේ. මක්නිසාද වාස්තු විද්‍යාව ආරම්භ කළ ඍෂිවරුන් විසින් වාස්තු ග්‍රන්ථාරූඪ කරන කාලසීමාවේ දෙමහල් නිවාස තට්ටු නිවාස නොපැවති නිසා ය. ලංකාවේදී තට්ටු දමා පඩිපෙළක් ඉදිකළේ දුටුගැමුණු රජ දවසේ එනම් ක්‍රි.ව. 131 ලෝවාමහපාය ඉදිකිරීමත් සමගිනි. නමුත් පසුකාලීනව පරීක්‍ෂණ කටයුතුවලින් ම තහවුරු කරගනිමින් නිවසට අන්තරීය ශක්තිය ගමන් කරන ඊශාන, නිරිත, විශ්ව ශක්ති රේඛාව බාධා නොවන ආකාරයෙන් හා වාස්තු පුරුෂ නිය්‍යා කුල වාස්තු පුරුෂයාගේ හිස මත විශාල බරක් යෙදීම ද වාස්තු දෝෂයට ලක්වීමත්, ඊශාන දිශාව අඳුරු වීමත් යන කරුණු සලකා ඊශාන දිශාගතව නිවසක පඩිපෙළ ඉදිකිරීම අශුභ ගෙන දෙන්නකි යන්න තහවුරු වී ඇත.

උතුරු දිශාව

උතුරු දිශාව ද පඩිපේලියක් සඳහා අශුභ වන්නේ උතුරු බිත්තියට පඩිපෙළ දැමීම තුළිනි. එහිදී උතුරු දිශාව අඳුරුවීම නිසා නිවසට ධනය ලැබෙන මාර්ග අවහිරයට ලක්වේ. මක්නිසා ද උතුරු දිශාව යනු නිවැසියන්ගේ රැකියාව හා රැකියාවෙන් ලැබෙන ආදායම, රැකියාවේ තත්ත්වය නියෝජනය කරන කුවේර දෙවියන්ට හිමි දිශාවයි.

නිරිත දිශාව

බරින් වැඩි දේ නිරත දිශාවට ශුභයි. නමුත් නිරිත දිශාවේ පඩිපෙළ දැමීම නිසා ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවේ ඉදිකිරීමට නොහැකි වීම නිරිතෙහි පඩිපෙළට හේතු වේ.

දිශාවන් අතරින් පඩිපෙළට හොඳම දිශාවන් වශයෙන් වයඹ, බටහිර, නැඟෙනහිර, දකුණ ශුභ වන අතර එහිදී උතුරු, නැඟෙනහිර දිශාව බලා පඩි නඟින ආකාරයට පැවතීම ශුභ බව ද පැවසිය යුතුය. පඩිපෙළ රාත්‍රි කාලයට හොඳින් දර්ශනය වන අයුරින් විදුලි පහන් දමා ආලෝක කළ යුතුයි. පඩිපෙළක පඩි සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් විය යුතු අතර එය දක්‍ෂිණාවෘතව

ගමන් කිරීමට හැකියාව තිබිය යුතුය. වාමවෘතව පඩිපෙළ පැවතීම නිසා අත්තිවාරමෙන් විකර්ණ රෝඛා මතින් පැමිණෙන ශක්ති ධාරාවන් පඩිපෙළ දිගේ ඉහළට ගමන් කරන්නේ ඍණ ශක්තීන් ලෙසයි. එය දක්‍ෂිණාවෘතව පවතිනවිට ධන ශක්තීන් ලෙස ගමන් කරයි.

පඩිපෙළ යකඩ, කොන්ක්‍රීට්, දැවවලින් නිර්මාණය කරයි. මේ අතරින් යකඩ බීම් මත ලී වලින් ඉදිකර ඇති පඩිපෙළ කොන්ක්‍රීට් පඩිපෙළකට වඩා ශුභදායක වේ. දෝෂයන් නොපවතී, පඩිපෙළ සර්පිර්කාර හැඩය හෙවත් ී අකුරේ හැඩයට පැවතීමද අශුභ වේ. ඒ වගේම පඩිපෙළ යට ඇති ඉඩකඩ තුළ බොහෝ ව්‍යාපාර ස්ථානවල මුදල් යකැමි, කැෂියර් කූඩුව දැමීම ආගමික ශාස්තෲවරුන් උදෙසා පිළිම පින්තූර තබා වැඳුම් පිදුම් කිරීම කුමන ස්ථානයක හෝ පවතින පඩිපෙළක් යට පැවතීම ඉතාම අශුභ වේ. සමහර නිවාසවල නාන කාමරය ද පඩිපෙළ යට මේ ආකාරයට පැවතීම ද නිවසට ඉතාම අශුභ දේ. පඩිපෙළ යට අශුභ ශක්තිය වැඩිය. පඩිපෙළට ඍජුව පවතින ලෙසින් නිවසේ ප්‍රධාන දොර පැවතීම නිවසේ ධනය, සමගිය විනාශ කරන වාස්තු දෝෂයකි. ඒ වගේම පඩිපෙළ ප්‍රධාන දොරට උඩින් ගමන් කිරීම ගෘහ හිමියා ආර්ථික, සමාජීය හා අඹු සැමි භේද ගෙන දෙන දෝෂයකි. එපමණක් නොව නිවසේ කිසිම දොරක් කාමරයකට යන හෝ පඩිපෙළ යටින් පැවතීම අශුභ වේ. බොහෝ දෙනකු කරගන්නා තවත් වැරැද්දකි, පඩිපෙළ යට අවකාශය තුළ තම විවාහ ඡායාරූපය දරුවන්ගේ ඡායාරූප තැබීම. පඩිපෙළක් යට පවතින අශුභ ශක්තිය කොතරම් ප්‍රබල ද යන්න මේ ආකාරයට තබා ඇති නිවසක අඹු – සැමි යුවළ අතර මතභේද, දරුවාට ලෙඩ රෝග බහුල කරයි. එසේ තබා ඇති එවැනි හේතුවලට භාජනය වුණ නිවැසියන් සිටී නම් අද ම එම ඡායාරූපයන් ඉවත් කර බලන්න ඔබට දැනේවි ලොකු වෙනසක්.

අවසාන වශයෙන් කිව යුත්තේ පඩිපෙළක කුමන ආකාරයක වාස්තු දෝෂ හටගැනුණ ද එම පඩිපෙළ කඩා බිඳින්න අවශ්‍ය නොවේ. ඕනෑම දෝෂයක් පඩිපෙළ කඩා බිඳින්නේ නැතිව නිදොස් කිරීමේ හැකියාව වාස්තු විද්‍යාව සතුව පවතී. ලී පඩි දැමීම, උපන් නැකතට හිමි වෘක්‍ෂයන් ශුභ හෝරාවක ලී ඇණ ගිල්ලීම වැනි ක්‍රමයන් ඒ අතර වේ.

ජීවිතය ඉහළට, පහළට, දැමිය හැකි නිවසක පඩිපෙළ

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
දුරකථන අංකය- 0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment