අලුත් ත්‍රස්ත පනත සතියක් ඇතුළත – මහෙස්ත්‍රාත් අවසරය නැතිව දින 60ක් රඳවා ගන්න අවසර – විදෙස් ඇමැති අලි සබ්‍රි

137

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සකස් කළ ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි සතිය ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.

මෙම නව පනතෙන් මහෙස්ත්‍රාත්වරයකුගේ අවසරයකින් තොරව දින 60ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට හැකියාව ඇති බවත් ඔවුන් රඳවා තබා ගත හැක්කේ නීත්‍යනුකූලව රඳවා තබා ගැනීමට අවසරය ඇති මධ්‍යස්ථානවල පමණක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය. එසේම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධව පැය 48ක් ඇතුළත මහෙස්ත්‍රාත්වරයකු වෙත කරුණු ඉදිරිපත් කළ යුතු බව ද ඔහු කීවේය.

නව පනතෙන් වසරකට පසුව අධිකරණ ක්‍රියාමාර්ගවලට ගොස් ඇප ලබා ගැනීමේ හැකියාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූවන්ට ඇති බවත් එසේම වසරකට වැඩි කාලයක් රඳවා තබා ගත හැකි වන්නේ ද මහෙස්ත්‍රාත් නියෝග අනුව බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කටයුතු කළේ මෙරට ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා වන ආකාරයට සමතුලිත නීතියක් ගෙන ඒමේ අරමුණින් බව ද ඇමැතිවරයා පැවසීය.

විදේශ කටයුතු ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට‘ මැයෙන් පෙරේදා (13 දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මෙසේ ද පැවසීය.

පිළිගත් ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව, මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන සහ ජනතාවගේ මානව හිමිකම් සුරැකෙන ආකාරයට සමතුලිත නීතියක් ගෙන ඒමේ අදහසින් යුතුව තමයි මෙතෙක් පැවැති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ ආකාරයට සංශෝධනය කිරීමට පියවර ගනු ලැබුවේ.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා පවත්වා යම්කිසි සාධනීය මට්ටමකට මෙම නව පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා. නව පනත්, නීති හදන ක්‍රමවේදයක් අප රටේ තිබෙනවා. මේ අනුව නව පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව රටේ සමස්ත ජනතාවට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගත හැකියි.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර, ‘ත්‍රස්ත විරෝධී’ නමැති නව පනත් කෙටුම්පත කඩිනමින් මේ සතිය තුළ හෝ ලබන සතිය ඇතුළත ගැසට් කිරීමට බලාපොරොත්තු වෙනවා. අනතුරුව එය පළමු වර කියැවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ සමග එය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට මේ රටේ ජනතාවට සතියක කාලයක් ලැබෙනවා.

127 වන ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ද වෙනම සාකච්ඡාමය අධිකරණ බලයක් පවතිනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන උපදෙස් අනුව, ඊට අනුරූපීව තවදුරටත් කෙටුම්පත සඳහා සංශෝධන සිදු කිරීමට රජය සූදානම්. නමුත් මෙම නව පනත පැවති පනතට සාපේක්ෂව ඉතාමත්ම ප්‍රගතශීලී අලුත් කරුණු රැසකින් සමන්විතයි.

2017 – 2018 වසරවලදී දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ‘ප්‍රතිත්‍රස්ත පනත‘ ලෙස නව නීතියක් ගෙන ඒමට උත්සාහ ගත්තා. 2019 වසරේ දී අවාසනාවන්ත ලෙස රටේ සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක අවශ්‍යතාව මතු වුණා.

නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීමෙන් අනතුරුව නීතිඥවරුන්, නීතිඥ සංගමය, ජාත්‍යන්තර ප්‍රජාව, සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති මේ සම්බන්ධයෙන් විවිධ අදහස් හා මත ඉදිරිපත් කරනු ලැබුවා.

අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රජයක් ලෙස ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටියා. පසුව තවදුරටත් විවිධ පාර්ශ්ව වෙතින් අදහස් ලබා ගැනීමට ද කටයුතු කළා. ඒ අනුව අලුත් අදහස්වලින් සමන්විතව මෙන්ම, නව සංශෝධන එක් කිරීමෙන් පසුව නව ‘ත්‍රස්ත විරෝධී‘ පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ඊට ලැබී තිබෙනවා.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment