පළමුව ඒ මහතා මාක්ස්වාදය විද්‍යාත්මක ද යන ප්‍රශ්නය මතු කළත් ඉන් අනතුරුව බටහිර විද්‍යාව ම, විද්‍යාත්මක ද යන ප්‍රශ්නය මතු කළේය. ඒ මහතා සිය කෘතීන්, ලිපි ලේඛන මගින් දිගින් දිගට ම පෙන්වා දුන්නේ බටහිර විද්‍යාවට මෙන්ම දේශපාලනයට පවා ග්‍රීක, යුදෙවු, ක්‍රිස්තියානි චින්තනය පදනම් වී ඇති බවකි. ඒ අනුව නලින් ද සිල්වා මහතාගේ ස්ථාවරය වූයේ මාක්ස් වාදය ද බයිබලයේ සඳහන් ස්වර්ග රාජ්‍ය දේශපාලන වශයෙන් ගොඩනැඟීමට දැරූ උත්සාහයකි. ඒ මහතා සිය මතවාදය ඉදිරිපත් කළ ප්‍රධානම කෘතිය ලෙස සඳහන් කළ හැක්කේ 1986 දී ප්‍රකාශයට පත් කළ “මගේ ලෝකය” කෘතියයි. එම කෘතිය මගින් ඒ මහතා “බඹයක් පමණ වූ ශරීරය තුළ ලෝකය පිහිටා ඇත.” යන බුදුන්වහන්සේගේ චිරප්‍රසිද්ධ කියමන මෙන්ම ලෝකය තනි යායක් නොවන බව පෙන්වා දීමට කටයුතු කර ඇත. ඊට අමතරව ඒ මහතා මාක්ස් වාදයේ ඇති අවිද්‍යාත්මක භාවය මෙන්ම පරස්පරයන් පෙන්වා දීම සඳහා “මාක්ස් වාදයේ දරිද්‍රතාවය” සහ “අපෝතකයේ රූපිකය” යන කෘතීන් රචනා කර ඇත. එම මතවාදයන් තුළින් ඒ මහතා ගුණදාස අමරසේකර මහතා විසින් ඉදිරිපත් කළ “ජාතික චින්තනය” නමැති සංකල්පය පෝෂණය කිරීම සඳහා කටයුතු කර ඇත.

අපට උගන්වා තිබුණේ විවිධ ජාතීන් සමේ වර්ණයෙන් හැර අන් සෑම අංශයකින්ම සර්ව සම බවය. එසේත් නොමැති නම් ලෝකය තනියායක් බවය. නමුත් එය එසේ නොවන බවත් විවිධ ජාතිකයන් සමේ වර්ණයෙන් පමණක් නොව සිතන පතන ආකාරයෙන් පවා වෙනස් වන බව අපට කියා දුන්නේ ආචාර්ය නලින් ද සිල්වා මහතා ය. තම ජීවිත කාලයෙන් වැඩි කාලයක් මිනිසුන් සිතන පතන ආකාරය පිළිබඳව ම සිත යොමු කළ ඒ මහතා පසුගිය -02 වැනිදා මේ භවයේ සිතීම නවතා ඇත.

මිය යනවිට 79 වන වියෙහි පසුවූ නලින් ද සිල්වා මහා උපත ලබා ඇත්තේ 1944 ඔක්තෝබර් 20 වැනිදා පාසල් ගුරුවරුන් දෙපළක් වූ ථකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දිවසම් ළිඳමුලගේ දනියෙල් ද සිල්වා මහතාට සහ විජේසූරිය ගුණවර්ධන මහවඩුගේ බේලින් පෙරේරා මහත්මියට දාව පානදුර වෑකඩ දීය.

ඒ මහතා පළමු පන්තියේ සිට තුන්වෙනි පන්තිය දක්වා අධ්‍යාපනය ලබා ඇත්තේ පානදුරේ වෑකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාඨශාලාවෙනි. ඉන් අනතුරුව දෙවෙනි පන්තියේ සිට පස්වෙනි පන්තිය තෙක් කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර නිසි වයස සම්පූර්ණ කර නොතිබූ නිසා එම පාසලේ දීත් දෙවන පන්තියට යොමු කර ඇත. ඔහු ඉන් අනතුරුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් හයවෙනි පන්තියේ සිට සරසවි ප්‍රවේශය තෙක් අධ්‍යාපනය ලබා ඇත.

1962 වසරේ දී සරසවි ප්‍රවේශය විභාගයට පෙනී සිට ඇති අතර, එම විභාගයෙන් ශුද්ධ ගණිතයට සහ ව්‍යවහාරික ගණිතයට වැඩි ම ලකුණු ලබා රාජකීය විද්‍යාලයීය ත්‍යාගය දිනාගෙන ඇත. ඉංජිනේරුවකු වීම සමහරුන්ගේ සිහිනය වුවත් ඒ සඳහා සුදුසුකම් සපුරා තිබිය දී 1963 වසරේ දී ව්‍යවහාරික ගණිතය හැදෑරීම සඳහා ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඇත. 1967 වසරේ දී ඒ මහතා විද්‍යාවේදී (B.Sc) උපාධිය ලබාගෙන ඇති අතර 1969 වසරේ දී තම පශ්චාත් උපාධි පර්යේෂණ කටයුතු සඳහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් සරසවියට ඇතුළත් වී ඇත. එහිදී ඔහු හදාරා ඇති විෂය වන්නේ තාරකා භෞතික විද්‍යාවයි. එම විෂය එතුමාගේ ජීවිතයට ඉතාම සමීප බව පැහැදිලි වන්නේ තම දූදරුවන් සඳහා දී ඇති නම්වලිනි. එනම් තම දූදරුවන් තාරක, ලහිරු සහ සඳමාලි ලෙස ලෝකයට හඳුන්වා දී ඇත. නලින් ද සිල්වා මහතා 1970 දී ඉදිරිපත් කළ පර්යේෂණ සම්බන්ධයෙන්, භ්‍රමනය වන වස්තු වටා භමනයට ප්‍රතිවිරුද්ධ අතට ප්‍රතික්‍ෂේප කෙරෙන අංශු, අවස්ථිති සමුද්දේශ රාමුවේ භ්‍රමනයන් සමග ඇදියාමේ ප්‍රතිඵලයක් ලෙස පසුව වස්තුව භ්‍රමනය වන අතට ම චලනය වන බවට අයිස්ටයිනීය ප්‍රවාදය යොදා ගනිමින් සෛද්ධාන්තික ලෙස පළ කළ අනාවැකිය අසූව දශකය අග දී බ්‍රිතාන්‍යය, ඇමෙරිකානු ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් කළ පර්යේෂණයන්හි දී සනාථ වී ඇත.

මතවාදී අරගලයේ සෙන්පති නලින් ද සිල්වා

1970 දී කනිෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨයට එක් වී ඇති ඒ මහතා 1975 තෙක් එහි සේවය කර ඇත. ඉන් අනතුරුව 1979 දී කොළඹ විශ්වවිද්‍යාලය ගණිත අංශයට බැඳුණු ඒ මහතා 1992 දී වැඩ තහනමකට දක්වන තුරුම හි සේවය කර ඇත. වසර 10ක පමණ කාලයක් වැඩ තහනමට ලක් වී සිටි නලින් ද සිල්වා මහතා නැවත කැලණිය සරසවියේ ගණිත අධ්‍යයනාංශයේ සහාය මහාචාර්යවරයා ලෙසත්, එහිම අංශාධිපතිවරයා ලෙසත් විශ්‍රාම ලබන තුරුම සේවය කළේය.

ඒ මහතා මෙරට ජනතාවට සුවිශේෂ පුද්ගලයකු වූයේ සරසවි ඇදුරකු වූ නිසා ම පමණක් නොවන බව පැහැදිලි කාරණයක් වුවත් එහිදී ඔහු භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයකු වීම සුවිශේෂ තත්ත්වයක් වූ බව නම් පැහැදිලිය. ඒ නලින් ද සිල්වා මහතා චින්තකයකු ලෙසත්, දේශපාලන මතධාරියකු ලෙසත් කටයුතු කිරීමේ දී ඒ තුළින් ලැබුණු ආලෝකය හේතුවෙනි. ඒ මහතා පාසල් අවධියේ සිට ම සමාජ, දේශපාලන කටයුතු පිළිබඳව විශේෂ උනන්දුවකින් කටයුතු කර ඇති අතර ඒ නිසා ම 1964 සිට ලංකා සමසමාජ පක්ෂ හා සම්බන්ධව කටයුතු කර ඇත. 1974 දී පමණ එම දේශපාලන පක්ෂයේ නව ප්‍රවණතාවයක් වූ වාම සම සමාජ කණ්ඩායම සමග එක්ව කටයුතු කර ඇති ඒ මහතා 1977 දී ලංකා සමසමාජ පක්ෂයෙන් වෙන්වී නව සම සමාජ පක්‍ෂය සමග එක් වී ඇත. 1978 දී එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභිකයකු ද ලෙස කටයුතු කර ඇති ඔහු 1980 ජූලි වැඩ වර්ජනයට පෙර එම පක්‍ෂයෙන් ඉවත් වී ඇත.

ඒ සඳහා එම පක්‍ෂයේ නායකයාගේ අධිපතිවාදී ස්වරූපය මෙන්ම මාක්ස්වාදය, විද්‍යාත්මක ද යන ප්‍රශ්නය හේතු වී ඇත. පළමුව ඒ මහතා මාක්ස්වාදය විද්‍යාත්මක ද යන ප්‍රශ්නය මතු කළත් ඉන් අනතුරුව බටහිර විද්‍යාව ම, විද්‍යාත්මක ද යන ප්‍රශ්නය මතු කළේය. ඒ මහතා සිය කෘතීන්, ලිපි ලේඛන මගින් දිගින් දිගට ම පෙන්වා දුන්නේ බටහිර විද්‍යාවට මෙන්ම දේශපාලනයට පවා ග්‍රීක, යුදෙවු, ක්‍රිස්තියානි චින්තනය පදනම් වී ඇති බවකි. ඒ අනුව නලින් ද සිල්වා මහතාගේ ස්ථාවරය වූයේ මාක්ස් වාදය ද බයිබලයේ සඳහන් ස්වර්ග රාජ්‍ය දේශපාලන වශයෙන් ගොඩනැඟීමට දැරූ උත්සාහයක් ලෙසයි. ඒ මහතා සිය මතවාදය ඉදිරිපත් කළ ප්‍රධානම කෘතිය ලෙස සඳහන් කළ හැක්කේ 1986 දී ප්‍රකාශයට පත් කළ “මගේ ලෝකය” කෘතියයි. එම කෘතිය මගින් ඒ මහතා “බඹයක් පමණ වූ ශරීරය තුළ ලෝකය පිහිටා ඇත.” යන බුදුන්වහන්සේගේ චිරප්‍රසිද්ධ කියමන මෙන්ම ලෝකය තනි යායක් නොවන බව පෙන්වා දීමට කටයුතු කර ඇත. ඊට අමතරව ඒ මහතා මාක්ස් වාදයේ ඇති අවිද්‍යාත්මක භාවය මෙන්ම පරස්පරයන් පෙන්වා දීම සඳහා “මාක්ස් වාදයේ දරිද්‍රතාවය” සහ “අපෝතකයේ රූපිකය” යන කෘතීන් රචනා කර ඇත. එම මතවාදයන් තුළින් ඒ මහතා ගුණදාස අමරසේකර මහතා විසින් ඉදිරිපත් කළ “ජාතික චින්තනය” නමැති සංකල්පය පෝෂණය කිරීම සඳහා කටයුතු කර ඇත. එහිදී දිවයින පුවත්පත විසින් ද ඒ මහතාට ලබාදී ඇත්තේ විශාල සහයෝගයකි.

දැනුම යන මාතෘකාව ඒ මහතාගේ කෘතිවල මෙන්ම ලිපිවල ද ප්‍රධාන තේමාව විය. එහිදී දැනුම නිර්මාණය කිරීම පිළිබඳව, මෙන්ම එහිදී වියුක්තව සිතීමට තිබිය යුතු උහැකියාව පිළිබඳව ඒ මහතා නිතර අදහස් දැක්වීය. නමුත් ඒ මහතාගේ පසුකාලීන ලිපිවලින් පෙනී ගියේ බාහිර පාර්ශ්වයකින් ද දැනුම බලාගත හැක යන අදහස් පිළිබඳව එතුමා තුළ විශ්වාසයක් ගොඩනැඟී තිබූ බවයි. ඒ සඳහා ඉන්දියාවේ විසූ ප්‍රකට ගණිතඥයකු වූ සිරිනිවාසන් රාමනුජුන් විසින් තමන්ට දැනුම ලබාගැනීම සඳහා දෙවියන් උදව් කළ බවට කර ඇති ප්‍රකාශ හේතු වී ඇති බව පෙනී යයි. එම දාර්ශනික කාරණාවලටත් වඩා එතුමා ජනතාවට සමීප වුණේ දෙමළ ජාතිවාදය හේතුවෙන් බව සඳහන් කළ හැක. 1994 දී බලයට ආ චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව විසින් ගෙන ආ දේශපාලන යෝජනාවලිය හෙවත් පැකේජය පරාජය කිරීම සඳහා ඒ මහතා විසින් කර ඇති වැඩ කොටස සුවිශාල ය. එම ආණ්ඩුව පැකේජය ගෙන ආවේ “දෙමළ ජනතාවට ඇති නොවිසඳුණු ප්‍රශ්න විසඳීම සඳහා බව පවසමිනි.” එම අවස්ථාවේදී නලින් ද සිල්වා එම ආණ්ඩුවෙන් සහ ඊට සහයෝගය දැක්වූ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු දෙමළ බෙදුම්වාදයට පක්‍ෂ මතවාදීන්ගෙන් විමසා සිටියේ “දෙමළ ජනතාවට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක්ද?” යන්නයි. ඒ මහතා එම අදහස සවනතට ඉදිරිපත් කිරීම සඳහා ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා සහ මස්සිනාලා” යන කෘතිය රචනා කළේය. දෙමළ බෙදුම්වාදයට පක්‍ෂව සහ විරුද්ධව කළ මතවාදී යුද්ධය දිවයින පුවත්පත සහ රාවය, යුක්තිය යන පුවත්පත් අතර සිදුවූ මතවාදී සංග්‍රාමයක් විය. එහිදී නලින් ද සිල්වා මහතා ප්‍රධාන ම මතවාදී සෙන්පතියෙක් විය. න්‍යයාචාර්යවරයෙක් විය. යුද ජයග්‍රහණයේ පදනම එය විය.

අනුරාධපුර යුගයේ සිට ම සම්බුද්ධ ශාසනයට මෙන්ම සිංහල ජාතියට බොහෝ අභියෝග එල්ල විය. අනුරාධපුර යුගයේ දී එම අභියෝග ජය ගැනීම සඳහා මහනාම හිමියන් මහාවංශය රචනා කළේය. ඉන් පසු එළඹි යුගවලදී ද ශාසනයට මෙන්ම ජාතියට එල්ලවූ අභියෝග ජය ගැනීම සඳහා යුග පුරුෂයන් බිහි කිරීමට සිංහල ජාතිය සමත් විය. මෑත අතීතයේ දී එම අභියෝගය ජය ගැනීම සඳහා සිංහල ජාතිය බිහි කළ දාර්ශනික වීරයා නලින් ද සිල්වා මහතා ය.

(නලින් ද සිල්වා මහතා පිළිබඳ ජීවන තොරතුරු උපුටා ගන්නා ලද්දේ සුමේධ වීරවර්ධන මහතා විසින් රචිත නිර්මාණාත්මක “සාපේක්ෂතාවාදය ගැන හැඳින්වීමේ” කෘතියෙනි.)

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment