හැමිල්ටන් බැංකුවට අදාළ ගනුදෙනුව ගැන විධිමත් පරීක්‍ෂණයක් වහාම ඕනෑ – පාඨලී ඉල්ලයි

275

ඇමරිකානු හැමිල්ටන් රිසර්ව් බැංකුව (HRB) ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරීම සහ එම බැංකුව රාජපක්ෂ – කබ්රාල් සමග ඇති කරගත් ගනුදෙනුව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් මහ බැංකු අධිපතිවරයා සහ මුදල් ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (12 වැනිදා) ‘දිවයින’ ට පැවසීය.

එම බැංකුව සතුව මෙරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250කට වඩා ඇති බවත් එහි මූලික මුදල් හා පොලී සම්පූර්ණයෙන් ගෙවන ලෙස ඉල්ලා නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය හමුවේ ජුනි මාසයේදී නඩුවක් ගොනු කර ඇති බවත් හෙතෙම කීවේය.

මෙකී බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මතුව ඇති සැකය හේතුවෙන් එකී නඩුව සඳහා ඇමරිකානු ආණ්ඩුව ද මැදිහත්ව ඇති බවත් රණවක මහතා කීවේය. අදාළ බැඳුම්කර මිලදී ගැනීමේදී හැමිල්ටන් බැංකුවේ නියෝජිතයකු මෙරට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ යම් එකඟතාවකට පැමිණීම පිළිබඳ වාර්තාවක් අන්තර්ජාතික ෆයිනෑන්ෂල් ටයිම් පුවත්පත වාර්තා කර ඇති බව ද හෙතෙම කීවේය.

මෙම බැඳුම්කර ද්විතීය වෙළෙඳපොළ තුළ ලබා ගත්තේ කිනම් මුදලකට යන්න පිළිබඳව මහ බැංකුව උත්තර දිය යුතු යැයි ද මෙරට ජනතාවට ඉන්ධන, විදුලිය, බෙහෙත් නැති කර හෝ ඉතුරු කරගත් ඩොලර්වලින් මෙම බැඳුම්කරය කෙසේ හෝ ගෙවන බවට එකඟතාවකට පැමිණ තිබුණාද, එබැවින් මෙම බැඳුම්කර එම බැංකුව මිලට ගත්තා ද, එයින් කෙතරම් කොමිස් මුදලක් අප රටේ අයට ලැබුණේ ද යන්න සම්බන්ධයෙන් යුක්ති සහගත පරීක්ෂණයක් අවශ්‍ය බව ද පාඨලී මන්ත්‍රීවරයා කීවේය.

2022 වසරේ මාර්තු මස ඩොලර් මිලියන 500 ක මෙවැනිම ආකාරයේ බැඳුම්කරයක් පියවා දැමීම පිළිබඳ සැකයක් මතුවන බවත් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment