හරක්කටාගේ මත්කුඩු ජාලයට හවුල් තවත් 8 ක් අල්ලයි

42

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කාන්තාවක ඇතුළු ජාවාරම්කරුවන් 08 දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කාරයන් 11 දෙනකු මීට දින කීපයකට පෙර මාතර සහ වැලිගම ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ අනුව මේ වන විට හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනකු ඇතුළු 19 දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගෙන සිටින අතර ඔවුන් රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යයි.

හරක්කටාගේ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් හඳුනාගැනීමට හැකි විය. ඒ අනුව මාතර, වැලිගම, අතුරුගිරිය, මොරටුව ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලින් මෙම ජාවාරම්කරුවන් කොටුකර ගෙන තිබේ.

මෙම ජාවාරම්කරුවන් පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වාගෙන යයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ඇන්සල් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment