ලංවිම පාඩු පියවා ගන්න පූජනීය ස්ථානවල විදුලි බිල වැඩි කිරීම අනුමත කරන්න බැහැ

94

මල්වතු මහනාහිමියෝ  උපයෝගිතා සභාපතිට කියති

පූජනීය ස්ථානවල විදුලි බිල වැඩිකර මණ්ඩලයේ පාඩු පියවා ගැනීමට කටයුතු කිරීම අමුණ ඇර තිබියදී වක්කඩ වසා දැමීම හා සමාන ක්‍රියාවක් යැයි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියෝ පැවසූහ.

මහනාහිමියන් එසේ පැවසුවේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පෙරේදා (08දා) උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය.

විදුලි බල මණ්ඩලය තුළ විශාල වශයෙන් නාස්තිකාර වියදම් සිදුවන බවට නොයෙක් පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වන පසුබිමක විහාරස්ථානවල විදුලි බිල වැඩිකිරීම මගින් පාඩු පියවා ගැනීමට උත්සාහ කිරීම අනුමත කළ නොහැකි බවද උන්වහන්සේ කීහ.

ඇතැම් රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත්ව තිබෙන්නේ වංචා, දූෂණ හා නාස්තිකාර වියදම් නිසා බවත්, මෙම අඩුපාඩු කල්තියා පෙන්වා දුන්නත් ඒවා ගණන් ගන්නා බවක් පෙනෙන්නට නොමැති බවත් මහනායක හිමියෝ ප්‍රකාශ කළහ. වැඩිකළ විදුලි බිල ගෙවීමට හැකි විහාරස්ථාන කිහිපයක් තිබෙන නමුත් බහුතරයක් විහාරස්ථානවලට එම බිල දරාගත නොහැකි බවත් මේ නිසා ඒකකයකට අය කරන මිල අඩුකර යම් ආකාරයක සහනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමුවීම යහපත් බවත් උන්වහන්සේ පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මේ මොහොතේ අලුතින් තෙල් හා ගල්අඟුරු ප්‍රශ්න මතුවී තිබෙන බව පැවසුවේය.

රට අසීරුතාවට පත්ව තිබෙන මෙම අවස්ථාවේ අයුතු ලාභ අපේක්ෂාවෙන් රටට සහ ජනතාවට අයහපත් දේ නොකර සිටීම සඳහා දේශපාලනඥයින් ඇතුළු සියලු දෙනාට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරන ලෙස තමන් මහනාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment