ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා රග්බි ආසියානු ඔලිම්පික් ධජයෙන්

138

ආසියානු ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා රග්බි සෙවන්ස් කණ්ඩායම ආසියානු ඔලිම්පික් ධජය යටතේ සහභාගී වීමට නියමිත බව ආසියානු ඔලිම්පික් කවුන්සිලය සඳහන් කර සිටී.

ඒ අනුව මෙවර තරගාවලියේදී ‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම තරග වදින අතර එම කාණ්ඩය නියෝජනය කරන අනෙක් කණ්ඩායම් වන්නේ දකුණු කොරියාව සහ චීන තායිපේය.

ශ්‍රී ලංකා රග්බි සෙවන්ස් කණ්ඩායම (Olympic Council of Asia- OCA) ලෙස තරගාවලි කාලසටහනට එක් වී ඇත. ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට ජාත්‍යන්තර තහනමක් පනවා ඇති හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙසේ ආසියානු ඔලිම්පික් ධජය යටතේ තරග කිරීමට අවස්ථාව සලසා දී ඇත. චීනයේ හැංශුයි හි දී මේ මස අවසානයේදී 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සුදු, කහ සහ තැඹිලි වර්ණවලින් සැදුම්ලත් ආසියානු ඔලිම්පික් බැනරය යටතේ තරගාවලියේ සමාරම්භක උත්සවයට සහභාගී වන අතර කණ්ඩායම පදක්කමක් ලබා ගන්නේ නම්, පදක්කම් පිරිනැමීමේදී ආසියානු ඔලිම්පික් කවුන්සිල ගීය වාදනය කෙරේ.

ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ අතර ඒ පිළිබඳව අවධානය යොමු කළ ආසියානු රග්බි විධායක කමිටුව මෙම තීරණයට එළැඹිය. ශ්‍රී ලංකා රග්බි පරිපාලකයෝ සහ ආසියානු රග්බි ප්‍රධානීන් අතර රැස්වීම් සහ සාකච්ඡා රැසක් මේ සම්බන්ධයෙන් පැවැත්විණි.

ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරග සැප්තැම්බර් 24 සිට 26 දක්වා පැවැත්වීමට නියමිතය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment