ටෙලිකොම් විකුණනු එපා යළි සිතා බලන්න – ජනපතිගෙන් ඉල්ලයි

252

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු 49.5% ක කොටස් විකිණීමට සහ පෞද්ගලීකරණයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ටෙලිකොම් වෘත්තීය සමිති තීරණය කර ඇත.

පසුගිය වසරේ රුපියල් මිලියන 10,000 කට ආසන්න ලාභයක් මහා භාණ්ඩාගාරයට ලබාදුන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් විකිණීමට ගෙන ඇති තීරණය පිළිබඳව නැවත සිතා බලන ලෙස ඉල්ලමින් ටෙලිකොම් වෘත්තීය සමිති විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් ද යොමුකර ඇත.

ලාභ ලබන ආයතන විකිණීමෙන් මෙරට ආර්ථිකයට මරුපහරක් එල්ල විය හැකි බැවින් ටෙලිකොම් කොටස් විකිණීම හා පෞද්ගලීකරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය විසින් පත් කරන ලද ආයතනයට සිය විරෝධය දක්වමින් ලිපියක් යැවූ බව ද එම වෘත්තීය සමිති ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

මේ පිළිබඳව ඉක්මන් මැදිහත්වීමක් කරන ලෙස කම්කරු කොමසාරිස්වරයාගෙන් ද ඉල්ලීමක් කර තිබේ.

සේව්‍ය-සේවක හා රජයේ සියලු පාර්ශ්වයන් කැඳවා විසඳුමක් ලබාදෙන ලෙසත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයන්ගේ රැකියා, සේවක අයිතිවාසිකම් සහ අනෙකුත් කටයුතුවලට වන බලපෑම් සහ අනර්ථයන් පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ටෙලිකොම් වෘත්තීය සමිති, කම්කරු කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම්, දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති මනෝජ් මනම්පේරි සහ සමගි සේවක සංගමයේ සභාපති ඉන්දික එදිරිචන්ද්‍ර යන මහත්වරුන් සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment