පොලිස් කණ්ඩායම් දෙකක් එති.. ‘වසන්ත මුදලිගේ ඉන්නවාද’

1125

පොලිසිය පෙරටුගාමි කාර්යාලය පීරයි
අරගලකරුවන්ට මේකයි වෙන්නේ කියා බය කරන්න හදනවා…
මේ ගැන තානාපතිලටත් කියනවා – දුමින්ද නාගමුව

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නුගේගොඩ පිහිටි පක්‍ෂ මූලස්ථානයට ඊයේ (29 දා) පෙරවරුවේ පැමිණි පොලිස් කණ්ඩායම් දෙකක් එම කාර්යාලය දැඩි පරික්‍ෂාවට ලක් කර ඇත.

පොලිස් ආරංචිමාර්ග කියා සිටියේ වරෙන්තු පිට සිටින අන්තර් විශ්වවිiාලයේ ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් මත පෙරටුගාමී පක්‍ෂයේ මූලස්ථාන කාර්යාලය පරික්‍ෂාවට ලක් කළ බවයි.

ඊයේ පෙරවරු 7.30ට පමණ මිරිහාන පොලිසියෙන් බව කියමින් නිල ඇඳුම් ඇඳගත් එක් නිලධාරියකු සහ සිවිල් ඇඳුම් ඇඳගත් නිලධාරීන් පිරිසක් මෙම පක්‍ෂ මූලස්ථානය වෙත පැමිණ එය පරික්‍ෂාවට ලක් කර ඇත.

පරික්‍ෂා කිරීමේ වරෙන්තුවක් නොමැතිව පැමිණ පක්‍ෂ කාර්යාලය පරික්‍ෂා කිරීම නිසා පෙරටුගාමී පක්‍ෂයේ සාමාජිකයන්ගේ දැඩි විරෝධය පොලිසිය වෙත එල්ල විය.

පසුව එම නිලධාරීන් පිරිස පිටව ගොස් ඇති අතර පසුව නිල ඇඳුම් ඇඳගත් නිලධාරීන් තිස්දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් එහි පැමිණ පක්‍ෂ මූලස්ථානය පරික්‍ෂාවට ලක් කර ඇත.

වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව පොලිසිය විසින් පක්‍ෂ මූලස්ථානයේ සිටි පෙරටුගාමි පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසට පෙන්වා ඇත.

පැයකට ආසන්න කාලයක් තිස්සේ පක්‍ෂ මූලස්ථානය පරික්‍ෂා කළ පොලිස් නිලධාරීන් එහි සිටි පක්‍ෂ සාමාජිකයන්ගේ නම් ගම් විස්තර සටහන් කරගෙන පිටව ගොස් තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා මෙසේ කියා සිටියේය.

පරික්‍ෂා කිරීමේ වරෙන්තුවක්වත් නැතිව අපේ පක්‍ෂ මූලස්ථානයට කඩාවැදුණු සිවිල් පෙලිස් නිලධාරීන් අස්සක් මුල්ලක් නෑර පරික්‍ෂා කළා.

මේ අය ගියාට පස්සේ තවත් නිලධාරින් පිරිසක් ඇවිත් පරික්‍ෂා කළා. සර්ච් වොරන්ට් එකක් මේ අය පෙන්නුවා. ඒක වසන්ත මුදලිගේට තිබුණු වොරන්ට් එකක්.

මේ අය කරන්නේ මානසික මෙහෙයුමක්. අරගලකරුවන්ට වෙන්නේ මේකයි කියන්න තමයි පක්‍ෂ කාර්යාලවලට කඩා පනින්නේ. මේ මානසික මෙහෙයුම කරන්නේ පොහොට්ටු පක්‍ෂයේ නිදාගෙන ඉන්න පිරිස් අවදි කරවන්න.

ඊළඟ මැතිවරණයට අවශ්‍ය පසුබිම හදාගන්න. ආරක්‍ෂක අංශ යොදවලා භීෂණයක් දාලා මේක තමයි කරන්න හදන්නේ.

ඒ වගේම මෙහෙම පොලිස් නිලධාරීන් ඇවිත් අපේ භූමියේ ආයුධ දාලායන්න පුළුවන්. ඊට පස්සේ එන නිලධාරීන් අපි ළඟ ආයුධ තියනවා කියලා අල්ලන්න පුළුවන්. ඉතිහාසයේ ඒ වගේ දේවල් වෙලා තියෙනවා.

අපි සන්නද්ධ අරගලයක ඉන්නවා කියලා මේ අයට පෙන්වන්න අවශ්‍යතාව තියනවා.

මේ අය හදාගෙන එන පිටපතට අනුව අපේ පක්‍ෂයේ අය ආයුධත් එක්ක අල්ලලා ඇතුළට දාන්න හදන්නෙ. පක්‍ෂයට එරෙහිව විශාල මර්දනයක් ගෙනියන්න හදනව. මේකට තමයි මේ අය එන්න හදන්නේ. අපට ඒ පිටපත පැහැදිලියි.

වසන්ත මුදලිගේ අල්ලන විදියට මේ අය කරන්න හදන්නේ මේක තමයි. අපි ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා මේකට විරුද්ධව.

වෘත්තීය සමිති නායකයන් මුණ ගැහෙනවා. ඒ වගේම තානාපතිවරුන් දැනුවත් කරනවා. මේ අය කරන්න හදන මර්දනය ගැන අපි හැමෝම දැනුවත් කරන්න කටයුතු කරනවා යැයි දුමින්ද නාගමුව මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment