මහජන උපයෝගිතා කොමිසම රටට කරන්නේ විශාල පාඩුවක්

312

ජලාශ පිරුණත් විදුලි කප්පාදුව දිගටම – විදුලි ඉංජිනේරුවෝ කියති

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට පනහකින් පමණ පිරී ගියත් විදුලි කප්පාදුව දිගටම සිදුකිරීමට වන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවරු කියා සිටිති.

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ යෑම නිසා ජල විදුලි නිෂ්පාදනය යම් පමණකට ඉහළ දැමීමට හැකි වී තිබුණත් ඉක්මණින් ම ජලය අවසන් වන බව ද ඔවුහු කියා සිටිති.

මේ මොහොතේ ඩීසල් මගින් විදුලිය ජනනය කර විදුලි අවශ්‍යතා පිරිමසා ගැනීමට යෑමෙන් රටේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර වන බවත්, හොඳම දේ ජනතාවට සත්‍ය හෙලිකර දිනකට පැය කිහිපයක් විදුලිය කපා දැමීම බවත් ඔවුහු කියා සිටිති.

ඩීසල් ලීටරයක් මේ වනවිට රුපියල් 400ක් දක්වා ඉහළ යෑම නිසා ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කිරීමට විශාල මුදලක් වැය වන බව ද ඉංජිනේරුවරු පවසති.

එක් ඩීසල් ලීටරයක් පුච්චා නිපදවා ගත හැක්කේ විදුලි ඒකක 4ක් පමණි. මීට පෙර වසරවලදී කලින් කරන ලද සැලසුම්වලට අනුව ජනතාවට දන්වා දිනකට අවශ්‍ය පරිදි විදුලිය කපාහැරිය ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, එම කොමිසම වෙත ලැබී තිබෙන බලතල භාවිතා කරමින් රටට විශාල ආර්ථික පාඩුවක් සිදුකරමින් විදුලිය කපන කාලය වෙනස් කරන බව ද ඉංජිනේරුවරු පෙන්වා දෙති.

මෙසේ හිතුමතේ ක්‍රියාකරමින් කටයුතු කිරීමෙන් මුළු රටම දැනටත් වඩා මූල්‍ය අර්බුදයකට යන බව ද ඔවුහු කියා සිටිති.

සාම්පූර් ගල් අඟුරු බලාගාරය (මෙගාවොට් 500) සහ යෝජිත විදුලි බලාගාර ඉදිකිරීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම හා ඇතැම් පාලකයන් මෙම විදුලි අර්බුදයට සම්පූර්ණයෙන් වගවිය යුතුව ඇතැයි ද විදුලිබල මණ්ඩල ඉංජිනේරුවරු තවදුරටත් කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment