වැලන්ටයින් දා රෝමියෝ ජුලියට් බලමු…

85

වසර තිහකට අධික කාලයක් තම හැකියාවන් වේදිකාගත කරමින් දීර්ඝ ගමනක් වේදිකාව ඔස්සේ පැමිණි ඔහු රංගනයට අති සුවිශේෂී දස්කම් පෙන්වූවා පමණක් නොව නර්තනය සහ ගායනයට ද දක්ෂයකුව සිටින්නෙකි. එය එසේ නොවන්නට ඔහු වේදිකාවේ නිරූපනය කළ චරිත ඔහුගේ වන්නට ඉඩක් නොලැබෙනවා ඇත. ඉතා දුර්ලභ හැකියාවන් සහිත ක්ෂේත්‍රයේ සිටි ඇතැම් ප්‍රවීණයන්ගෙන් පසු ඔවුන්ගේ හිස්තැන් පුරවන්නට සමතුන් හිඟ වූ යුගයක ජයනාත් බණ්ඩාර නම් ඔහු තම දක්ෂතාවන් ඔස්සේ ඉතා පහසුවෙන් ඒ හිදැස් පුරවමින් වේදිකාව තම රාජධානියක් කරගන්නට සමත් විය.

ඔබ ඇයි රෝමියෝ ජුලියට් පිටපතම මේ සඳහා තෝරාගත්තේ…

පසුගිය වසරේ සමස්ත ලංකා පාසල් නාට්‍යය උළෙලේ ශේක්ස්පියර් නාට්‍ය අංශයේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරන්න මට අවස්ථාවක් ලැබුණා. එකේදී ඔවුන්ට නිර්දේශිත නාට්‍යය වුණේ රෝමියෝ ජුලියට්. ඔය අවස්ථාවට සහභාගි වුණාට පස්සේ තමයි මට හිතුනේ රෝමියෝ ජුලියට් කළොත් හොඳයි කියලා. රෝමියෝ ජුලියට් පරිවර්තිත කෘති කිහිපයක්ම තියෙනවා. නමුත් මට හිතුනා මේ සඳහා නව පරිවර්තනයක් කළොත් හොඳයි කියලා. ඒ අනුව තමයි මගේ බිරිඳ වින්ද්‍යා හරන්කහ රෝමියෝ ජුලියට් සිංහලට පරිවර්තනය කරන්නේ. ඇය විසින් පරිවර්තනය කරනු ලැබූ පිටපත තමයි මම මේ අධ්‍යක්ෂණය කරන්නේ.

වේදිකාවට ගොඩවෙන බොහෝදෙනා ජනප්‍රියත්වය සහ වෘත්තීයත්වය උදෙසා ටෙලි නාට්‍ය සහ සිනමාවට ගොඩබහිනවා…

මං හිතන විදිහට ටෙලි නාට්‍යය සහ සිනමාවට අවතීර්ණ වෙන්න වේදිකා නාට්‍ය ඉනිමගක් ලෙස භාවිත නොකළ යුතුයි. කලාවේ සෑම ක්ෂේත්‍රයකම කටයුතු කළ යුතුයි. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. නමුත් වේදිකා නාට්‍යය අමතක කරලා අපි හැමෝම අනෙක් දේවල්වලට යොමුවුණාම වේදිකා නාට්‍යය සඳහා වන අනුග්‍රහය කව්ද දෙන්නේ, අපේ දේ අපි බලාගත්තේ නැත්නම්. වේදිකා නාට්‍ය දෙක තුනක රඟපාලා සම්මානයක් ගත්තට පස්සේ ඒ ටික සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා අහක බලන එක වේදිකා නාට්‍ය ශිල්පීන් නොකළ යුතු දෙයක්. වෘත්තියක් හැටියට ගත්තොත් වේදිකා නාට්‍යවලින් විතරක් ජීවත්වෙන්න හරිම අමාරුයි තමයි. අපේ වගේ රටක වේදිකා නාට්‍ය කරනවා නම් වෙනත් රැකියාවක් තිබිය යුතුමයි. ටෙලි නාට්‍ය හෝ සිනමාව අත්හැරිය යුතු බව නෙවෙයි මං මේ කියන්නේ. ඒවායේ වැඩ කළ යුතුමයි. නමුත් වේදිකාව අත්නොහැරිය යුතුයි. වේදිකාවට පිටුනොපෑ යුතුයි කියලයි මං හිතන්නේ.

වැලන්ටයින් දා රෝමියෝ ජුලියට් බලමු…

රෝමියෝ ජුලියට් රසිකයින්ට මුණගැහෙන්නේ කොහෙදිද?

ආදරවන්තයින්ගේ දවසේදී, පෙබරවාරි 14 දා ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී. අපි ආදරයෙන් ආරාධනා කරනවා එදාට රෝමියෝ ජුලියට් බලන්න එන්න කියලා. ඉන්දිකා උපමාලි සංගීත අධ්‍යක්ෂණය කරන, ලක්ෂ්මන් මෙන්ඩිස්, මාලි ජයවීරගේ, නිහාරි සෝමසිරි ඇතුළු තවත් රංගන ශිල්පීන් රාශියක් රංගනයෙන් දායක වන රෝමියෝ ජුලියට්හි අංග රචනය ශිරාන් සහ රන්දික. රංග වස්ත්‍ර වජිරා පීරිස්. රංගාලෝකය පවිත්‍ර. රංග වින්‍යාසය ජෙරොම් ද සිල්වා. පසුතල නිර්මාණය ඉසුරු සහ ආසිරි. වැඩියෙන් ආදරය හොයන, අපිට ආදරය අත්‍යවශ්‍ය යුගයක අපි ඉන්නේ. රෝමියෝ ජුලියට් කියන්නේ ආදරය වපුරපු සාහිත්‍යය කෘතියක්. ඉතිං ආදරය විඳින්න, බලන්න පෙබරවාරි 14 ලයනල් වෙන්ඩ්ට් එකට එන්න.

යුගන්ති යශෝදරා

advertistmentadvertistment
advertistmentadvertistment