කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ සහ දේශීය කිරි ගොවියා නඟාසිටුවීමේ ජාතික ප්‍රයත්නය: ශ්‍රී ලංකා – ඉන්දීය සහයෝගීතාව

173

ශ්‍රී ලංකාව ආහාර අවශ්‍යතාව අතින් ස්වයංපෝෂිත කිරීම සඳහා ජනාධපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම යටතේ, මෙරට කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීමේ ජාතික වෑයම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය සමඟ සහයෝගීතාවකට එළඹ ඇත.

දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද අත්‍යවශ්‍ය වැදගත් පෝෂණ ද්‍රව්‍යයක් වන කිරි, වැඩි වශයෙන් ආනයනය කරන අතර දේශීය නිෂ්පාදන මගින් සපුරාලන කිරි අවශ්‍යතාව සමස්ථ ප්‍රමාණයෙන් 40%ක් පමණ වේ. පසුගිය වසර 10 තුළ සාමාන්‍යයෙන් වසරකට ඩොලර් මිලියන 300 ඉක්මවූ විදේශ විනිමය පිරිවැයක් කිරි ආනයනය සඳහා වැය වී ඇත.

දේශීය ගොවීන්ගේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමත්, එමගින් වැඩි ආදායමක් නැවත මෙරට ආර්ථිකයට ශක්තියක් වීම සඳහා ලබාදීමත් අරමුණු කොටගෙන, ඉන්දියාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සාර්ථකත්වයේ කතාව අප රටටත් ආදේශ කිරීමට ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය සමඟ මෙසේ සහයෝගීතා ගිවිසුමකට පැමිණ තිබේ. මේ අනුව, 2023 ජුලි මස ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරය අතරතුර රජයන් දෙක අතර ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශයකට අත්සන් තැබීම සිදුවිය.

ලොව විශාලතම කිරි නිෂ්පාදකයා වන ඉන්දියාවේ කිරි කර්මාන්තය ලෝකයේ වෙනත් කිසිදු රටකට වඩා අපගේ දේශීය කිරි කර්මාන්තයට බොහෝ සමානකම් දක්වයි. ඔවුන් ගොවීන්ට කිරි කර්මාන්තය සඳහා පවතින සම්පත්, ග්‍රාමීය පවුල්වල සමාජ ආර්ථික පැතිකඩ, කිරි දෙනුන් වර්ග, භූගෝලීය සහ කෘෂි-දේශගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සිය දායකත්වය අපට ලබාදෙනු ඇත. එපමණක් නොව, ඉන්දියාවේ සේම ශ්‍රී ලංකාවේත් කිරි නිෂ්පාදනයෙන් බහුතරයක් කුඩා කිරි නිපැයුම්කරුවන්ගෙන් සමන්විත වේ. මීට වසර 50කට පෙර කිරි ආනයනය කළ ඉන්දියාව, මේ වන විට කිරිවලින් ස්වයංපෝෂිත රටක් බවට පරිවර්තනය වී ඇතිවාක් මෙන්ම, ලෝකයට සිය කිරි නිෂ්පාදන අපනයනය ද සිදුකරයි. ඉන්දියාවේ මෙම සාර්ථකත්වයේ කතාව ආරම්භ වූයේ 1950 දශකයේ රජයේ සහයද සහිතව, ‘ඉන්දියාවේ කිරි මිනිසා’ ලෙසින් ගෞරවයට පත් ආචාර්ය වර්ගීස් කුරියන් මහතාගේ නායකත්වයෙනි. කිරි කර්මාන්තයේ මේ සාර්ථක පරිවර්තනය, කිරි ගොවියාට වැඩි කොටසක් හිමිවන බව සහතික කිරීම මත පදනම්ව තිබුණු අතර පාරිභෝගික මිලෙන් 75% කට වඩා වැඩි ප්‍රමාණයක් කිරි ගොවීන්ට හිමිවීම ඔස්සේ යළිත් ආදායම ග්‍රාමීය ප්‍රජාව කරා ගෙන යාම මගින් තවදුරටත් තහවුරු විය.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කිරි ලබාගැනීමේ හැකියාව පිළිබඳව සංසන්දනය කිරීමේදී පෙනී යන්නේ අප සැලකිය යුතු ලෙසින් පසුගාමී තත්ත්වයක සිටිනා බවයි. ඉන්දියාවේ දෛනික ඒක පුද්ගල කිරි පරිභෝජනය ග්‍රෑම් 444ක් වන අතර ඊට සාපේක්ෂව එය ශ්‍රී ලංකාවේ දිනකට ග්‍රෑම් 150ක් පමණි. එමෙන්ම පසුගිය දශක දෙක තුළ කිරි නිෂ්පාදනයේ සැලකිය යුතු වර්ධනයක් කරා යන්නට ඉන්දියාවට හැකියාව ලැබී ඇති අතර ඔවුන් මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ වැඩිදියුණු කරන ලද සත්ව අභිජනන ක්‍රමවේද සහ පෝෂණ ක්‍රමවේද වැනි විවධාකාර විද්‍යාත්මක සොයාගැනීම් මෙන්ම ගොවිපළේ සිට කර්මාන්තශාලාව දක්වාම සමස්ථ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම වැනි ක්‍රමවේද තුළිනි. තවද, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය පරිවර්තනය කිරීමට අවශ්‍ය මෙවැනි මැදිහත්වීම් ඉන්දියාවේ ඉතා සාර්ථක ලෙසින් සහ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබාගත් ඒවා වේ.

කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉන්දියාවේ සාර්ථක කතාව මෙරට තුළ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා, ඉන්දීය කිරි නිෂ්පාදන අංශයේ ප්‍රමුඛ ආයතන දෙකක් වන National Dairy Development Board of India (NDDB) සහ ඉන්දියාවේ විශාලතම කිරි නිෂ්පාදන සමාගම වන Amul නමින් සුපතල Gujarat Cooperative Milk Marketing Federation (GCMMF) සමගින් ශ්‍රී ලංකාවෙන් Cargills (Ceylon) PLC ඒකාබද්ධ සමාගමක් වශයෙන් කටයුතු කරනු ලැබේ. මෙම හවුල් ව්‍යාපාර සමාගමේ අරමුණු වනුයේ කිරි නිෂ්පාදන පද්ධතියේ ඵලදායිතාව ඉහළ නැංවීම, නවීන තාක්ෂණය භාවිතය, කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රවල උපකරණ සහ හොඳම භාවිතයන් සක්‍රීය කිරීම, කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම, ආහාර/ තණබිම් වගා සහ ගව ආහාර කර්මාන්තයන්හි ඵලදායිතාව ඉහළ නැංවීම, කාර්යක්ෂම අධීක්‍ෂණය – ප්‍රතිශක්තිකරණ ක්‍රමවේද සහ හොඳම පශුවෛද්‍ය සත්කාරයන් සමගින් සත්ත්ව සෞඛ්‍යය වැඩි දියුණු කිරීම, ගව පට්ටිවල ජානමය වැඩිදියුණු කිරීම්, පුහුණු වැඩසටහන් හරහා ශ්‍රී ලාංකික ගොවීන් සහ විශේෂඥයින්ගේ කුසලතා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, අත්දැකීම් බෙදාගැනීම ඔස්සේ ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධනය සඳහා පහසුකම් සැලසීම යනාදියයි.

මෙම ව්‍යාපෘතිය මගින් වසර 5ක් තුළ ශ්‍රී ලංකාවේ ජාතික කිරි නිෂ්පාදනය 53%කින් ඉහළ නැංවීමටත් වසර 10කින් එම නිෂ්පාදනය දෙගුණයක් (129% ට වඩා වැඩි වීමක්) කරා ගෙනයාමත් අපේක්ෂා කෙරේ. තවද කිරි ගොවීන් සහ කුඩා ව්‍යවසායකයින් 200,000කට වඩා ප්‍රමාණයකට මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ අත්කර දීමටත් මෙමගින් බලාපොරොත්තු වේ. මීට අමතරව මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙසින්, ඉහළ ජානමය වටිනාකමක් සහිත සතුන් ශ්‍රී ලංකාව පුරා සිටින කුඩා පරිමාණයේ කිරි ගොවීන් අතර බෙදාදෙනු ලබන අතර එමගින් ඔවුන්ගේ කිරි අස්වැන්න වැඩි වර්ධනය වනු ඇත. මෙම කිරි නිෂ්පාදකයන් විශේෂ අභිජනන බීජ මාත්‍රාවන්, ආහාර සහ සිලේජ, පුහුණු වැඩසටහන්, දැනුම හුවමාරු වැඩසටහන්, එන්නත් සහ ආහාර අතිරේක සඳහාත් හිමිකම් ලබනු ඇත.

මෙම හවුල්කාරිත්වය සමගින් කිරි නිෂ්පාදනයේ ස්වයංපෝෂිතභාවය කරා ශ්‍රී ලංකාව මෙහෙයවනු ඇති අතර කිරි නිෂ්පාදන ආනයනය සඳහා වැයවන විදේශ විනිමය අවම කරවීමද සිදුවේ. තවද පාරිභෝගිකයින් සඳහා දේශීය කිරි නිෂ්පාදන සුලබ කරවමින්, ශ්‍රී ලංකාව පුරා සිටින කුඩා කිරි ගොවීන් නගාසිටුවමින්, එම ආදායම යළිත් දේශීය ප්‍රජාව වෙතම ලබාදීමට හැකියාව මින් හිමිවනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment