සීදූවේ හිමියන් මරා වාහන සල්ලි උණ්ඩියල් ක්‍රමයට ඩුබායි යවලා

961

ඩුබායි පෙම්වතියයි සගයායි අල්ලන්න ඉන්ටර්පෝල් සහාය ඉල්ලයි

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපති මැදගමුවේ මහානාම හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියේ මහමොළකරුවන් බව කියන ඩුබායි රාජ්‍යයේ පදිංචිව සිටින මුස්ලිම් ජාතිකයකු සහ 23 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.

ඩුබායි හි සිටින 23 හැවිරිදි තරුණිය, විහාරාධිපති හිමියන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු බව කියන මේ වන විට අත්අඩංගුවේ පසුවන 19 හැවිරිදි චීවරධාරියාගේ පෙම්වතිය බව පොලිසිය පවසයි.

විහාරාධිපති හිමියන් ඝාතනය කර ලබාගත් ඩිපෙන්ඩර් ජීප්රථය සහ වැගන්ආර් රථය විකුණා ලබාගත් රුපියල් කෝටි දෙකක මුදල උණ්ඩියල් ක්‍රමයට ඩුබායි රාජ්‍යයේ සිටින 23 හැවිරිදි තරුණිය සහ මුස්ලිම් ජාතිකයා වෙත යවා ඇති බව ද විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම තරුණිය 19 හැවිරිදි චීවරධාරියා දැන හඳුනාගෙන ඇත්තේ ෆේස්බුක් හරහා බව පොලිසිය පවසයි. පසුව මොවුන් අතර ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නැගී ඇත.

චීවරධාරියා සහ 23 හැවිරිදි තරුණිය මීට පෙර කිසි දිනක එකිනෙකා හමුවී නැති අතර මොවුන් ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇත්තේ අන්තර් ජාලය ඔස්සේය.

විහාරාධිපති හිමියන් පිළිබඳව මෙන්ම එම හිමියන්ට ඇති වත්කම් දේපොළ පිළිබඳව චීවරධාරියා සිය පෙම්වතියට සියලු විස්තර පවසා ඇත.

23 හැවිරිදි තරුණිය මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය මීට ටික කලකට උඩදී ඩුබායි රාජ්‍යයේ රැකියාවකට ගොස් ඇත.

ඩුබායි හි පදිංචි මෙරට මුස්ලිම් ජාතිකයකු යටතේ ඇය රැකියාවක් කරමින් සිට ඇති බව පොලිසිය පවසයි.

විහාරාධිපති හිමියන්ගේ දේපොළ පිළිබඳව තරුණිය සිය ස්වාමියා වන මුස්ලිම් ජාතිකයාට පවසා ඇත. පසුව ඔවුන් දෙදෙනා එක්ව විහාරාධිපති හිමියන් ඝාතනය කර දේපොළ ලබා ගැනීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා චීවරධාරියා ද කැමතිකරවාගෙන ඇත. ඝාතනය සඳහා සිය මව්පියන් විහාරස්ථානය වෙත යැවීමටද 23 හැවිරිදි තරුණිය කටයුතු කර තිබිණි.

විහාරාධිපති හිමියන් මරා දමා දේපොළ සියල්ල මුදල් කරගෙන ඒවාද රැගෙන ඩුබායි රාජ්‍යයට චීවරධාරියා ගෙන්වා ගැනීමට 23 හැවිරිදි තරුණිය සැලසුම් කරගෙන සිට ඇත.

එහෙත් චීවරධාරියා ඩුබායි බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළේ සිටිය දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

ඝාතනයට ලක්වූ විහාරාධිපති හිමියන් විවිධ ව්‍යාපාර කරමින් මුදල් උපයා ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. දේපොළ සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් සහ සැකකාර චීවරධාරියා අතර නිතර ආරවුල් පැවති බවද පොලිසිය පවසයි.

විහාරාධිපති හිමියන් ඝාතනය කළ බව කියන ඩුබායි තරුණියගේ මව්පියන් මේ වන විට අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන පවත්වාගෙන යයි.

මෙම සැකකාර යුවළ රටින් පැන යෑම වැළැක්වීමට ඔවුන් පිළිබඳ සියලු තොරතුරු ගුවන්තොටුපොළ වෙත ලබා දීමට පොලිසිය කටයුතු කර තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා, පොලිස් අධිකාරි එරික් පෙරේරා යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණයෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment