රැකියා විරහිත උපාධිධාරී පෝළිම පිළිබඳ සමාජයේ තිබෙන්නේ වැරදි මතයක් – මහාචාර්ය පේ‍්‍රමකුමාර ද සිල්වා

523

2021 වසර ශ‍්‍රී ලංකාවේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා විෂයයන් පිළිබඳ උසස් අධ්‍යාපනයේ සියවස් සැමරුම සනිටුහන් කරයි. මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා විෂයයන් පිළිබඳ විධිමත් උසස් අධ්‍යාපනය ආරම්භ වූයේ 1921 ජනවාරි 21 වැනිදා යුනිවර්සිටි කොලීජිය  (University College)  කොළඹ විද්‍යාල මන්දිරයේ පිහිටුවීමත් සමඟ ය. මෙම ශත සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන ශාස්ත‍්‍රීය සම්භාෂණ වැඩසටහන් මාලාවන් රැුසක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා ස්ථාවර කමිටුව විසින් සංවිධානය කරනු ලැබීය. ඒ අනුව රාජ්‍ය නායකයන් සහ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා ක්ෂේත‍්‍රවල නිරත විද්වතුන්ගේ සහභාගිත්වයෙන් හා දායකත්වයයෙන් සියවස් සැමරැුම් සම්භාෂණ සමාරම්භ උළෙල මෙම මස 20 වැනි දින සහ ශාස්ත‍්‍රීය සම්මන්ත‍්‍රණය 21 වන දිනයේ දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වේ. සියවසක ගමන් මඟ තුළ ශ‍්‍රී ලාංකීය මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා විෂයන්ගේ අනාගත අභිවර්ධනය සහ එම විෂයන්ගේ ඉදිරි දැක්ම පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ මානව ශාස්ත‍්‍ර සහ සමාජීය විද්‍යා ස්ථාවර කමිටුවේ සභාපති මහාචාර්ය පේ‍්‍රමකුමාර ද සිල්වා මහතා සමඟ සිදු කළ සාකච්ඡුාවේ සටහන මෙසේ ය.

 ප‍්‍රශ්නය: උසස් අධ්‍යපන ක්ෂේත‍්‍රයේ මානව ශාස්ත‍්‍ර සහ සමාජිය විද්‍යා විෂයන් ඉගැන්වීමේ අවශ්‍යතාව ඔබ දකින්නේ කොහොම ද?

 පිළිතුර: විශ්වවිද්‍යාල ආරම්භයේ සිටම මානව ශාස්ත‍්‍ර සහ සමාජීය විද්‍යා විෂයන් ඉගැන්වීම පිළිබඳ තිබුණේ විශාල උනන්දුවක්. සමස්ත ලෝකයේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ මෙම විෂයන් සුවිශේෂී ඥාන ශාඛාවන් ලෙසින් ගොඩනැඟිලා තියෙනවා. ඒ නිසා මානව ශාස්ත‍්‍ර සහ සමාජීය විද්‍යා විෂයන් සඳහා ලෝකයේ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ලොකු ඉඩක් වෙන්වෙලා තියෙනවා දකින්න පුළුවන්. එම විෂයන් පුළුල් ක්ෂේත‍්‍රයන් ගණනාවක පැතිර පවතිනවා. විශ්ව විද්‍යාලවල මිනිස් චර්යාවන්, මිනිස් ක‍්‍රියාකාරකම්, ලෝකය වෙනස් කිරීම සඳහා මිනිසුන්ගේ සංකල්පනා පිළිබඳව අධ්‍යයනය කරන්නට මෙම විෂයන් ඉතාමත් වැදගත් වෙනවා. මම හිතන ආකාරයට මෙම විෂයන් ඉගැන්වීම හරහා මිනිස් පැවැත්ම පිළිබඳ අධ්‍යනයට අද වගේම හෙටටත් ඵලදායී මෙහෙවරක් ඉටු කරනවා. ඒ නිසා විද්‍යා විෂයන් තරමටම මානව ශාස්ත‍්‍ර සහ සමාජ විද්‍යා විෂයන් සඳහා උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සුවිශාල වටිනාකමක් හිමි වෙනවා.

 ප‍්‍රශ්නය: මේ විෂයන් හදාරන විද්‍යාර්ථින්ට වර්තමානයේ පවතින ගැටලූ සහ අභියෝග වගේම ඒවාට විශ්වවිද්‍යාලය මට්ටමින් ගෙන තිබෙන විසඳුම් මොනවා ද?

 පිළිතුර: විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවල මානව ශාස්ත‍්‍ර සහ සමාජීය විද්‍යා අධ්‍යාපනය ලබන විද්‍යාර්ථින් ලබා ගන්නා උපාධියේ ගුණාත්මකභාවය පිළිබඳව සහ උපාධිය ලබා ගැනීමෙන් පසු රැුකියාවකට පිවිසීමට තිබෙන අවකාශය සම්බන්ධයෙන් සුවිශේෂ ගැටලූ සමාජය විසින් මතු කරලා තිබෙනවා. වෙනත් විදියකට කියනවා නම් රැුකියා විරහිත උපාධිධාරීන් කලා විෂය ක්ෂේත‍්‍රවලින් ගොඩනැෙඟනවා කියන අදහස. නමුත් මෙතන තියෙන ප‍්‍රශ්නය තමයි රැුකියා විරහිත උපාධිධාරීන් කියන කණ්ඩායම මානව ශාස්ත‍්‍ර සහ සමාජීය විද්‍යා පාඨමාලාවන්වලින් විතරක් නෙමේ වෙනත් පාඨමාලා හදාරන විද්‍යාර්ථියන් තුළත් දකින්න පුළුවන් වීම. එතකොට අපි මෙහිදී සැලකිලිමත් විය යුතු දෙයක් තමයි මානව ශාස්ත‍්‍ර සහ සමාජීය විද්‍යා උපාධි ලබා දීමේ දී අභ්‍යන්තර උපාධි සහ බාහිර උපාධි ලෙස කොටස් දෙකක් තියෙනවා. එතකොට මේ බාහිර උපාධි උපාධිධාරීන්ට අභ්‍යන්තර උපාධිධාරීන්ට ලැබෙන ආකාරයේ පුහුණුවක්, ශිල්පීය ඥානයක්, ඥාන විභාගයක් ලැබෙන්නෙ නෑ. එතකොට මේ රැුකියා විරහිත උපාධිධාරී පෝළිමට බහුල වශයෙන් ම එක්වෙන්නේ බාහිර උපාධි හැදෑරූ ශිෂ්‍යයන්. ඒක ඒ ශිෂ්‍යයින්ගේ ප‍්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඒ ශිෂ්‍යයන්ට ලබා දෙන උපාධිය තුළ අභ්‍යන්තර විද්‍යාර්ථියන්ට ලැබෙන උපාධියේ මෙන් පුහුණුවක් ලැබෙන්නේ නැහැ. නිදසුනක් විදියට ගත්තොත් අභ්‍යන්තර විද්‍යාර්ථියින් පූර්ණ කාලීනව පාඨමාලා හදාරන අතරතුර පර්යේෂණ සිදු කරනවා, පර්යේෂණ නිබන්ධන රචනා කරනවා. ඒ වගේම ඉදිරිපත් කිරීම් සිදු වෙනවා, පැවරුම් ලබා දෙනවා, ක්ෂේත‍්‍ර පර්යේෂණවලට රැුගෙන යනවා. මේ වගේ විශාල පුහුණුවක් උපාධි කාලසීමාව තුළ ඔවුන්ට ලැබෙනවා. නමුත් බාහිර ශිෂ්‍යයන්ට එවැනි විධිමත් පාඨමාලාවන් විශ්වවිද්‍යාල විසින් පවත්වන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට උපාධිය තුළ ලැබෙන නිපුණතාව අහිමි වෙලා යනවා. ඒ සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මූලික වශයෙන් දැනට පවත්වන බාහිර උපාධි පාඨමාලා සංශෝධනය කරලා ඔවුන්ටත් අභ්‍යන්තර ශිෂ්‍යයන්ට වගේම ලැබිය යුතු මූලික නිපුණතාවන් ලබා දීමට අවශ්‍ය කරන පියවර ගෙන තිබෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ඉංග‍්‍රීසි භාෂාව සම්බන්ධයෙන් තිබෙන ගැටලූව සඳහා අනිවාර්යයෙන් උපාධිය සඳහා ලැබිය යුතු ඉංග‍්‍රීසී භාෂා මට්ටම ලබා දීමට සහ පරිගණක දැනුම ලබා දීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඔවුන්ගේ උපාධියේ ගුණාත්මකභාවය වැඩි කරන්න ජනප‍්‍රිය විෂයන් හැදෑරීම පමණක් නොව සෑම ක්ෂේත‍්‍රයක්ම ආවරණය වන පරිදි විෂයන් විවිධාංගීකරණය සිදුකර තිබෙනවා. ඒ වගේම අභ්‍යන්තර විද්‍යාර්ථීන් මෙන් දෙගුණයක් ලෙසට බාහිර උපාධි සඳහා සිසුන් බඳවා ගැනීම යම්කිසි මට්ටමකට සීමා කරලා තියෙනවා. ඒ වගේම තමයි අභ්‍යන්තර විද්‍යාර්ථීන් උපාධිය ලබා ගෙන රැුකියා වෙළඳපොළට යන විට ඔවුන්ගේ පරිගණක ඥානය සහ ඉංග‍්‍රීසී භාෂා, ජීවන කුසලතා, ව්‍යවසායකත්ව කුසලතා පිළිබඳ නිපුණතාව ඉතාමත් වැදගත්. ඒ සඳහා විශ්වවිද්‍යාල මට්ටමින් පාඨමාලා මෙහෙයවීමේ දී අදාළ නිපුණතා සම්පූර්ණ වන විෂය කොටස් අනිවාර්ය කරලා තියෙනවා. අදට ගැළපෙන ලෙස පාඨමාලා කොටස් සංශෝධනය කර නව විෂය කොටස් හඳුන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම මෑතකදී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සෑම විශ්වවිද්‍යාලයක ම මෙම පීඨයන් සඳහා පරිගණක අධ්‍යනාංශයන් ආරම්භ කර ඒවාට අවශ්‍ය භෞතික සහ මානව සම්පත් ලබා දීලා තියෙනවා. ඒ නිසා ලෝකයේ නව ප‍්‍රවණතාවන් හඳුනා ගනිමින් ඉදිරියට යන විද්‍යාර්ථින් ගොඩනැගීමට අපිට හැකි වෙලා තියෙනවා කියලා මම හිතනවා.

 ප‍්‍රශ්නය: මෙම සියවස් සැමරුම වෙනුවෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා ස්ථාවර කමිටුව විසින් සංවිධානය කළ ශාස්ත‍්‍රීය සම්භාෂණ වැඩසටහන් මාලාව පිළිබඳ යම් සඳහනක් කළොත්?

 පිළිතුර: අපි මේ වෙනුවෙන් ලංකාවේ සියලූ විශ්වවිද්‍යාලවල මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයන් ආවරණය වන අයුරින් මෙම විෂයන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් වැඩසටහන් රැුසක් ක‍්‍රියාත්මක කළා. ඒ අනුව සියලූම විශ්වවිද්‍යාලවල මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨවලට අදාළ විෂයයන් වගේම සෙසු විෂයයන් ලෙස සැලකෙන කළමනාකරණ, වාණිජ විද්‍යා, අධ්‍යාපන, නීතිය, පුස්තකාල අධ්‍යයන, ප‍්‍රාසාංගික හා දෘෂ්‍ය කලා ද ඇතුළත් වන පුළුල් විෂයීය එකතුවක් සහිත වෙළුම් දෙකකින් සමන්විත ග‍්‍රන්ථයක් සම්පාදනය කළා. මෙය ශාස්ත‍්‍රීය වශයෙන් ඉතාමත් වටිනා අවස්ථාවක් විදියට සලකන්න පුළුවන්. ඒ වගේම මෙම විෂයන්ගේ පර්යේෂණ ක්ෂේත‍්‍රය මූලික කර ගනිමින් උපාධිධාරීන්ගේ රැුකියා වියුක්තියට විසඳුම් සෙවීම සඳහා කරන ලද සමීක්ෂණ වාර්තාව එළිදැක්වීම සිදු කරනු ලැබුවා. මෙයත් සුවිශේෂී කරුණක්. ඊට අමතරව සියවස් සැමරුම් වෙබ් අඩවිය හා ලාංජනය එළිදැක්වීම, සියවස් අධ්‍යාපනය පිළිබඳ සැකසූ වාර්තා වැඩසටහන ඉදිරිපත් කිරීම ඇතුළු වැඩසටහන් රාශියක් මෙම සියවස් සැමරුම් උත්සවයට ඇතුළත් වෙනවා. මෙම ශාස්ත‍්‍රීය කථිකාවත හරහා බලාපොරොත්තු වන අපේ ප‍්‍රමුඛ අපේක්ෂාව තමයි සමස්ත ලෝකයම දැඩි වසංගත අර්බුදයකට මුහුණ දෙන පසුබිමක උසස් අධ්‍යාපනයේ මානව ශාස්ත‍්‍ර සහ සමාජ විද්‍යා විෂයන් සඳහා නවමු ආකාරයේ මඟ පෙන්වීමක් ලබා දීම.

 ප‍්‍රශ්නය: ඒ වගේම අපි දකින දෙයක් තමයි ලෝකයේ බොහෝ රටවල්වල රාජ්‍ය හා දේශපාලන තන්ත‍්‍ර විසින් විද්‍යා හා තාක්ෂණික පැතිකඩයන්ගේ දියුණුවට මුදල් වෙන් කරලා සහයෝගය දක්වනවා වගේම මේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා, භාෂා විෂය ක්ෂේත‍්‍ර සඳහා ද විශාල සහයෝගයක් ලබා දෙනවා. මේ රටවල්වලට සාපේක්ෂ ව අපේ රට තුළ මේ විෂයන්වලට ලබා දෙන රාජ්‍ය හා දේශපාලන සහයෝගය මොන වගේ ද?

 පිළිතුර: එය අතිශය වැදගත් ප‍්‍රශ්නයක්. සාමාන්‍ය රටේ තිබෙන පොදු මතය තමයි මානව ශාස්ත‍්‍ර සහ සමාජීය විද්‍යා අධ්‍යයනය කිරීම වැඩක් නැහැ කියන කාරණාව. නමුත් අද ලෝකයේ විද්‍යා විෂයන්වලට වඩා මෙම මනුෂ්‍යයා පිළිබද හදාරන මානව ශාස්ත‍්‍ර සහ සමාජීය විද්‍යා හැදෑරීමේ වැදගත්කම පිළිබඳ නව කථිකාවතක් ඇති වෙලා තිබෙනවා. ඉතින් එම ක්ෂේත‍්‍රයන් පිළිබඳ අපි වඩාත් නම්‍යශීලී සහ ප‍්‍රගතිශීලී විදියට බැලිය යුතුයි. ලෝකය තාක්ෂණික විෂයන්ට මෙන්ම මෙම අධ්‍යයන ක්ෂේත‍්‍රයන් සඳහා ඇති වී තිබෙන මෙම උනන්දුව නව ප‍්‍රවණතාවක් විදියටයි මම දකින්නේ. ඒ නිසා අපිත් ඒ මඟට පිවිසෙන්න ඕන. ඇත්තෙන් ම අප රටවල් තුළ රාජ්‍ය තන්ත‍්‍රයන් මේ වෙනුවෙන් මුදල් ආයෝජනය කරනවා අඩුයි. මේ විෂයන්වලින් තමයි ලෝකය ගමන් කළ යුතු ආකාරය ගැන නව සංකල්ප, අදහස්, දාර්ශනික මත මතුවෙන්නේ සහ ලෝකයේ ගැටලූ සම්බන්ධ විසඳුම් මතු වෙන්නේ. ඒ නිසා ඉදිරියේ දී මෙම විෂයන් සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් සහ කථිකාවතක් ගොඩනැඟීම අත්‍යවශ්‍යයි.

 ප‍්‍රශ්නය: මේ සියවස් සැමරුමේ දී ඔබට විද්‍යාර්ථින්ට ලබා දීමට තිබෙන පණිවුඩය කුමක් ද?

 පිළිතුර: අපේ රටේ මානව ශාස්ත‍්‍ර සහ සමාජීය විද්‍යා හදාරන විද්‍යාර්ථින්, උපාධිධාරීන් සහ පර්යේෂකයන්ට මට දීමට ඇති පණිවිඩය තමයි මෙම ක්ෂේත‍්‍රයන් ආශ‍්‍රිතව පර්යේෂණ කිරීමට සහ ඒවා පළකිරීමට ඔබේ උනන්දුව අත්‍යවශ්‍ය කාරණාවක් කියන එක. ඒ වගේම ජාතික සහ ජාත්‍යන්තර භාෂාවලින් සිදු කරන මෙම පර්යේෂණ රටේ ප‍්‍රතිපත්ති සම්පාදන කටයුතු සඳහා පාදක කර ගැනීමට ඔබ උනන්දු විය යුතු යි. සියවසක් සපිරෙන මේ මොහොතේ අපේ රට ජාත්‍යන්තර තලයට ගෙන යන බුද්ධිමතුන්, විද්වතුන් මේ විෂය ක්ෂේත‍්‍රයන්ගෙන් තවදුරටත් බිහි කිරීම ඉතාමත් වැදගත් වෙනවා. එය ජාත්‍යන්තර මට්ටමෙන් රටට කීර්තියක් ලබා දීමෙහි ලා ඔබේ දායකවීමක් ලෙසින් සැලකිය හැකියි.

රැකියා විරහිත උපාධිධාරී පෝළිම පිළිබඳ  සමාජයේ තිබෙන්නේ වැරදි මතයක් - මහාචාර්ය පේ‍්‍රමකුමාර ද සිල්වා


නෙතුනි බටදූව ආරච්චි
 ජනමාධ්‍ය අධ්‍යනාංශය
 ශ‍්‍රීපාලි මණ්ඩපය
 කොළඹ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment