වී කිලෝ ලක්‍ෂ ගණන් අස්ථානගත වන රටේ හෙට අනිද්දා වෙනකොට බත් කාලත් හමාරයි

109

උත්සව සමයට හාල් මිල වැඩි කරන්න මෝල් හිමියන් උත්සාහ කරනවා අපි ඉඩ දෙන්නේ නෑ…
පාරිභෝගික අධිකාරියේ වැටලීම් හා විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ සංජය වීරසිංහ

මිල ඉහළ දැම්මොත් පිටරටින් හාල් ගේනවා…
වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු

හාල් වෙළඳාම මාෆියාවක් කරගෙන තියෙන්නෙ මහා පරිමාණ හාල් මෝල් තුනක්…
සුළු පරිමාණ හාල් මෝල් හිමිකරුවෙක්

කුරුණෑගල වී ගබඩා 5 ක රුපියල් කෝටි 70 ක වී තොග අස්ථානගත වෙයි…

පාලන මිල 260 යි ඒත් වෙළෙඳපොළේ කීරි සම්බා මිල 310, 320 යි…

වැඩි මිලට හාල් විකුණුවොත් අය කරන දඩය රුපියල් ලක්‍ෂයේ සිට මිලියන 5 දක්වා ඉහළට…

රජයේ පාලන මිල මෝල් හිමියන් තුට්ටුවකට මායිම් කරන්නෙ නෑ…

බත් ප්‍රධාන ආහාරය බවට පත් වූ මේ රටේ කුඹුරු නැති ප්‍රදේශයක් නොමැති තරම්ය. ඒ කුඹුරුවලින් රටේ ජනතාවට ප්‍රමාණවත් වී අස්වැන්නක් ද ලැබේ. එහෙත් මෙරට වෙළෙඳපොළේ හාල් මිල පාලනය කරගැනීමට රජය තවමත් අපොහොසත් වී සිටී.

පවතින ආණ්ඩුව පමණක් නොව තට්ටු මාරුවට බලයට පත් වූ කිසිදු රජයකට මෙරට හාල් මාෆියාව නැති කිරීමට නොහැකි විය. තිස් වසරක බෙදුම්වාදී ත්‍රස්තවාදය මෙරටින් අතු ගා දැමූ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට ද මෙරට මහා පරිමාණ වී මෝල් හිමියන්ව පාලනය කර රටට පිළලයක් වී තිබෙන හාල් මාෆියාවට විසඳුම් ලබාදීමට නොහැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ රටේ බලයට පත්වන ආණ්ඩු පාලනය කරන තරමට හාල් මෝල් හිමියන් ශක්තිමත් වී සිටිති. හිත්පිත් නැති ඒ ‘හාල් මෝල්ලු’ වෙළෙඳපොළේ හාල් මිල හිතු මතේ වැඩි කරති. රජය විසින් හාල්වලට පාලන මිලක් දැමුව ද ඒ මිලට වෙළෙඳපොළේ හාල් නැත. රජයේ පාලන මිලට වෙළෙඳපොළේ හාල් වෙළෙඳාම සිදු වුණා නම් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට වැටලීම් කිරීමට ඇවැසි නැත.

පාරිභෝගික අධිකාරියේ වැටලීම් හා විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ සංජය වීරසිංහ මහතා පවසන ආකාරයට අංක 2278/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් වෙළෙඳපොළේ අලෙවි කෙරෙන හාල් වර්ග කිහිපයකට පාලන මිලක් නිකුත් කර තිබේ. එම පාලන මිලට අනුව කීරි සම්බා කිලෝවක මිල රුපියල් 260 කි. සුදු, රතු නාඩු කිලෝවක මිල 220 කි. සුදු, රතු සම්බා හාල් කිලෝවක මිල 230 කි. පාලන මිලට වැඩියෙන් එම හාල් වර්ග අලෙවි කිරීමට නොහැකිය. එහෙත් වෙළෙඳපොළේ කිරී සම්බා කිලෝවක් අලෙවි වනුයේ රුපියල් 310 ත් 320 ත් අතර මිලකටය. අනෙකුත් හාල්වල මිල ද පාලනයක් නැත.

“කීරි සම්බා කිලෝව කඩවලට දාන්නෙම රුපියල් 300 ට. අපි 260 ට දෙන්නෙ කොහොමද? ඇත්තම කියලා විශ්වාසවන්ත අයට විතරක් කීරි සම්බා දෙනවා. තොග ඇති වෙන්න තියෙනවා. කිසිම හාලක් පාලන මිලට දෙන්න බෑ. රජයේ පාලන මිල හාල් මෝල් හිමියන් තුට්ටුවකට මායිම් කරන්නෙ නෑ. මේ ගැටලුවෙන් බැට කන්නෙ අපි. පාරිභෝගික අධිකාරිය පැනලා දඩ ගහන්නෙ අපිට…” පිටකොටුවේ සිල්ලර වෙළෙඳසැලක හිමිකරුවෙක් කියන ඒ කතාව ප්‍රදේශ රැසක වෙළෙඳසැල් හිමිකරුවන් කිහිපදෙනෙක්ම අප සමඟ පැවසූහ. ඇතැම් වෙළෙඳසල්වල කීරි සම්බා, සම්බා, නාඩු, කැකුළු සහල් වර්ග තොග ගබඩා කර තිබෙන අයුරු ද අපට පෙන්නුවේය. වෙළෙඳපොළෙන් වාර්තා වන තොරතුරුවලට අනුව කීරි සම්බා, නාඩු, සම්බා කිසිදු හිඟයක් නැත. එහෙත් ව්‍යාජ හිඟයක් නිර්මාණය කරමින් එලැඹෙන උත්සව සමයට හාල් මිල වැඩි කිරීමට හාල් මෝල් හිමියන් සහ තොග ව්‍යාපාරිකයන් වෑයම් කරමින් සිටින බව පාරිභෝගික අධිකාරියේ වැටලීම් හා විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ සංජය වීරසිංහ මහතා වැඩිදුරටත් අප සමඟ පැවසුවේය.

“මෙවර හාල් මිල වැඩි කරන්න අපි ඉඩ දෙන්නෙ නෑ. මෙරට සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක වැටලීම් ඒකක විසිහතරක නිලධාරීන් මේ වනවිටත් වෙළෙඳසල් වටලමින් පාලන මිලෙන් තොරව වැඩි මිලට හාල් විකුණන වෙළෙඳසල්වල හිමිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කටයුතු කරමින් සිටිනවා. අපගේ විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කරන කරුණු අනුව පාරිභෝගික අධිකාරිය පනත යටතේ තනි පුද්ගල ව්‍යාපාරවලට රුපියල් ලක්‍ෂයේ සිට ලක්‍ෂ පහ දක්වා දඩ නියම කිරීමටත්, සමාගම්වලට ලක්‍ෂ 5 සිට මිලියන 5 දක්වා දඩ නියම කිරීමට අධිකරණය විසින් කටයුතු කරගෙන යනවා. ලබන වසරේ ජනවාරි මාසය දක්වා මේ වැටලීම් ක්‍රියාත්මක කරනවා. එක් දිස්ත්‍රික්කයක් තුළ වැඩි මිලට හාල් විකුණන වෙළෙඳසැල් 10 ක් වැටලීමට මම නියෝග කරලා තියෙනවා. අපේ නිලධාරීන් නිවාඩුවක් නැතිව සතියේ දින හතේම රාජකාරි කරනවා. හාල් වැඩි මිලට විකිණීම් වැඩිපුර වාර්තා වෙන්නෙ බස්නාහිර පළාතෙන්. 2023 වර්ෂයේදී පමණක් හාල් සම්බන්ධයෙන් නඩු 2313 ගොනු කරලා තියෙනවා. පසුගිය ඔක්තෝබර් මාසය වෙනකොට පාරිභෝගික අධිකාරිය සිදු කළ සියලුම වැටලීම්වලින් 19525 ක් නඩු ගොනු කර තිබුණා. එම වැටලීම්වලින් කෝටි 21 යි ගාණක දඩ නියම කර තිබෙනවා…” පාරිභෝගික අධිකාරියේ වැටලීම් හා විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ සංජය වීරසිංහ මහතා පවසන ආකාරයට එම ආයතන ද නිහඬව රටේ ජනතාවට දැනෙන සේවයක් සිදු කරමින් සිටී. වෙළෙඳ මාෆියාව සමඟ ඔට්ටු වෙමින් ඔවුන් කරන කැපවීම නොතිබෙන්න වෙළෙඳපොළේ භාණ්ඩ මිල තව ඉහළ යන බව සැබෑය. කුණු ආහාර, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ වෙළෙඳපොළේ ගොඩගැසෙන බව ද සැබෑය. පාරිභෝගිකයන් සූරාගෙන කන කළු කඩ පිළලය තව උඩු දුවන්නේය. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් නිරන්තරයෙන් වැටලීම් සිදු කරන නිසා කීරි සම්බා තොග සඟවාගෙන හිතවතුන්ට පමණක් වැඩි මිලට ලබාදෙන තරමට වෙළෙඳසල් හිමිකරුවන් පාලනය වී සිටීම ගැන පාරිභෝගිකයින් විදිහට අප සතුටු විය යුතුය. එමෙන්ම මිල පාලනයක් පනවා තිබෙන පසුබිමක මිල ඉහළ දැම්මොත් පිටරටින් හාල් අපනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ද පසුගිය දිනෙක මාධ්‍යයට පවසා තිබිණි.

“හාල් සඳහා ලබාදුන්න පාලන මිල ඉක්මවා වෙළෙඳාම් කිරීමට හාල් නිෂ්පාදකයන් සහ වෙළෙන්දන් කටයුතු කරනවා. වැඩි මිලට කරන අලෙවිකිරීම් වැටලීම් කරල නතර කරන්න බැරි වුණොත් පිටරටින් හාල් අපනයනය කරන්න අපට සිද්ධ වෙනවා. පරිභෝගික ජනතාව අසරණභාවයට පත් කරන්න දෙන්න බෑ…” තව මොනව අසරණ කරන්නද? මේ අසරණ වෙලා ඉන්න හරිය මැදෑ… වෙළෙඳ අමාත්‍යවරයාගේ කතාවට මට එසේ සිතිණි. එහෙත් අනුරාධපුරේ සුළු පරිමාණ හාල් මෝල් හිමිකරුවෙක් මෙන්ම අනුරාධපු දිස්ත්‍රික් මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන්ගේ සමුපාකාර සමිතියේ සභාපති පී. සී. ජගත් කුමාර අපට කීවේ මේ දිනවල වී මිල වැඩි වී ඇති බැවින් ඉදිරි මාසවලදී හාල් මිල වැඩිවන බවය.

“මේ දවස්වල නාඩු වී කිලෝව 126, 127 යි. ඒ මිලට වී අරගෙන නිෂ්පාදනය කරන නාඩු හාල් කිලෝවක් 205 ක් විතර මිල වෙනවා. පාලන මිල 220 ක් නිසා වැඩි කරන්න ඕනත් නෑ. ඒත් මහා පරිමාණ හාල් මෝල් අයිතිකාරයො අපි වගෙ හිතන්නෙ නෑ. සෑම අවුරුද්දකම නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී හාල් මිල වැඩි වෙනවා. ඒකට හේතුව මහා පරිමාණ වී මෝල් හිමියො නොවටිනා මිල ගණන්වලට වී තොග එකතු කරනවා. වැඩි මිලක් ලැබෙනකොට ගොවියො අමුවෙන්ම වී ටික දෙනවා. මහා පරිමාණ මෝල්හිමියො වී වේලලා ගබඩා කර ගන්නවා. සුළු පරිමාණ අපි වගෙ මෝල්හිමියන්ට වී ගබඩා කර තබා ගැනීමේ පහසුකම් නෑ. අපි කරන්නෙ වී ගත්තා කෙටුව වෙළෙඳපොළට නිකුත් කළා. මේ වෙනකොට ගොවියො ළඟත් වී නෑ. අපි ළඟත් නෑ. වී තොග තියෙන්නෙ මධ්‍ය, මහා පරිමාණ මෝල්හිමියන් ළඟ විතරයි. ඒ ව්‍යාපාරිකයො තමයි වෙළෙඳපොළේ හාල් මිල තීරණය කරන්නෙ. ඕකට තමයි හාල් මාෆියාව කියන්නෙ. මේ මාෆියාවේ ප්‍රබලව ඉන්නෙ මහා පරිමාණ හාල් මෝල් හිමිකරුවො 3 දෙනෙක් විතරයි. පවතින රජයේ බලධාරීන් වගේම 1977 අවුරුද්දෙන් පස්සෙ මේ රටේ බලයට පත් සියලුම ආණ්ඩු හාල් මාෆියාකාරයන්ට උදව් කළා. ඒ හාල් මෝල්හිමියො එම පාලකයන්ව උපරිමයෙන් සතුටු කළා. ඒ වගේම ඔවුන්ට ලැබුණු දේශපාලන හයියත් සමඟ මේ වෙනකොට රටේ ආණ්ඩු බලයට වඩා බලයක් සහ රටේ ආර්ථිකයට වඩා ආර්ථික ශක්තියක් මහා පරිමාණ හාල්මෝල් අයිතිකරුවන්ට තියෙනවා. ඒත් හාල් මෝල් හිමියන් බහුතරයගේ අදහස ගොවියත් ආරක්‍ෂා වෙන විදිහට 105 ට 110 ට වී මිල තියාගෙන පාරිභෝගිකයන්ටත් සහනයක් ලබාදෙමින් හාල් කිලෝවක් රුපියල් 190 ක් වගේ මිලකට පවත්වාගෙන යෑමයි. මේ මාස දෙකේදී හාල් මිල වැඩි වුණත් ජනවාරි මාසෙ 15, 20 වෙනකොට මිල අඩු වෙනවා. ඉදිරියේදී අලුත් වී තොග එනවා…” ජනතාවගේ දුක දැනෙනුයේ සංවේදී මිනිසුන්ට පමණි. ධනය, බලයෙන් මුසපත් වූ මෝල්ලුන්ට අසරණ ගොවීන්ගේ සහ රටේ පවතින ආර්ථික අහේනිය තුළ පීඩාවට පත් පරිභෝගිකයන්ගේ දුක නොදැනෙති. එහෙත් මෙරට වෙළෙඳපොළේ හාල් මාෆියාවක් කරගෙන සිටින හාල් මෝල් ඇත්තේ අතේ ඇඟිලි ගාණටත් අඩු සංඛ්‍යාවකි.

වාර්තා වන ආකාරයට මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ හාල් මෝල් කාණ්ඩ තුනකි. මහා පරිමාණ හාල් මෝල් තවත් කාණ්ඩ තුනකට බෙදේ. පළමු කාණ්ඩය යටතට අයත් වන මහා පරිමාණ හාල් මෝල් 3 කි. එම හාල් මෝල්වල දෛනික හාල් නිෂ්පාදනය ලක්‍ෂ නවයකට ආසන්නය. දෙවැනි කාණ්ඩයට අයත් මහා පරිමාණ හාල් මෝල් සංඛ්‍යාව 7 කි. එම මෝල්වල දෛනික හාල් නිෂ්පාදනය කිලෝ ලක්‍ෂ 4 ට ආසන්නය. මහා පරිමාණ තෙවැනි කාණ්ඩයට අයත් හාල් මෝල් සංඛ්‍යාව 11 කි. එම මෝල්වල දෛනික හාල් නිෂ්පාදනය කිලෝ ලක්‍ෂ 2 කි. මධ්‍ය පරිමාණ හාල් මෝල් සංඛ්‍යාව 780 කි. එම මෝල්වල දෛනික නිෂ්පාදන ධාරිතාව හාල් කිලෝ 20,000 සිට ලක්‍ෂ 2 අතර ප්‍රමාණයකි. සුළු පරිමාණ හාල් මෝල් සංඛ්‍යාව 1500 කි. එම මෝල්වල දෛනික හාල් නිෂ්පාදනය කිලෝ 4000 සිට 20,000 දක්වා ප්‍රමාණයකි. මේ වනවිට මෙරට බහුලව වී වගා කරනුයේ අම්පාර දිස්ත්‍රික්කයේය. දෙවැනිට වගා කෙරෙන්නෙ අනුරාධපුර දිස්ත්‍රික්කයේය. තෙවැනි තැන හිමිවන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයටය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල බිම් ප්‍රමාණයක වී වගාව සිදු කෙරුණද අස්වැන්න අඩුය. එමෙන්ම අම්පාර, අනුරාධපුරය වී වගාවෙන් ඉදිරියෙන් සිටිය ද මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හාල් මෝල් ස්ථානගත වී ඇත්තේ පොළොන්නරුවේය.

රටේ වී වගාව, හාල් මාෆියාව සහ මේ දිනවල හාල් මිල ඉහළ දැමීමට මෝල්හිමියන්, තොග ව්‍යාපාරිකයන් දරන වෑයම ගැන විවිධ කතා කනවැකෙන පසුබිමක කුරුණෑගල ප්‍රදේශයේ ක්‍රියාත්මක වී අලෙවි මණ්ඩලයට අයත් නිකවැරටිය, පොල්ගහවෙල සහ මහව ඇතුළු තොග ගබඩා පහක වී කිලෝ ලක්‍ෂ 700 ක ප්‍රමාණයක් අස්ථානගතවීමේ සිද්ධියක් වාර්තා විය. එම සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇති බව ද සැල වේ. එමෙන්ම අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් ලක්‍ෂ 7000 ට (කෝටි 70කට) ආසන්නය. එසේ අස්ථානගත වී ඇත්තේ පසුගිය 2020 සහ 2021 වර්ෂවල කන්න කිහිපයකදී වරින්වර මිලදීගත් වී තොග බව ද වාර්තා වේ. එකී වී තොග අස්ථානගත කිරීමට වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන් කිහිපදෙනෙක්ම සම්බන්ධ බව මණ්ඩලයේ සේවකයන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇති බව ද වාර්තා වේ. පොලිසිය සහ අපරාධ විමර්ශන අංශය මගින් පරීක්‍ෂණ කටයුතු කරගෙන යන බව ද වාර්තා වේ.

සුළු හොරකමක් නොවේ. කෝටි 70 ක මහා පරිමාණ හොරකමකි. මේ වී තොග සොරකම් කර ඇත්තේ ගෙවල්වල තබාගෙන ටික, ටික කොටාගෙන හාල් කිරීමට නොවේ. එමෙන්ම මහ රෑට පැමිණ ගබඩාවල ඉබි යතුරු කඩා මෙපමණ වී තොගයක් කර තියාගෙන යෑමට ද නොහැකිය. එය සැලසුම්සහගත සොරකමකි. මොනයම් හෝ හේතුවක් මත මේ සොරකම හෙළි වෙන්න මීට පෙර අදාළ වී ගබඩා තුළ තිබෙන වී තොග කොපමණ ප්‍රමාණවලින් අස්ථානගත වී ඇතිද යන්න සිත තුළ උපදින්නේ සැකයකි. එමෙන්ම දුර ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී තොග පොළොන්නරුවේ හාල් මෝල්වලින් මිලදී නොගන්නා බව ද වාර්තා වේ. එවැනි පසුබිමක අස්ථානගත වී ඇති වී තොග අරක්කු, බියර් නිෂ්පාදන කර්මාන්තශාලා තුළට අන්තර්ස්දාන වූවේ ද යන්න සැක පහළ වේ.

එමෙන්ම වී තොග අස්ථානගත කළ සොරකම අන්තර්දාසනවීමට තිබෙන ඉඩ ද වැඩිය. ඒ මේ සොරකම යට ඉහළ නිලධාරීන් මෙන්ම දේශපාලනඥයන් ගෑවි සිටිනවාට සැක නැති බැවිනි. එවැනි අදිසි හස්ත ක්‍රියාත්මක නොවෙන්න මෙවැනි දැවැන්ත සොරකමක් කිරීමට නොහැකිය. එමෙන්ම මේ වී තොග සොරකමෙන් සිදුවන අලාභයේ ප්‍රතිඵලය ද හාල් මිල වැඩිවීමෙන් ද බඩ ට වදිනුයේ මේවාට සම්බන්ධ කම්බ හොරුන්ට සහ මාෆියාකාරයන්ට නොවේ, මේ රටේ අසරණ ජනතාවටය.

අපට දුක බත් ප්‍රධාන ආහාරය වූ රටක මාෆියාකාර හාල් මෝල්ලු සමඟ ඩීල් දාන දේශපාලනඥයන් සමඟ ජීවත්වීමට ලැබීම ගැනය. තම දරුවන්ට බත් වේලක් ලබාදීමට දුක්විඳින මිනිසුන් ගැනය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment