කුෂාන් සුබසිංහ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සැපයීමේ සමාගමක් වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම යළිත් වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත් වී ඇත.

ඩයලොග් ආසිආටා වොලිබෝල්, දැල්පන්දු මෙන්ම ඊ ස්පොර්ට්ස් ජාතික කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ද වේ.

ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව සමගද ඔවුහු සමීපව කටයුතු කරති.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදී ටෙස්ට් තරග 10 කට, එක්දින අන්තර්ජාතික තරග 21 කට සහ විස්සයි.20 අන්තර්ජාතික තරග 21 කට සහභාගි වෙයි. ඒවායින් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරග 3 කදීත්, එක්දින සහ විස්සයි.20 අන්තර්ජාතික තරග 12 කදීත් ඩයලොග් සමාගමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පූර්ණ අනුග්‍රාහකත්වය හිමිවනු ඇත.

මෙම අනුග්‍රාහකත්වය පිළිබඳ අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා කීවේ ‘ජාතික කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා’ වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් ඇති දශකයකට වඩා දුරගිය සබඳතාව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට හැකිවීම සම්බන්ධයෙන් ඩයලොග් සමාගම මහත් සේ ආඩම්බර වන බවයි. එය “සුවිශේෂී වරප්‍රසාදයක්” යැයි ද හෙතෙම පැවසීය.

ජාතික කණ්ඩායාමේ අනුග්‍රාහකයා ලෙසින් ඩයලොග් ආසිආටාහි කාර්යභාරය පොදුවේ ක්‍රීඩාව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමයට සාධනීය සලකුණක් බවද, ඩයලොග් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් එකට එක්වීම ශක්තිමත් සුසංයෝගයක් වන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඇෂ්ලි ද සිල්වා මහතා මේ අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන් පවසා සිටියි.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සන්නාම හා මාධ්‍ය උප සභාපති හර්ෂ සමරනායක, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනි අමලි නානායක්කාර, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, සංචාරක, ඉඩම් හා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, ශ්‍රී ලංකා ක්‍රිකට් අලෙවි ප්‍රධානි උපුල් නවරත්න බණ්ඩාර යන මහත්වරු ඡායාරූපයේ දැක්වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment