71 කැරැල්ලට එක්වූ විසිදහසක් පුනරුත්ථාපනයට මහඟු දායකත්වයක් දුන් විද්වතා

257

අද (09) දිනට, සිය 91 වන ජන්ම දිනය සමරණ ලීල් ගුණසේකර ශූරීන්ගේ දිවි මං තලාවේ පියසටහන් ආවර්ජණයට බඳුන් කෙරෙන විශේෂ සටහනකි.

විසිවන සියවස මැද භාගයේදී පළාත් නවයේ පරිපාලනය දිසාපති නිලය දැරූ සිවිල් සේවකයන් නව දෙනකු වෙත පැවරී පැවතිණි. ඒ යුගයේ රජරට අගනුවර වූ අනුරාධපුරයෙහි මහා දිසාපති ධුරය හොබවන ලද්දේ ලීල් ගුණසේකර මහතාය. යොවුන්, කඩවසම් දිසාපතිවරයා, තම ජීප් රිය කලාවැව බැම්ම දිගේ පදවාගෙන යමින් සිටියදී දිය රෙද්දෙන් සැරසී සුරූපී ගැමි ළඳක් වැවේ නිල් දියේ තනිවම නාමින් සිටිනු ඔහු නෙත් ගැටිණි. එම දසුන තරුණ නිලධාරියාගේ සිත කුල්මත් කරනා සුළු විය. තාරුණ්‍යයේ හදවත නිපන් ස්වභාවික ආවේගය පාලනය කර ගැනීමට හේ සමත් විය, පරිපාලකයාගේ පරිකල්පන ශක්තිය පුබුදුවා ලීමට මෙම දසුන සමත්වූ සෙයකි. අපූර්ව කාව්‍යමය සංකල්පනාවක් ඔහු සිය දින පොතේ සටහන් කළේය.

71 කැරැල්ලට එක්වූ විසිදහසක් පුනරුත්ථාපනයට මහඟු දායකත්වයක් දුන් විද්වතා

පනහ හැට දශකයන්හී සිවිල් සේවා සංස්කෘතියේ පැහැදිලි වෙනසක් ඇති කිරීමට පුරෝගාමීවූ නව සිවිල් සේවකයන් අතරෙන් ලීල් ගුනසේකරයන්ට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. ලංකා සිවිල් සේවයේ පැරණි බළකාය ඉංග්‍රීසි පන්නයෙහි ගැලී සිටියහ. කථාව, ලිවීම කළේ ඉංග්‍රීසි බසිනි. ඔවුහු නිති ඇසුරු කළේ ඉහළ පැලැන්තියේ පුද්ගලයන්ය.

පැරණි සිවිල් සේවකයන් පොදු ගැමි සේවා ලාභීන් ගේ ගැටලු, පොදු අවශ්‍යතා සපුරා දීමේ කාර්ය ඉටු කළේ තම යටත් ශ්‍රේණිවල නිලධාරීන් හරහාය. මහජනතාව සමඟ ඍජුව ගනුදෙනු කළේ කලාතුරකිනි. ඔවුන් තම ශීත නිල කාමර වසා තබාගති. ඇතුල්වන ස්ථානයේ මහත් තේජසින් පොදු මිනිසුන් හමුවූයේ ආරච්චි නම් නිල ඇඳුමින් සැරසී සිටි සේවකයක් විසිනි. එවකට ආරච්චිලා, පියන්ලා වන් සුළු සේවකයන් කච්චේරියට එන ගැමි ජනයා හමුවේ තේජස විහිදුවමින් ඔවුන් අපහසු තාවයට පත් කළ අයුරු ලීල් ගුණසේකර දිසාපතිවරයා ට නිරීක්ෂණයවූ සෙයකි.

ලීල් ගුණසේකර මහතා කෑගල්ලට මාරුවක් ලබා පැමිණ, නව දිසාපතිවරයා ලෙස කච්චේරියේ වැඩ භාර ගන්නා විට ඔහුට අවශ්‍ය වූයේ තම නිල කාමරයේ දොර ජනෙල් සියල්ල විවෘතව තැබීමටය. ඒ නැවුම් වාතය ඇතුළු වීමට පමණක් නොව, පොදු මහා ජනතාවගේ අදහස්, අවශ්‍යතා කෙලින්ම තමා වෙත ලබා ගැනීමට නිසි අවකාශයක් මෙමගින් සැලසුනු බැව් හේ වරක් පැවසීය. හතර කෝරළයේ ඉපැරණි සම්මතය වූ ‘ඉර හඳ කොඩිය’ නිල කාමරය ඇතුළත බිත්තියක එල්ලා කෑගල්ලේ අනන්‍යතාව සේවා ලාභීන්ට සිහිපත් කර දුන්නේය. ඉංග්‍රීසියෙන් ලියා තිබූ නාමපුවරු සහ සමරු ඵලක නැවත සිංහලයෙන් ලියවීමට හේ පියවර ගති. අනාදිමත් කාලයක් රෙසිඩන්සි ය ලෙසින් හැඳින්වූ දිසාපති නිල නිවස දිසාපති මන්දිරය බවට පත් වන්නේ නව දිසාපතිවරයාගේ නියමයෙනි.

සල්පිටි කෝරළයේ ජඹුරලිය ලීල් ගුණසේකරයන් ජන්මය ලද ගම් පියස සේ සැලකේ. 1932 දෙසැම්බර් 9 වන දින ලීල් උපත ලබන්නේ හපුතන්ත්‍රීගේ දොන් සරනේලිස් ගුණසේකර මහතා සහ තලගල ආරච්චිගේ දෝන පොඩිනෝනා දෙමහල්ලන් ගේ දූ දරුවන් අට දෙනෙකුගේ පවුලේ හත් වැන්නා ලෙසිනි. ජඹුරලිය මිශ්‍ර පාසලින් මෙම මානවකයා 5 වන ශ්‍රේණිය උසස් අන්දමින් සමත්ව ඩෙන්හැම් ශිෂ්‍යත්වය ලැබ 1943 දී පානදුරේ ශාන්ත ජෝන් විද්‍යාලයට පිවිසීමේ භාග්‍ය හිමිකර ගැනේ. එම වසරේදී පියා ගේ අකල් වියොව නිසා පියාගේ සහෝදරයා ලීල් ඇතුළු දරු කැළ මාතලේ තමන් පදිංචි විඩ්මෝර් කොටේජ් නිවහන වෙත ගෙන්වා ගති. පදිංචියේ වෙනස් වීම මත, ලීල් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත්වේ. එහිදී ඔහු ජ්‍යෙෂ්ඨ විභාගය සමත්වී 1950 දී උසස් පෙළ හැදෑරීම පිණිස ඇතුළත් වන්නේ මහනුවර ශාන්ත සිල්වෙස්තර් විදුහල් සෙවණ වෙතය. 1952 සරසවි පිවිසුම සමත් ලීල් තරුණයාට පේරාදෙණිය සරසවි වරම් හිමිවේ. 1955 දී හේ ශාස්ත්‍රවේදී උපාධිය සමත්වේ. 1956 වසරේදී උපාධිධාරී ගුරුවරයෙක් ලෙසින්, මාතලේ විජය විද්‍යාලයෙන් ඔහු සිය වෘත්තීය ජීවිතය අරඹයි.

1957 වසරේදී ඔහු තමන් යායුතු ගමන් මග නිවැරදිව තෝරාගත යුතු වෘත්තීමය කඩඉමකට ළඟාවේ. එවකට පැවති ඉතා තරගකාරී සහ කීර්තිමත් ලංකා සිවිල් සේවා විභාගයෙන් ඔහු උසස් ලෙස සමත්වේ. ඒ සමඟම ඔහු පෙනී සිටි විදේශ සේවා විභාගයේ ප්‍රතිපල නිකුත් වන්නේ ද ඔහුගේ ජයග්‍රහණය සනිටුහන් කරමිනි. ඔහු හද නිදන්ව පැවති දේශප්‍රේමීත්වය, තම මව්බිමට සේවය කිරීම සඳහා ලංකා සිවිල් සේවයට බැඳීමට ඔහු සිත මෙහෙයවීය. 1957 අප්‍රේල් 25 වන දින සිවිල් සේවා කැඩෙට් නිලධාරියෙක් ලෙසින් මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පුහුණුවට කැඳවනු ලැබිණි. 1957 අගෝස්තු මාසයේදී මන්නාරම කච්චේරියේ සිවිල් සේවා කෙඩෙට් නිලධාරී තනතුරට ඔහු අනියුක්ත කෙරේ. අනතුරුව ඔහු දිස්ත්‍රික් පරිපාලනයේ මන්නාරම, අනුරාධපුර, කෑගල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ජනප්‍රිය දිසාපතිවරයකු ලෙස සේවය කළේය. ඔහු රත්නපුර දිසාපති ලෙසින් රාජකාරියේ නියුක්තව සිටි අවදියේ 1967 ජුනි 29 වන දින විවහප්‍රප්ත විය. ඔහු අතිනත ගත් මනාලිය ඉන්දුමතී වික්‍රමසිංහ මෙනෙවියයි.

සිවිල් සේවය තුළ ඔහුගේ විශේෂීකරණ ක්ෂේත්‍ර වූයේ පරිපාලනය, සමාජ සංවර්ධනය, ප්‍රතිපත්ති සම්පාදනය, සාහිත්‍ය හා සංස්කෘතික කටයුතු සැලසුම් කිරීම, සමාජීය වශයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්හී ප්‍රජා සංවර්ධනයයි.

ලංකා සිවිල් සේවයේ පළමු පන්තියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස ලීල් ගුණසේකර මහතා ආරක්ෂක, විදේශ කටයුතු, යෞවන කටයුතු, සංස්කෘතික කටයුතු සහ සමාජ සේවා වැනි ඉතා වැදගත් අමාත්‍යාංශ කිහිපයක ඉහළ මට්ටමේ තනතුරු දරා ඇත. ශ්‍රී ලංකාව තුළ ගුණසේකර මහතාට පැවරී ඉහළම වගකීම වූයේ, අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ අමාත්‍ය මණ්ඩලයේ ලේකම් ධුරයයි. එහිදී 1971 කැරැල්ලට සම්බන්ධ වූ තරුණ තරුණියන් 20,000කට ආසන්න පිරිසක් පුනරුත්ථාපනය කිරීම පිණිස ඔහු අද්විතීය දායකත්වයක් ලබා දුන් අයුරු අපට සිහිපත්වේ.

රටේ නීතිය හා සාමය නැති වූ අවස්ථාවක, එවකට පොලිස්පතිව සිටි ස්ටැන්ලි සේනානායක මහතා විදේශගතව සිටි කාලය තුළ, සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය, ලීල් ගුණසේකර මහතා පොලිස්පතිවරයා ලෙස පත් කළාය.

ලීල් ගුණසේකර හුදු විශිෂ්ට රාජ්‍ය සේවකයකු පමණක් නොවේ. ඔහු සාහිත්‍ය, සංස්කෘතික, සමාජ සේවා නවෝදයක් උදෙසා මෙන්ම ජනවාර්ගික සංහිඳියාව ස්ථාපිත කිරීම වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කළ ජාතික ප්‍රතිමූර්තියක් සේ ඇගයුමට බඳුන්වේ. 1967 සිට ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් දෙක එක්සත් කිරීම සඳහා දෙමළ ලේඛකයන් ද ඇතුළත් සිංහල ලේඛක සංවිධානය පිහිටුවා සිංහල හා දෙමළ ප්‍රජාවන් අතර වාර්ගික ධ්‍රැවීයතාව යම් දුරකට සමනය කිරීමට ඔහුට හැකි විය. සමාජ සේවා අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලීල් ගුණසේකර මහතා 1982 වසරේ වියානා නුවර පැවති එක්සත් ජාතීන්ගේ වයස්ගත වීම පිළිබඳ ලෝක සමුළුවට සහභාගි විය. ඔහු උත්කෘෂ්ට කථිකයෙක් ලෙසින් දේශීය හා ජාත්‍යන්තරව මහත් සම්භාවනාවට පාත්‍රවූ වියතෙකි. ගැටලුවක් විශ්ලේෂණාත්මක දෘෂ්ටිකෝණයකින් බැලීමට සහ පැහැදිලි කිරීමට අපූර්වතම කුසලතාවයක් නිසඟයෙන්ම ඔහු සතුව පැවතිණි.

වසර 50 ක අඛණ්ඩ සංස්කෘතික සේවය වෙනුවෙන් දේශනේත්‍ර රාජ්‍ය සම්මානය, ක්‍රියාකාරී ජ්‍යෙෂ්ට පුරවැසියා සඳහා වූ ජනාධිපති සම්මානය, සර්වෝදය ජාතික සම්මානය වැනි සම්මාන කිහිපයකින් ඔහු ගෞරවයට පාත්‍ර වී ඇත.

කීර්තිමත් ලේඛකයෙක් ලෙස ඔහු නවකතා තුනක්, කෙටිකතා එකතුවක්, කාව්‍ය සංග්‍රහයක් සහ ළමා පොත් හතක්, පර්යේෂණ අධ්‍යයන වාර්තා රාශියක් රචනා කර ඇත. උතුරු මැද පළාතේ ගැමි ජනතාව පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් වන ‘පෙත්සම’ නවකතාව ඔහුගේ ප්‍රථම ප්‍රබන්ධ කෘතිය වේ.

71 කැරැල්ලට එක්වූ විසිදහසක් පුනරුත්ථාපනයට මහඟු දායකත්වයක් දුන් විද්වතා

“රජ රට වැසියාට සොබා දහම සැපට වඩා දුක ගෙනදේ, වතුර ලැබුනොත් ඔවුන්ගේ කෙත් සරුවේ. පරිසරය පාලනය කර ගැනීමට ශක්තියක් ඔවුන්ට නොමැත. සොබා දහමෙන් මෙන්ම සමාජයෙන් ද ඔවුන්ට නොයෙක් ගැහට විදින්නට සිදුවේ ඒ සමාජයේ ගැමි දරුවකු මගින් පොදු චරිතයක් ඇසුරෙන් මේ කතාව කියවේ.” පෙත්සම පෙර වදනින් ලීල් මෙසේ කතාවේ තේමාව හකුළුවා දක්වයි. පෙත්සම කතාව අවසානයේ ලීල් විසින් ජන කවි ආරට සමීප වෙමින් පබැදු කව්‍යාවලියෙන් ඔහු හද පෙලූ ගැමියාගේ අනන්ත අසරණ දුගී දිවි පෙවෙත ද කදිමට මූර්තිමත් වේ.

අනන්ත අසරණ දිවි පෙවෙතකට උරුමකම් පෑ ගැමියන්ට ලීල් ගුණසේකර මානව හිතවාදී දිසාපතිවරයා ඔවුනගේ ලතැවුල් පිස දමන සිහිල් පවනක් වන්නට ඇතැයි උපකල්පනය වේ. 1962 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී පෙත්සම නව කතාව ගෞරවනීය ජාතික රාජ්‍ය සම්මානය දිනා ගැනීමට සමත් විය.

ලීල් ගේ දෙවන නව කතාව “අත්සනට” කේන්ද්‍රීය වන්නේ ගොවි ජනතාව මුහුණ දෙන භූමියේ ඉඩම් හා සබැඳි ගැටලුය. මෙම කතාවේ සන්දර්භය සරළ ස්වරූපයෙන් විකාශනය වේ. මෙම නව කතාවේ එන, වියළි කලාපයේ ගැමියන්ගේ වහරින් ආභාෂය ලත් යෙදුම් හා උපමා සහෘදයාට සිහි ගන්වන්නේ සද්ධර්ම රතනාවලියේ කතුවරයාගේ උපමා උපමේයන්ය. මං නැතිදා ඔහු අතින් නිර්මාණිත තෙවන නව කතාවයි. අනතුරුව ඔහු සාහිත්‍ය මං තලාවට එක් කරන්නේ කෙටි කතා සංග්‍රහයකි. “ඉර හඳ කොඩියට අධිපති පෙදෙසේ” නම්වූ එම කෙටිකථා සංග්‍රහයෙහි එන කථාවලින්, ගැමි සමාජයෙහි විවිධ පුද්ගලයන්ගේ සංකීර්ණ චරිත ලක්ෂණ කදිමට නිරූපිතය. ඔහු විසින් ලියන ලද “බුහුටිගේ නෑයෝ” ළමා සිත් තුළ කරුණාව, දයාව වඩන සුළු ළමුන් වෙනුවෙන්ම නිර්මිත කෘතියක් ලෙසින් අගය කළ හැකිය. “ත්‍රීකෝණ අරගලය” ලීල් ගුණසේකර ශූරීන් අතින් නිර්මිත, ඔහුගේ ප්‍රතිභාපූර්ණ කවීත්වය මැනවින් ඉස්මතු වන කාව්‍ය සංග්‍රහයකි.

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු දැරූ කීර්තිමත් තනතුරු රැසක් අතරින් හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා ආයතනයේ ඔහු දැරූ ජාතික අධ්‍යක්ෂ තනතුර පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතුය. හෙල්ප්ඒජ් ආයතනය ඵලදායී ලෙස ක්‍රියාත්මක වන සේවා නැඹුරු ගෞරවනීය ආයතනයක් බවට පත් කිරීමට ඔහු සුවිසල් කාර්ය භාරයක් ඉටු කළේය.

ඔහු සිවිල් සේවයට ඇතුළත්වූ මුල් යුගයේ දිසාපති තනතුර හෙබවූ අනුරාධපුරයට සිය විශ්‍රාමික දිවියේදී යළි පා තබන්නට ඔහුට දෛවය විසින් යළි අවස්ථාවක් ලබාදුන් සෙයක් හැඟේ. ඒ රජ රට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයෙන් ඔහු පිදුම් ලැබීම නිසාය.

මහලු විය හා වයස්ගත වීම හා සම්බන්ධ අධ්‍යයනය සේ සැලකෙන වයෝවෘද්ධ විද්‍යාව ඔහු වඩාත්ම ඇළුම් කළ විෂය ක්ෂේත්‍රය සේ සැලකේ. ඔහු සිය 73 හැවිරිදි වියේ දී (2005 දී) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වයෝවෘද්ධ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය දිනා ගත්තේ ඉගෙනීමට වියපත් බව බාධාවක් නොවන බැව් සනාථ කරවමිනි.

කාර්ය කෞශල්‍යය සහ ජන මෙහෙවර තුළින් තම තනතුර බැබළවූ, පරිකල්පන ප්‍රතිභාවයෙන් සිංහල සාහිත්‍ය වංශයේ නොමියෙන සලකුණු තැබූ ලීල් ගුණසේකර ජ්‍යෙෂ්ඨ වියතාණන්ට දිගාසිරි පැතුම්.

ආචාර්ය ගාමිණී කාරියවසම්
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment