හොරෙන් රන් ගෙනා මන්ත්‍රී – ලක්‍ෂ 75 දඩය එවලේම ගෙවා ගෙදර යයි

577

සති දෙකකට උඩදීත් ඩුබායි ගිහින් ඇවිත්

රුපියල් හත්කෝටි අසූදෙලක්‍ෂයක් වටිනා රත්‍රං සහ ජංගම දුරකථන තොගයක් නීති විරෝධී අන්දමින් රැගෙන එමින් සිටියදී ගුවන්තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් රුපියල් ලක්‍ෂ හැත්තෑපහක දඩ මුදලක් ගෙවීමෙන් පසු ඊයේ (24 වැනිදා) අලුයම මුදාහැර ඇත.

අලි සබි්‍ර රහීම් නීති විරෝධී අන්දමින් රැගෙන ආ රුපියල් කෝටි හතහමාරක රත්‍රං සහ රුපියල් ලක්‍ෂ 42ක් වටිනා ජංගම දුරකථන 91ක් රාජසන්තක කිරීමට ද ශ්‍රී ලංකා රේගුව කටයුතු කර තිබිණි.

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් නීති විරෝධී අන්දමින් රත්‍රං සහ ජංගම දුරකථන තොගය රැගෙන විශේෂ අමුත්තන්ගේ මැදිරිය (වීඅයිපී) ඔස්සේ එමින් තිබියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පෙරේදා (22දා) පෙරවරුවේදීය.

පසුව ඒ මහතා රේගු මූලස්ථානය වෙත රැගෙන ගොස් ඊයේ අලුයම වනතුරු විමර්ශන පවත්වනු ලැබීය.

පසුව මන්ත්‍රීවරයාට රුපියල් ලක්‍ෂ 75ක දඩයක් නියම කළ අතර අලුයම් කාලයේදීම ඒ මහතා අදාළ දඩ මුදල ගෙවා දැමීමෙන් පසු නිදහස් කර තිබිණි.

මේ අතර මෙම මන්ත්‍රීවරයා මීට සති කීපයකට උඩදී අවස්ථා දෙකකදීම ඩුබායි රාජ්‍ය වෙත ගොස් (වීඅයිපී) පර්යන්තය ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටව ගොස් තිබූ බව විමර්ශනවලින් හෙළි විය.

මේ සම්බන්ධයෙන් ද රේගුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

රේගු ආරංචි මාර්ග පවසන්නේ මෙම මන්ත්‍රීවරයා මීට පෙර අවස්ථා ගණනාවකදීම මේ ආකාරයට රන්, ජංගම දුරකථන සහ නීති විරෝධී භාණ්ඩ වීඅයිපී පර්යන්තය ඔස්සේ ගෙන එන්නට ඇති බවට සැක පහළ කරන බවයි.
හේමන්ත රන්දුණු, ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment