21 ට බයේ තුත්තිරිගස් යට සැඟවෙන්නෝ!

91

ආණුඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 21 වන සංශෝධනයක් ගැන අද මුළු රටම කතා කරනවා.

පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති 21 වන සංශෝධනය යෝජනා කර ඇත්තේ, සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහත්මායි.

මේ සංශෝධනය සමගි ජන බලවේගය විසින් සකස් කොට ඇත්තේ, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ ලියැවිල්ල පදනම් කරගනිමින් සහ අප රටේ විද්වතුන්, ආගමික නායකයන්, වෘත්තීයමය සිවිල් සංවිධාන සහ සිවිල් සමාජය ඉදිරිපත් කරනු ලැබූ ජනතා අභිලාෂයන් සැලකිල්ලට ගනිමින්.

එම සංශෝධනය පාර්ලිමේන්තුව තුළ පළමුවර කියවීමේ අදියර දැන් පසුකොට තිබෙනවා. එය පාර්ලිමේන්තුවේදී පළමුවර ඉදිරිපත් කිරීම සිදුවූයේ මැයි මස 17 වන දිනයි. ඊට පෙර මැයි මස 07 වන දින එය ගැසට් කර තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කර තිබීම හේතුවෙන් දින කිහිපයක් එය අධිකරණය ඉදිරියේ විභාගවීම සිදුවුණු අතර, දැන් එය ජූනි 15 වැනි දිනට පෙර තීන්දුව ලබාදීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව එම තීන්දුව පාර්ලිමේන්තු කථානායකවරයා වෙත දැන්වීම සිදුවනු ඇති.

ඒ අනුව ජූනි මස තුන්වන සතිය වනවිට, රජය පාර්ශ්වයෙන් බාධාකිරීමක් සිදු නොවුණහොත් එය දෙවනවර කියවීම ආරම්භ වනු ඇත.

මේ අතර 22 වන සංශෝධනය ලෙසින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් කර තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉල්ලා අස්කර ගැන්ම සිදුව තිබෙනවා.

දැන් අධිකරණ අමාත්‍ය ලෙසින් විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති සංශෝධනයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමක් සහ ඒ ගැන පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීම් ආරම්භ කර තිබීම ගැන මාධ්‍යය මගින් හෙළිදරව් වෙනවා. එහෙත් සංශෝධනයේ අන්තර්ගතය ගැන තවමත් අවසන් නිගමනයකට පැමිණ නැති අතර, පොදු ජන පෙරමුණ තුළම මේ සංශෝධනයේ අන්තර්ගතය ගැන මෙන්ම එය ඉදිරිපත් කළ යුතු කාලවකවානු ගැනද මතභේදයන් ඇතිවී තිබීම ගැන මාධ්‍ය අනාවරණය කිරීම දකින්නට තිබෙනවා.

කෙසේ වෙතත් සාකච්ඡාවට භාජනය වෙමින් පවතින අධිකරණ අමාත්‍යවරයාගේ ලියැවිල්ලෙහි නීතිඥ සංගමය ඇතුළු බහුජන සංවිධාන ඉදිරිපත් කර ඇති “ජනාධිපතිවරයා කිසිදු අමාත්‍යධූරයක් නොදැරිය යුතුය” යන්න සහ “විධායක ජනාධිපති ක්‍රමය හැකිතාක් ඉක්මණින් අහෝසි කළ යුතුය” යන ජනතා අභිලාෂයන් ඉටුකරන වගන්ති ඇතුළත් කර නොතිබීම දකින්නට තිබෙනවා.

සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති සංශෝධන මගහරිමින් රටේත්, ලෝකයේත් විශ්වාසය පලුදු කරගෙන ඇති පාලනයක පැවැත්ම තවදුරටත් රැක ගැන්ම සඳහා කල්මරණ උප්පරවැට්ටියක් ක්‍රියාවට
නැඟීමයි, දැන් අපි සැබැවින්ම දකිමින් සිටින්නේ.

තවදුරටත් මෙවැනි රැවටීම්, මුළාකිරීම් තුළින් ජනතාව ඇන්දවීමට ගන්නාවූ උත්සාහයන් සැබැවින්ම පිළිකුල් සහගතය.

සර්වපාක්ෂික රජයක් පිහිටුවීමේ මුවාවෙන්, පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂවලට අයත් මන්ත්‍රීවරුන් ඩැහැ ගිනිමින් ඊනියා සර්ව පාක්ෂික රජයක් අටවාගෙන ඇති අයුරින්, පවතින ගෝත්‍රික පාලනයේ පැවැත්ම සඳහා වන කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් උපාය මාර්ග පාවිච්චි කරමින් අශිෂ්ඨ හැසිරීමක යෙදී සිටීම පැහැදිලියි.

20 සංශෝධනය තුළින් රට මුහුණ දුන් විපාකයන්හි අත්දැකීම් ඇති පාර්ලිමේන්තුවක් ලෙසින්, තවදුරටත් ඒ ගමන ඒ ලෙසින්ම යෑමට ඉඩ නොදී, පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති ජනතාවාදී, ප්‍රගතිශීලී සංශෝධනයන් තුළින් ජනතා අභිලාෂයන් ඉටුකරදීමට මහජන නියෝජිතවරුන් තම වගකීම ඉටුකළ යුතුව ඇත. එසේ නොවුණහොත් රටේ ජනමතය පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේත්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන්හිත් පිලිගැන්ම නොලබන්නා වූ අස්ථාවර පාලනයක් ලෙසින් තවදුරටත් පැවතීම සිදුවේවි.

ප්‍රජාතන්ත්‍රවාදී නොවන, සදාචාරාත්මක නොවන උපාය මාර්ගයන්හි ගොදුරක් බවට රට පත්කරගෙන සිටින පාලනයක ග්‍රහනයෙන් රට මුදාගත යුතුව තිබෙනවා. බුර බුරා නැඟෙන ජනතා විරෝධයන් ඉදිරියේ තුත්තිරි ගසේ එල්ලෙමින් පැවැත්ම රැකගන්නට ගන්නාවූ අනුවණ ක්‍රියාමාර්ගයන් අපි දකිමින් සිටිනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින්, ජනමතයට අවනතවෙමින්, පාලන වගකීම්වලින් සමුගෙන ජනතා තීන්දුවකට අවකාශ සැලසීම යහපත්ය.

ඇතැම් පාලකයන්ට වඩා වේගයෙන් ජනතාව ලෝකය දිග්විජය කරමින් සිටින බව අපි අවබෝධ කරගත යුතුයි. ඔවුන් ලෝකය ගැන වේගයෙන් යාවත්කාලීන වන අතර සාම්ප්‍රදායික වන්දිභට්ටකම් වෙනුවට නූතන නිදහස සොයා යමින් සිටිනවා. ඔවුන් ආදර්ශ ගනිමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය රජයන රටවල්වල පාලන ස්වරූපයන්ගෙන්. එබැවින්, ජනතාව ඇන්දවීමේ සහ රැවටීමේ බල න්‍යාය පත්‍ර වහාම හකුලා ගන්නට සාම්ප්‍රදායික ගොහොරුවේ එරුණු දේශපාලකයන්ට සිදුව තිබෙනවා. එසේ නොවන්නේ නම්, ජනතාව විසින් ලබාදුන් පරමාධිපත්‍ය බලය විදුලි වේගයෙන් උදුරාගන්නවාට සැකයක් නැහැ!

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment