ගැමුණුයි – අංජනයි හෙට හර්තාලයට ලෑස්තියි

218

රටපුරා හෙට (6 වැනිදා) පැවැත්වෙන හර්තාලයට සහාය පළකරමින් පාර්ලිමේන්තුව වටේම බස් රථ නවත්වා සාමකාමී විරෝධතාවයක් දක්වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති

ගැමුණු විජේරත්න මහතා පෙරේදා (03 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

මේ සම්බන්ධයෙන් දැනටමත් සියලු බස් රථ හිමියන් දැනුවත් කර ඇතැයි ද හෙතෙම කීය.

අපේම ජනතාව පීඩාවට පත්කිරීම මේ මොහොතේ සුදුසු ක්‍රියාවක් නොවන බවත්, දුර්දාන්ත දේශපාලකයන්ට බලපෑමක් ඇති කිරීම සුදුසු ක්‍රියාවක් බවත් ඒ මහතා කියා සිටියේය.

එසේම සාමකාමී විරෝධතා සඳහා සහභාගි වන තරුණ තරුණියන්ට කිලෝමීටර් 20 – 25 යනතුරු නොමිලේ බස් රථයක් ලබාදීමට කටයුතු කරන බව ද දේශපාලන පක්‍ෂවලට බස් රථ ලබා නොදෙන බව ද ගැමුණු විජේරත්න මහතා කියා සිටියේය.

එසේම ලබන 06 වැනිදා පෞද්ගලික බස් රථ ධාවනය කරනවාද නතර කරනවාද යන්න සම්බන්ධයෙන් සංගමය තවමත් තීරණයක් ගෙන නැතැයි ද ඒ මහතා කීය.

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ ලබන 06 වැනිදා වෘත්තීය සමිති ක්‍රියාත්මක කරන හර්තාලයට සහාය පළ කරමින් එදින පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වන බවයි.

අංජන ප්‍රියන්ජිත් මහතා මෙසේද කියා සිටියේය.

මේ දූෂිත පාලකයන් එලවා දමන්න ඕනේ. අපිට බස් කර්මාන්තය කරගෙන යන්න බැහැ. බස් රථවලට ඩීසල් සහනාධාරයක් ඉල්ලුවම දුන්නේ බස් ගාස්තු වැඩි කිරීමක්. බස් ගාස්තු වැඩි කිරීමේ අපේ බස්වල යන මගීන් ඈත් වුණා. බස්වල අමතර කොටස් මිල සියයට පන්සීයකින් හයසීයකින් වැඩිවෙලා. ටයර් මිල ගණන් වැඩියි. මේ නිසා අපි හර්තාලයට සහාය පළ කරමින් 06 වැනිදා පෞද්ගලික බස් වැඩ කරන්නේ නැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්-  ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment