විදුලි බිල 27%කින් අඩු කළ යුතුය – ඇත්ත දත්ත හංගලා 3%කින් අඩු කරන්න හදනවා – 66%කින් බිල නැග්ගුවේත් වැරදි දත්ත මත – ලංවිම නිවැරදි දත්ත ඉදිරිපත් කර නෑ-ජනක රත්නායක

227

මාව පන්නන්න අත ඉස්සුවොත් මන්ත්‍රීවරු කරන්නේ ඓතිහාසික වරදක්

ලංවිම ණයත් විදුලි පාරිභෝගිකයන්ට පටවලා

ඒක පනතට විරුද්ධයි

ඉදිරි මාස හයේදී අඛණ්ඩව විදුලිබල සැපයුම සඳහා ලංවිමට වැය වන මුදල රුපියල් බිලියන 392 සිට රුපියල් බිලියන 285 දක්වා අඩු වන බවට ලංවිම ගණන් බලා තිබෙන නිසා විදුලි ගාස්තු සියයට විසිහතකින් වහාම පහත හෙළිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

විදුලි වියදම ඒ අනුව රුපියල් බිලියන 107 කින් පමණ අඩුවීම නිසා ගාස්තු අඩුකළ යුත්තේ සියයට තුනක ප්‍රතිශතයකින් නොවන බවත් සියයට 27 ක ප්‍රතිශතයකින් බවත් ඒ මහතා අවධාරණය කර සිටියේය.

විදුලි ගාස්තු පහළ දැමීමට ලංවිම කර තිබෙන යෝජනාව සම්බන්ධව මහජන උපයෝගිතා කොමිසමේ ස්ථාවරත්වය ප්‍රකාශ කිරීම සඳහා ඊයේ (18දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය නිවැරදි දත්ත ඉදිරිපත් කර නැතැයි ද ඒ මහතා එහිදී චෝදනා කළේය.

මෙම වසරේ පෙබරවාරි මාසයේදී විදුලි ගාස්තු සියයට හැටහයකින් වැඩිකරනු ලැබුවේ ව්‍යාජ දත්ත මත බව ද රත්නායක මහතා කියා සිටියේය. මේ වනවිට විදුලි බිල සියයට විසිහතකින් අඩු කිරීමට හැකියාව තිබියදී නිවැරදි වියදම් දත්ත වසන් කර විදුලි ගාස්තුව සියයට තුනකින් පහත හෙළීමට කොමිසමෙන් අවසර ඉල්ලා තිබෙන බව ද ඒ මහතා කීය.

නිවැරදි වියදම් දත්ත කොමිසම වෙත එවන ලෙසට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට මේ වනවිටත් දැනුම්දී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

පෙබරවාරි මාසයේදී සියයට 66 කින් විදුලි ගාස්තු වැඩි කළේ ව්‍යාජ දත්ත පෙන්වමින් යැයි ද ඒ මොහොතේ විදුලි ගාස්තු වැඩි කළ යුතුව තිබුණේ සියයට තිස් පහකින් පමණකැයිද රත්නායක මහතා කියා සිටියේය.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා විදුලිබල පනතට ප්‍රකාරව වුවත් ලංවිම ලබාගන්නා ණය පවා පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනීමට යෝජනා කරමින් අදාළ අනුමත ක්‍රමවේදයට පටහැනිව ලංවිම යෝජනා සකසා තිබෙන බව ද ඒ මහතා කීය.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාම, විනිමය අනුපාත යහපත්වීම යන කරුණු මත විදුලි ගාස්තු ගණනය කළ යුත්තේ සැබෑ වියදම මත පදනම් කරගෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

මහජනතාව වෙනුවෙන් කටයුතු කරන තමා තනතුරින් පහකර දැමීමට ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවට අත්ඔසවන මන්ත්‍රීවරුන් කරන්නේ ඉතිහාස ගත වරදක් බව ද ඒ මහතා එහිදී කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment