2024 දී එන්නේ ඡන්ද සටනක්ද? පන්ති සටනක්ද?

570

2024 මැතිවරණ වසරක් ලෙස බොහෝ දෙනකු විසින් පිළිගන්නා බව මේ වනවිට සමාජ දේශපාලන අංශවල සිදුවන සංවාද අනුව පෙනී යයි. පසුගිය දිනක එ.ජා.ප. කළමනාකරණ කමිටුව රැස්වී එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම ප්‍රකාශයට පත් කිරීමත් එහිදී ජනාධිපතිවරයා විසින් එම මැතිවරණ පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශත් මත පදනම්ව මෙම මැතිවරණ වසර සමාජ අවධානයට යොමු වූවා ද විය හැකිය. එහෙත් එ.ජා.පයට හෝ වෙනත් පක්ෂයකට මෙරටේ මැතිවරණ පැවැත්වීම පිළිබඳව ප්‍රකාශ සිදු කළ නොහැකි බව ද දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන විසින් ද අවධාරණය කර ඇත. මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක ජනමාධ්‍යකට පවසා තිබුණේ ද එළඹෙන ජනාධිපතිවරණය කැඳවීමේ නිල ප්‍රකාශ නිකුත් කිරීමේ හා දින නියම කිරීමේ බලය ද ඇත්තේ තම ආයතනයට බවය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාවට හිමිව තිබෙන බලයක් බව ද ඔහු අවධාරණය කර තිබිණි. ඔහුට අනුව මෙම වසරේ සැප්තැම්බර් දෙවැනි සතියත් ඔක්තෝම්බර් දෙවැනි සතියත් අතර කාලය තුළ එම ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.

මෙරටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන ක්‍රියා කළ යුතු ආකාරය පැහැදිලිව දක්වා තිබුණත් ඒ පිළිබඳව තිබෙන එක් විවේචනයක් වන්නේ විධායකය ඇතැම් විට තම සීමාවන් ඉක්මවා ක්‍රියා කිරීමට පෙළඹෙන බවය. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට ගෝඨාභය දක්වාත් ඉනික්බිතිව එම ධුරයට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිලුත් ඒ චෝදනාවට අයත් වනු ඇත. විශේෂයෙන් පළාත් පාලන මැතිවරණය අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල්ට අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් විය. එසේ වුව ද මෑත අවස්ථා කීපයකදීම ජනාධිපති රනිල් පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන බව ද සඳහන් කර තිබිණි. මෙහිදී ඇතැම් දේශපාලන විචාරකයන් විසින් කරන ලද අවධාරණයක් පිළිබඳව ද සඳහන් කිරීම වටී. ජනතාවට තමන්ගේ පාලකයන් තෝරා ගැනීමට තිබෙන අයිතිය මැතිවරණය වුව ද එය ක්‍රියාත්මක වන ආකාරය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී බව ද ඒ විවේචනවල හරයයි. රට පාලනය භාර කෙරෙන පක්ෂය හෝ කණ්ඩායම ජනතා අභිලාෂයන් ඉටු කරනු ලබන්නේ කෙසේ ද යන ප්‍රශ්නය සමාලෝචනය කිරීමට මැතිවරණය අවස්ථාව සලසා දෙන බව ද අපි දනිමු.

ජනතා පරමාධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම නීතියේ සාධාරණත්වය යන සංකල්ප පිළිබඳ කෙබඳු සංවාද තිබුණත්, ඒවා ක්‍රියත්මක වන ආකාරය සාධනීය නොවන බව මෙරටේ පාලකයන් විසින් දිගටම තහවුරු කරන ලද්දකි. බලය තාවකාලික ප්‍රදානයක් නොව හිමිකමක් බව බොහෝ පාලනවලදී අපට පසක් කරන ලද අමිහිරි අත්දැකීමකි. බලය අත්හැරීම සඳහා දක්වන පසුබැසීම කෙබඳු දැයි විස්තර කළ යුතු නැත. මෙරටේ මැතිවරණ ඉතිහාස තුළ තිබෙන අඳුරු හා අශිෂ්ට වාර්තා විමසා බලන කෙනෙකුට හැඟී යන්නේ මේ තරමින්වත් රටේ නිදහස ඉතිරි වී තිබීම විශ්මය ජනක දෙයක් බවය. ජනතාව විසින් දෙන ලද බලය අත් නොහැර එහි කාලය දීර්ඝ කිරීම සම්බන්ධ වාර්තා ද තිබේ. 1982 දී පැවති ජනමත විචාරණය මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයේත් මැතිවරණයේත් මළගම ලෙස හැඳින්විය හැකි එහි කූටප්‍රාප්තිය ද වේ.

ඇත්ත වශයෙන්ම මෙරටේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී යයි කිව හැකි මැතිවරණ ක්‍රමය තම දේශපාලන වාසිය උදෙසා වෙනස් කළ නායකයා ජේ. ආර්. ජයවර්ධනය. පක්ෂය එ.ජා.පයයි. මෙරටේ ස්ථාපිත වී තිබුණු මහජන නියෝජිතයන් සෘජුව තෝරා ගැනීමේ ක්‍රමය හා සම්ප්‍රදාය සැහැසි ලෙස බිඳ දැමුවේ ජයවර්ධනගේ මනාප ඡන්ද ක්‍රමය විසින්ය. අද මන්ත්‍රීවරයා ලෙස ජනතාව ප්‍රතික්ෂේප කළ අයෙකුට ද පත්වීම නීතිය බවට සම්මත කර තිබේ. ජයවර්ධන යෝජනා කළ ස්වාධීන මන්ත්‍රීවරුන් අහෝසි කිරීම මෙන්ම අතුරු මැතිවරණ අවසන් කිරීම ඔහුගේ සමකාලීන දේශපාලන සගයන් වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මෙන්ම ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ද දැඩි ලෙස විවේචනය කළහ. ඔවුහු ආණ්ඩුක්‍රම සම්පාදනයෙහි විශාරද විද්වත්හුය. ඔවුන්ගේ තර්කය වූයේ එය අතිශයින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවය. මහ මැතිවරණයකින් පසුව කිසියම් හේතුවක් නිසා ජනතාව විසින් තෝරන ලද පුද්ගලයා ඉවත් වුවහොත් ඒ සඳහා අලුත් විනිශ්චයක් ජනතාව දිය යුතු බව ඔවුහු පැවසූහ. මැතිවරණයකින් පසු මහජන අභිප්‍රායන් වෙනස් විය හැකි බව ද දේශපාලන සිතිවිලි ස්ථාවරව නොපවත්නා බව ද ඔවුහු පෙන්වා දුන්හ. එසේම පවතින පාලකයන්ට එම ධුර කාලය නිමවීමට පෙර පැවැත්වෙන අතුරු මැතිවරණයකින් මහජන මතය විමසා බැලීමට ඉඩ ලැබෙන බව ද ඔවුන්ගේ විවේචනයේ පදනම විය.

ජයවර්ධනගේ ක්‍රමය ඒ අයුරින්ම පවත්වා ගෙන ඒමෙන් අපට හැඟී යන්නේ බලය පවත්වා ගැනීමට හැම නායකයකුම දක්වන ආශාව හා බලකාමීත්වය පමණි. සීමිත කාලයක් සඳහා දෙන බලය මොන උප්පරවැට්ටියකින් හෝ පවත්වා ගැනීමේ වුවමනාව විධායක ක්‍රමයේ ස්වභාවය දැයි විටෙක සිතේ. මේ දේශපාලන බලය හා දූෂණය වෙන් කළ නොහැකි අශිෂ්ට සංයෝගයකි. ජනාධිපති, අගමැති, ඇමැති ආදී වශයෙන් හිමිවන වරප්‍රසාද ගොන්න අතහැර යෑමට තිබෙන ලෝභය ආශාව එයට හේතු විය හැකිය. එහෙත් ඒ බලය අතහැර නොයෑම පසුපස තිබෙන කතාව ඊට බෙහෙවින් වෙනස් බව ද කිව යුතුය. දේශපාලන බලය යනු අද මෙරටේ ධනවත් වීමට තිබෙන ප්‍රධාන මාර්ගයයි. දේශපාලන පවුල් හා වර්තමාන දේශපාලන ක්‍රියාවලිය විමසා බලන කාහට වුව ද මේ දේශපාලන බලය කෙබඳු කප්රුකක් දැයි වැටහෙනු ඇත. දේශපාලන පක්ෂ, නායකයන්, ඔවුන්ගේ අනුගාමිකයන් පමණක් නොව වසල වෙළඳ පන්තියක් ද ඊට අමතරව ක්‍රියාත්මක වන දූෂිත නිලධාරීහු ද එක්වූ චෞර වළල්ලක් මේ හැම පාලනයකදීම දැකගත හැකිය. දූෂණ වංචා නාස්තිය, අද දේශපාලන වේදිකාවල හා විද්‍යුත් මාධ්‍ය හමුවල ප්‍රබල මාතෘකාවක් පමණි. මහා පරිමාණයේ දූෂිතයන්, ජාවාරමුන්, හොරුන් ආදීහු අද දේශපාලනය මෙහෙය වන සාධක බවට පත්ව සිටිති. ආණ්ඩු බලය යනු නෑහිත මිතුරු ප්‍රමුඛ සමීපතමයන් මෙන්ම ඉහත කී ජාලය වෙනුවෙන් ද අත්‍යවශ්‍යම දෙයයි. මේ අනුව අද අත්‍යාවශ්‍යව තිබෙන්නේ ආණ්ඩු පෙරළියකට වඩා ක්‍රමයේ වෙනසකි. දේශපාලන බලය පමණක් හුවමාරු කර ගනිමින් සිදු වූ ආණ්ඩු පෙරළිය මෙරටේ ජනතාවගේ අභිලාෂය නොවන බව ද අපගේ අදහසය.

2022 දී උත්කර්ෂයට පත් වූ විරෝධතාව රාජපක්ෂ බලයට එල්ල වූ දැවැන්ත අභියෝගයක් බව ඔවුහු දැන ගත්හ. එය මැඬලීමට තරම් ශූර හා දැඩි දේශපාලන චරිතයක් පෙහොට්ටුවේ නොවූ හෙයින් ඔවුහු ඒ බලය රනිල් වික්‍රමසිංහට ලබා දුන්හ. එසේම රනිල් යනු මෙම සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනයේ සාර්ථකම චරිතය බව ද රාජපක්ෂවරුන්ට පසක් විය. ඔවුන්ගේ මැනීම, තෝරා ගැනීම කෙතරම් නිවැරදිද? ගිලිහී යන දේශපාලන බල අර්බුදය කළමනාකරණය සඳහා රනිල්ට වඩා සුදුස්සෙක් නැති බව ඔවුහු දනිති. එහෙත් අද ඒ එකමුතුව තුළම පුපුරා යෑමේ අවදානමක් ද ඇත. දේශපාලන පසමිතුරුකම් දුරලා තවදුරටත් රනිල් සමගම යෑමට රාජපක්ෂ කඳවුර සූදානම් නොවීම යනු ඔවුන්ගේ දේශපාලන පැවැත්මට ද අභියෝගයකි. රනිල්ට සහාය නොදී පොහොට්ටුවට වෙනම ගමනක් යෑමට නොහැකි බව ද රාජපක්ෂවරු දනිති. ඒ නිසා පොහොට්ටුවට එළඹෙන ජනාධිපතිවරණය අතිශය තීරණාත්මකය.

ජනාධිපති රනිල් විසින් රටේ ආර්ථිකය ගොඩනඟනු ලැබ ඇති බවට ජනතාව අතර ව්‍යාප්ත කළ මතවාදයක් මේ වනවිට වෙනස් වෙමින් තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අනුග්‍රහයෙන් එතෙක් පැවති අර්බුදය කළමනාකරණය කළත් මේ රට ඉදිරියට යෑමට එයින් ශක්තියක් ලැබේ ද යන ප්‍රශ්නය දැන් සාමාන්‍ය ජනතාව ද නගති. උසුලා දරාගත නොහැකි බදු ගණනාවක් මතට වැට් බද්දත් එක් කළ ආණ්ඩුව කෙරෙහි බහුතර ජනතාවකට ඇත්තේ කෝපයකි. ආණ්ඩුවට ජාත්‍යන්තර අරමුදලේ නිලධාරීන්ගේ ප්‍රශංසාව හිමි වුවත් ජනමතය ඇත්තේ ඊට එරෙහිවය. දරිද්‍රතාවත්, ජීවන පැවැත්මත් පිළිබඳ වාර්තා හා සමීක්ෂණවලින් ද තහවුරු වන්නේ රට ගිලී තිබෙන ආර්ථික අගාධයේ පරිමාවය. එහෙත් ජනාධිපතිගේ මාධ්‍ය මගින් පෙන්වා දෙන්නේ රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙළ හැර වෙනත් ක්‍රමයක් රටට නැති බවය. ගෑස් හා තෙල් පෝලිම්, විදුලි කප්පාදුව වැනි විපාක යළිත් ජනතාවට මුහුණ දීමට සිදුවන බවට ද ඒ ප්‍රචාරක මාධ්‍ය විසින් දැඩි අනතුරු ඇගවීම් ද කෙරෙනු ඇත. එහෙත් දිනෙන් දින උග්‍ර වන බඩු මිල ඉහළ යෑම, විරැකියාවේ පීඩනය ජනජීවිත කබලෙන් ලිපට ඇද දමා තිබෙන බව ද ජනතාවට දැනේ. මේ වනවිට රටේ ආර්ථිකය කඩා බිඳ දමන ලද්දේ රාජපක්ෂවරුන්ගේ අසාර්ථක පාලනය විසින් යැයි පිළිගන්නා ජන කොටසක් ද සිටිති.

මෙරට පාලනය කළ දූෂිත ප්‍රභූ තන්ත්‍රයට බලය ලබා නොදිය යුතු බව සමාජය තුළ ව්‍යාප්ත වුවත් ජනතාවගේ ආකර්ෂණයට ලක්ව තිබෙන ජා.ජ.බ හෝ ස.ජ.බ පාලනයකින් රට ගොඩගත හැකි ද යන ප්‍රශ්නය ද ආණ්ඩුවේම මාධ්‍ය විසින් මතු කරනු ලැබ ඇත. ස. ජ. බ හා ජා. ජ. බ යන පක්ෂ දෙකම පවතින ආණ්ඩුවේ දූෂණ චර්යාව විවේචනයට ලක් කරයි. එහෙත් මේ වනවිට ජනතාවගේ අවධානය යොමුව තිබෙන්නේ දූෂණයට වඩා වෙනත් කරුණක් කෙරෙහිය. ඒ මේ ආර්ථික අර්බුදයේ බර හෑල්ලු කර ගන්නා මගක් පිළිබඳවය. මෙම බදු වැඩි කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනාවක් බව ද කියති. මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් 9 ක්ම බදු ගෙවීම් පැහැර හැර තිබෙන අතර මාධ්‍ය මගින් ඒවායේ නම් ද ප්‍රකාශ කර ඇත. රුපියල් බිලියන 767 ක විශාල මුදලක් අයකර ගත නොහැකි වූ ආණ්ඩුව වයස 18 සම්පූර්ණ වූ අයෙකුට ටින් අංකයක් ලබා ගන්නා ලෙස බරපතළ අනතුරු ඇඟවීම් කිරීම ලැජ්ජා සහගතය. තම දරුවන්ට ආහාර වේලක් දීමට දුෂ්කර ක්‍රියා කරන රටක, අකුරක් ඉගැන්වීමට පොතක් පැන්සලයක් මිලදී ගැනීමට බැරි වූ රටක ආණ්ඩුවක් මෙබඳු ප්‍රචණ්ඩ ප්‍රතිචාර දැක්වීම ගැන අපට ඇත්තේ දුකකට වඩා කෝපයකි. මේ වධක යෝජනාව ඉදිරිපත් කළ ටිකිරි මොළය කාගේ වුවත් ඔහුට එල්ල වන ශාපය ද සුළු පටු නැත.

2024 දී එන්නේ ඡන්ද සටනක්ද? පන්ති සටනක්ද?

කෙසේ වුව ද 2024 පැවැත්වෙන මැතිවරණ ව්‍යාපාරවල තේමාව බවට පත් විය හැක්කේ මෙම ආර්ථික දුෂ්කරතාව ජය ගැනීම යන්න බව දැනටමත් සමහරු අවධාරණය කරති. කුමක් වුවත් ලංකාවේ දේශපාලන බලය මෙතෙක් රැඳී තිබුණු සාම්ප්‍රදායික පක්ෂ වන එ.ජා.පයට හා ශ්‍රී ල.නිපයට මෙන්ම පොදුජන පෙරමුණට ද යළි බලය ලබාගත නොහැකි වාතාවරණයක්ද ගොඩනැගෙමින් තිබේ. මේ පක්ෂවල සන්ධානයකට වුව ද ජනතා ප්‍රසාදය හිමි නොවනු ඇතැයි කල්පනා කළ හැකිය. 2022 ජනතා විරෝධතාව තුළින් ප්‍රකාශ වූයේ ද රට විනාශ කළ සන්ධාන හා පක්ෂ සහමුලින්ම දේශපාලන භූමියෙන් ඉවත් කළ යුතු බවය. මේ ආර්ථික හා සමාජ දේශපාලන කඩා වැටීමට ඔවුන් වගකිව යුතු බවත් ඒ නිසා, රාජපක්ෂ – රනිල් කේන්ද්‍රීය පාලනයෙන් ද රටට අනාගතයක් උදා නොවන බවත් ඔවුන්ගේ පිළිගැනීමය. මෙහිදී සිදුවිය හැකි අලුත් දේශපාලන වෙනස කුමක්ද? එය එදා අරගලයෙන් අපේක්ෂා කළ ආකාරයටම ‘රෙජීම් චේන්ජ්’ එකක්ද? රෙජීම් චේන්ජ් එකකදී සිදු වන්නේ එතෙක් බලයේ සිටි ආණ්ඩුවලට වෙනස් නව සමාජ ආර්ථික හා දේශපාලන දැක්මක් සහිත ප්‍රතිපත්තිමය වෙනසකි.

1956 දී සිදු වූ දේශපාලන වෙනස නිසැකයෙන්ම ආණ්ඩු බලය පෙරළා දැමීමකට වඩා බෙහෙවින් වෙනස් විප්ලවීය තත්ත්වයකි. එය බමුණු කුලයේ බිඳ වැටීම ලෙස මාර්ටින් වික්‍රමසිංහ සූරීහු හැඳින්වූහ. ප්‍රභූ පන්තියේ නියෝජිතයකු ලෙස ඩී. එස්. සේනානායකගේ එජාපයේ ඇමැති ධුර පවා ඉසිලූ බණ්ඩාරනායක ඒ විප්ලවීය වෙනසට නායකත්වය ලබාදුන් අයුරු ඉතිහාසයේ ද දැක්වේ. බණ්ඩාරනායකට වෙනස් සමාජ දේශපාලන න්‍යාය පත්‍රක් ද තිබිණි. අද සජබය ලෙස වෙන් වී සිටින දේශපාලන කණ්ඩායමට නායකත්වය දෙන්නේ ද එ.ජා.පයේම ප්‍රබල නායකයකුව සිටි සජිත් ප්‍රේමදාසය. මෙය 56 දී දුටු දේශපාලන වෙනස සමග මතුපිටින් දිස්වන සමානත්වයකි. සජිත් සමග සිටින බහුතරය ද එ. ජා. පයෙන්ම බිඳී ආ පිරිසකි. එසේම සජිත්ට වාමාංශික නැඹුරුවක් සහිත දේශපාලන නායක දායකත්වයක් ද නැත. බණ්ඩාරනායකට එක්වූ පිලිප් ගුණවර්ධන පන්නයේ වාම සහභාගිත්වයක් ද ස.ජ.බයට නැත. එසේම බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ විවිධ මන්ත්‍රීවරුන් මෙන්ම පුවත්පත් කලාවේදීන්, කවියන් හා කම්කරු පන්ති නියෝජනයක් ද විය. කොළඹ යුගයේ සිටි ප්‍රකට කවියකු වූ සාගර පලන්සූරිය, පුවත්පත් කලාවේදියකු වූ නිමල් කරුණාතිලක මෙන්ම 1947 වැඩ වර්ජනය මෙහෙයවීම නිසා රජයේ සේවය අහිමි වූ ටී. බී. ඉලංගරත්න හා තැපැල් සේවකයකු වූ ඇම්. ඇස්. තේමිස් එයින් කීපදෙනෙකි. බණ්ඩාරනායකගේ ජයග්‍රහණයෙන් පසු සිදු වූ සමාජ – දේශපාලන හා සංස්කෘතික වෙනස්කම් ද කැපී පෙනුණි.

(ඒවා වෙනම විමර්ශනය කළ යුතුය.)

සජිත් ප්‍රේමදාස ද මෙම මැතිවරණ සටන මෙහෙයවනු ලබන්නේ ද විපක්ෂ නායකයා ලෙසය. ඔහුගේ දේශපාලන විවේචනවලින් එ.ජා.පයට දැඩි ප්‍රහාර ද එල්ල කරයි. එහෙත් ඔහුගේ ආර්ථික දැක්ම රනිල්ගේ ආර්ථික වටිනාකම් අනුමත කරයි. විශේෂයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් වැනි අයට රනිල්ගේ ආර්ථික උපාය මාර්ග සමග මූලික එකඟතාවක් ද තිබෙන බව පෙනේ. ඒ ආර්ථික ප්‍රතිචාර සමග විවේචන තිබුණත් හරයාත්මකව ඔවුහු රනිල්ගේ රාමුව පිළිගන්නෝය. රනිල්ට පොහොට්ටුව සමග සමපාත විය නොහැකි බව ද හර්ෂ කීප වරක්ම පවසා ඇත.

ජා.ජ.බ අනුර කුමාරගේ ආමන්ත්‍රණය මෙයට වෙනස්ය. ඔහු අවධාරණය කරන්නේ මේ ප්‍රභූ පැළැන්තියම පරාජය කළ යුතු බවත් ඒ සඳහා දේශපාලන දැක්මක් ඇත්තේ ඔවුන්ට බවත්ය. රනිල්ගේ නව ලිබරල් වාදයට ඔවුහු එකඟ නොවෙති. රනිල් හා රාජපක්ෂ එකම කඳවුරකට අයත් මෙරටේ පාලනය ඔවුන් නියෝජනය කරන ප්‍රභූ පැලැන්තිය සතු හිමිකමක් ලෙස පවතින බව ද අනුර කුමාරගේ චෝදනාවය. ඔහු ජනතාවට අමතන්නේ ඒ කඳවුර පරාජය කිරීමටය. සජිත් බලයට පත් වුවත් බිහිවිය හැක්කේ රාජපක්ෂ පාලනයට හවුල් වූ කිළිටි දේශපාලන චරිත ඇතුළත් පාලනයක් බව ද අනුර කුමාර පෙන්වා දෙයි. ඔහු තිරසරව පවසන්නේ මේ රට මුහුණ දී සිටින උග්‍ර ආර්ථක හා සමාජ දේශපාලන අර්බුදය විසඳීමට මෙම රනිල් රාජපක්ෂ හවුලට නොහැකි බවය. මේ වනවිට ඔවුන්ගේ දුෂ්ට හා කෲර බදු බර පොදු ජනතාවටත්, වැඩ කරන පන්තියටත් එහෙම පිටින්ම පටවා තිබෙන අතරම ඔවුන්ගේ ගජ මිතුරු කල්ලිවලට කිසිදු බරක් පටවා නැති බව ද අනුර කුමාර අවධාරණය කරයි. ගොවි, කම්කරු හා දුප්පත් ජන කොටස් ද මධ්‍යම පන්තිය සමග සුළු ව්‍යවසායකයන් ද සුරකින ආර්ථික සැලැස්මක් රටට අවශ්‍ය බව ද ඔහු පවසයි. ඒ සඳහා වඳ පීදුනු දේශපාලන පක්ෂ අසමත් බවත් නව සමාජ කියැවීමක් සහිත පරපුරට හෙටක් ලබාදීමට ඒ මුග්ධ ප්‍රභූ පාලනය අසමත් බව ද ඔහු සඳහන් කරයි.

කෙසේ වුවද එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ප්‍රබල අපේක්ෂකයෙක් නැති බව ජනතාවට ද වැටහෙන කරුණකි. එසේම පසුගිය දිනක පොහොට්ටුවේ නායක මහින්ද පැවසූ පරිදිම සමහර විට ඔවුන්ගෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමට ද ඉඩ ඇත. කොහොමටත් ජනාධිපති රනිල්ගේ අපේක්ෂකත්වය අනුමත කිරිමට පොහොට්ටුවට සිදුවනු ඇති බව අපගේ අදහසය. මේ පවතින දේශපාලනය තුළ පොහොට්ටුව දැඩි පසුබෑමකට ලක් වී තිබෙන බව ද සැඟවිය නොහැක. පරිණත දේශපාලනඥයකු වන මහින්දට දැඩි විවේචනයක් එල්ල කෙරෙන ‘මුහුදු පාටිය’ තුළින් වුව ද ගම්‍ය වන්නේ මහජන මුදල් තමන්ගේ සුඛවිහරණය සඳහා යොදා ගැනීමේ නාස්තිකාර පිළිවෙතය. රාජ්‍ය ඇමැතිවරයා එය නිරීක්ෂණය කැයි මොර දුන්නත් බත් කන මිනිස්සු එය පිළිගනිත්දැයි සැක සහිතය. කුමක් වුවත් ජනාධිපති රනිල් ලහිලහියේ ඉදිරිපත් කළ රාජ්‍ය මූල්‍ය පාලන චක්‍රලේඛය මේ වර්ගයේ දේශපාලන ‘ෆන්’ ගැනීමට මෙන්ම රාජ්‍ය වියදම් සීමා කිරීමට ද ඉදිරිපත් වූවක් බව පෙනේ. එහෙත් ජනාධිපතිවරයාට තවත් ලක්ෂ 2000 ක් වෙන් කර දෙන ලෙස ද ඉල්ලීමක් කළ බවට ජා.ජ.බ චෝදනා කරයි.

මේ අනුව 2024 ජනාධිපතිවරණය අතිශය තීරණාත්මක වනු පමණක් නොව ඒ සඳහා සකස් වන දේශපාලන සටන් බිම ද වෙනස්ය. ඒ සටන සිදුවනු ඇත්තේ බලය සිය පන්තිය වෙනුවෙන් භාවිත කළ කඳවුර හා ඔවුන්ගේ අධිකාර බලයට අභියෝග කරන අලුත් සමාජ පන්තිය වෙනුවෙන් පෙනී සිටින බලවේගය අතරය. අධිපති බල කඳවුර පෙරළා දැමීම සඳහා ඉදිරියෙන් සිටින බලවේග දෙක වන ස.ජ.බ හා ජා.ජ.බ විසින් කරනු ලබන ජනතා ආමන්ත්‍රණය ඒ බලය තීන්දු කරන්නක් බව ද සඳහන් කළ යුතුය. දැනට පෙනෙන පරිදි එම බල තුලනය තුන්කොන් සටනක් විය හැකිය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment