නොතැබූ ඡන්දයක් දෙන්නේ කොහොමද – සභාගැබේ නොසිටියත් අපි පාර්ලිමේන්තුවේ සිටියා – සීනුව නාද කළා නම් ඡන්දයට යනවා – විජිත හේරත් කියයි

121

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව සලකා බැලූ අවස්ථාවේදී ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගැබ තුළ නොසිටිය ද පාර්ලිමේන්තුව තුළ සිටි බවත් යම් හෙයකින් ඡන්ද විමසීමක් සඳහා කථානායකවරයා සීනුව නාද කර දැනුම්දීමක් කළේ නම් ඡන්ද භාවිතා කිරීම සඳහා එක්වීමට සූදානමින් සිටි බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ‘දිවයින’ට ඊයේ (10 වැනිදා) පැවසීය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇමරිකානු සංචාරක නිරත බැවින් රට තුළ එදින නොසිටි බවත් කී හේරත් මහතා තමා ඇතුළු ඉතිරි මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුව තුළ සිටි බව සඳහන් කළේය.

නොපැවති ඡන්දයක් වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ හෙතෙම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ නැතැයි කීම දේශපාලන ඇරියස් කවර් කිරීමක් යැයි කීවේය.

විවාදය පැවැත්වීමට පෙර දින පක්ෂ නායක රැස්වීමේදී මෙම යෝජනාව දෙපාර්ශ්වයේ සහාය සහ එකඟතාවයෙන් ගෙන එන යෝජනාවක් බවට සාකච්ඡා එකඟතාවයක් ඇති වූ බවත් එබැවින් ඡන්ද විමසීමක් නොමැතිව එය ඒකමතිකව සම්මත වන බවට කිසි සැකයක් නොතිබූ බවත් ඔහු කීවේය.

තමා විවාදය පැවැති අවස්ථාවේ දී ක්‍රිකට් පාලක මණ්ඩලය පවුල් කිහිපයක පාලනයට නතුවී තිබීම සහ අතුරු පාලක මණ්ඩලය පත්කිරීමේ සංයුතියේ අඩුපාඩු ගැන ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබඳ අදහස් දැක්වූ බවත් විජිත හේරත් මහතා සඳහන් කළේය.

ක්‍රිකට් පරිපාලනයේ වංචා දූෂණ අක්‍රමිකතා ගැන ජවිපෙ කතා කරන්නේ දශකයකට වැඩි කාලයක සිට බවත් කෝප් කමිටු සභාපති ලෙස සුනිල් හඳුන්නෙත්ති මහතා කටයුතු කළ අවධියේදී ක්‍රිකට් පාලක මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීම් කළ බවත් හෙතෙම කීවේය.

සැබෑ ලෙසම ශ්‍රී ලංකා ක්‍රිකට් සුද්ද කිරීමට අවශ්‍ය නම් සභාපතිවරුන්ට අයෝමය ශක්තිය දෙන දේශපාලන දූෂණ රැල ද පරාජය කළ යුතු බව විජිත හේරත් මහතා වැඩිදුරටත් ‘දිවයින’ට අදහස් දක්වමින් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment