නව දූෂණ විරෝධී පනතට අනුව ජනපතිත් වත්කම් බැරකම් දිය යුතුයි

127

කෙටුම්පත් කර ඇති නව දූෂණ විරෝධී පනත හරහා ජනාධිපතිවරයාට ද සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සිදුවන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය.

දූෂණ විරෝධී නව පනත කෙටුම්පත් කර ගැසට් කිරීම සඳහා යොමුකර ඇති බවද ඇමැතිවරයා ඊයේ (30දා) පැවති උත්සව අවස්ථාවකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

ලිංගික අල්ලස් ඉල්ලීම, ලබාගැනීම අල්ලස් පනත යටතේ දූෂණය යන චෝදනාවට ඇතුළත්ව ඇති නිසා ඊට එරෙහිව අල්ලසට දූෂණයට එරෙහි කටයුතු කරන්නන් ආරක්‍ෂා කිරීමටත් මෙම පනත මගින් ප්‍රතිපාදන සැකසී ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

දූෂණ විරෝධී නව පනත මගින් දැනට පවතින බලතලවලට වඩා වැඩි බලයක් ලබාදී ඇති නිසා ඒ පිළිබඳව ජනතා විශ්වාසය අලුතින් ඇතිවනු ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

කොමිෂන් සභාවේ ස්වාධීනත්වය, මූල්‍ය කටයුතු සහ පරීක්‍ෂණ කටයුතු සම්බන්ධ ස්වාධීනතාවය නව පනත හරහා ලබාදී ඇති බවත්, පැමිණිල්ලක් ඇතිව හෝ නැතිව දූෂණයන් සම්බන්ධව ලැබෙන තොරතුරු පිළිබඳ පරීක්‍ෂණ කිරීමට මෙම පනත මගින් අවස්ථාව ලැබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම කොමිෂන් සභාවට විශ්‍රාමික නිලධාරීන් පත් කිරීමට කටයුතු නොකරන බවත් වගකීමෙන් යුතුව කටයුතු කළ හැකි සක්‍රීය සේවයේ යෙදී සිටින ජවයක් ඇති වැඩ කළ හැකි කොමසාරිස්වරුන් පත්කිරීම සඳහා නව පනතින් ප්‍රතිපාදන ලබාදී ඇති බවත් ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment